Thursday, March 1, 2012

නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-1


අපි අවසන් වතාවට කථාකලේ අත්තිවාරමෙහි අවසන් ඉදිකිරීම් අයිතමය විදිහට සලකන තෙත් නිවාරණ වැටිය සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පොස්ටුව බලන්න පුළුවන්. අද දවසේ අපේ  බලාපොරොත්තුව අත්තිවාරමෙන් පසු එලඹෙන වැදගත් ඉදිකිරීම් අදියරක් වන බිත්ති බැඳීම ගැන යමක් කථාකරන්නටයි.


වහලය හැරුණහම, නිවසක බාහිර පරිසරයේ කාලගුණික විපර්යාසයන්ගෙන් එහි ඇතුලත පරිසරය වෙන්කරනු ලබන ප්‍රධාන අවයවය බිත්ති විදිහට හදුන්වන්න පුළුවන්. කාර්යභාරය අනුව නිවසක බිත්ති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනු ලබනවා. ඒ ව්‍යුහාත්මක එහෙම නැතිනම් බර දරණා (Load bearing walls) සහ වෙන්කිරීමේ (Partition walls) බිත්ති වශයෙනුයි.මෙයට අමතරව අලංකාරය උදෙසා පමණක් ඉදිකෙරෙනු ලබන බිත්ති වර්ගත්, ශබ්ද වාරණ කටයුතු ආදී විශේෂ කාර්යයන් සදහා ඉදිකරනු ලබන ද්විත්ව බිත්ති  ආදියත් නිවාස ඉදිකිරීමේදී ඉතා කලාතුරකින් දකින්න පුළුවන්.



අපේ වගේ උෂ්ණාධික රටකට බිත්ති බැඳම සදහා හොදම අමුද්‍රව්‍ය මොකද්ද කියලා ඔබ මගෙන් අහුවොත් ඒකට ලැබෙන මගේ පිලිතුරත් එක්ක මේක කියවන ඔබ එකඟ වෙන එකක් නැහැ. කට කෑවත් ඇත්තම කියන්නම්, ඒ තමයි නොපිලිස්සූ අමු මැටියෙන් තනාපු (මෝඩ)ගඩොල්. සුද්දා ඕකට Adobe bricks කියලා කියනවා. මැටි ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක්. ඒ වගේම මැටි ගඩොල පුරා පවතින කේෂික නල මාර්ගත් නිවස ඇතුලත පරිසරය සෞම්‍යව පවත්වාගැනීමට මහත් පිටුවහලක් සපයනවා. එහෙම වුනත් ශක්තියෙන් අඩුකමත්, නිවැරදි තෙත් නිවාරණ  ක්‍රමවේදයක් අනුගමණය නොකිරීම නිසා පසුව ඇතිවන කෘමි හාණිත්, ප්‍රවාහණයේ අපහසුතාව නිසා වානිජවශයෙන් අසාර්ථක වීමත් කරණ කොටගෙන  නොපිලිස්සූ අමු මැටියෙන් තනාපු ගඩොල්, මෝඩ ගඩොල් විදිහට නම්කරලා භාවිතයෙන් ඉවත්කරලා තියෙනවා.

  නොපිලිස්සූ ගඩොලින් තනමින් පවතින බැම්මක්

සම්ප්‍රදායිකව භාවිතා වුන වරිච්චි බිත්ති, තාප්ප බිත්ති, කබොක් බිත්ති ආදියත් පරිසර හිතකාමී ඒ වගේම හොද තාප කුසන්නායක තාවක් සහිත බිත්ති විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ශීත දේශගුණයන් සහිත ප්‍රදේශ වලදී මැටි බදාමයෙන් බැඳි කළුගල් බිත්තිත් ඉතා උසස් ගතිගුණ පෙන්වනු ලැබුවා.

 වරිච්චි බිත්ති (දැකලා නැති අයත් ඇතිනේ....)

සම්ප්‍රදායික තාක්ෂණය කොහොම වුනත් සුද්දාගේ බටහිර තාක්ෂණයට හුරුවුනාට පස්සේ වානිජ වශයෙන් සැපයිය හැකිවූ බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය පමණක් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ අනුව විහාරාරාම සහ රජමාලිගා ආදී කාලයක් පවතින්නට තැනි ගොඩනැගිලි සදහා පමණක් එතෙක් භාවිතාකරනලද පුළුස්සන ලද ගඩොල්, සම්මත මිණුමක් සහිතව නිර්මාණය කොට ඉංජිනේරු ගඩොල් වශයෙන් නම්කොට නිවාස තැනීම සදහා භාවිතා කිරීම ආරම්භ වුණා. ඒ අනුව අද දවසේ නිවාස තැනීමේ සුපිරි අමුද්‍රව්‍යය බවට මෙම ඉංජිනේරු ගඩොල් පත්වෙලා තියෙනවා.

 ගඩොලින් තැනි පරාක්‍රමබාහු රජමාලිගය - පොලොන්නරුව

ඉංජිනේරු ගඩොල් කිව්වහම වැරදියට වටහාගන්න එපා මේ කියන්නේ අර ලස්සන සුමට දාර සහිත, උළු මැට්ටෙන් තැනි, අලංකාරය සදහා වැඩිවශයෙන් භාවිතා කරන ගඩොල් වර්ගයය කියලා. ඒවාට කියන්නේ කම්බියෙන් කැපූ ගඩොල් (Wire cut bricks) කියාලායි.ඉංජිනේරු ගඩොල් එහෙමත් නැතිනම් සම්මත ගඩොල් (Standard bricks) වලට සම්මත දිගක් පලලක් පවතිනවා. හරියටම කිව්වොත් මිලිමී‍ටර  215 x102x65 වියයුතුයි. ඒත් ඒ ප්‍රමාණයන්ට සැකසිච්ච ගඩොල් හඳෙන් මිසක අපේ රටේ ගඩොල් පෝරණු වලින්නම් හොයනවා බොරු. 

 සම්මත ගඩොලක තතු

නිවාස තැනීමේදී මේ ඉංජිනේරු ගඩොල් භාවිතා කරලා ඉදිකරනු ලබන බිත්ති වර්ග දෙකක් දකින්න පුළුවන් ඒ තනිගලේ බිත්ති විදිහට සාමාන්‍ය‍යෙන් ව්‍යුවහාර කෙරෙන, බර දැරීමේ බිත්ති වර්ගයක්  වන අඟල් 9ක් පලල බිත්තියත්, ගල් භාගේ බිත්ති විදිහට එහෙමත් නැතිනම් බඩගල් බැම්ම විදිහට ව්‍යුවහාර කෙරෙන අඟල් 4.5 ක් පලල වෙන්කිරීමේ කාර්යන්ට යෙදෙන බිත්තියත් වශයෙනුයි. තාක්ෂණිකව අපේ රටේ භාවිතාවන මේ බැමිවර්ග දෙකම ඉංග්‍රිසි බැමි යන බැමි බැඳීමේ ක්‍රමයට අයත් වෙනවා. බැමි බැඳීමේ තව ක්‍රම බොහොමයක් තිබුනත් ඒවා අපේ රටේ ජනප්‍රිය ඒවා නොවන නිසාත්, මේ ලිපි පෙල තාක්ෂණික පාඩම් මාලාවක් කරගැනීමට අකමැති නිසාත්,  වැඩිවශයෙන්ම රූපසටහන් හොයන්න සහ අකුරු කොටන්න කම්මැලි නිසාත් තවදුරටත් විස්තර කරන්න යන්නේ නැහැ.


ඉංග්‍රිසි බැම්ම - රූපසටහනක්

ඉදිකිරීමෙහි ශක්තිමත් බවත්, සපයා ගැනීමේ, භාවිතයේ සහ ප්‍රවාහණයේ පහසුවත්, තාප කුසන්නායක ගුණයත් ඇතුළු කාරණා ගණනාවක් මත ඉංජිනේරු ගඩොල් අද දවසේ නිවාස බිත්ති ගොඩනැගීමේ සුපිරි අමුද්‍රව්‍ය බවට පත්වෙලා තියෙනවා. එහෙම වුනත් ඉදිකිරීමේ ක්‍රියාවලියේදී වැඩිපුර පුහුණු ශ්‍රමය වැයවීමත්, වැලි සහ සිමෙන්ති අධිකව වැයවීමත්, අමුද්‍රව්‍ය(ගඩොල්)  වල අධික මිලත් කරණකොටගෙන ගඩොල් නිවාසයක් පසුම්බියට ඔරොත්තු නොදෙන තරමේ ඉතා වියදම්කාරී නිර්මාණයක් බවටද අදදවස වනවිට පත්වෙලා තියෙනවා.

 මාවනැල්ල ආරුක්කු පාලම - ගඩොල් වල සුපිරි ශක්තිය පිලිඹද ජීවමාන නිදර්ශකයක්

මගේවෑයම අඩුවියදමින් නිවසක් තනාගැනීමේ මාර්ගය පෙන්වාදීම නිසාවෙන් ගඩොල්ගැන වැඩියමක් සදහන් කරන්නේ නැහැ. ඒත් ගඩොලින් තම නිවස ගොඩනගන්න‍ කැමති උදවියට ඒ වෙනුවෙන් තියෙන ලාභදායී විකල්ප ගැන ඉදිරියේදී කථාකරන බලාපොරොත්තුවෙන් අදට නවතිනවා.

ඔබසැමට සුභ සතියක් !

35 comments:

  1. වැදගත් කරුණු කීපයක්..
    බ්ලොග් එකේ නමේ ටිකක් විතර වානිජ ගතියක් පේන නිසා එන්න කම්මැලි හිතෙනවා..
    ප්‍රධාන සිංඩිවල දාලා පබ්ලිසිටියක් දුන්නොත් නරකද?

    ReplyDelete
    Replies
    1. හිතවත් රූ,

      මේ බ්ලොග් එකේ නම වගේම මේකේ කථාකරන දේවලුත් ඔයාලා ලියන ලිපි වගේ හදවතට දැනෙන, කලාත්මක සහ සුන්දර ඒවා නෙමෙයි. බොහොමයක් යාන්ත්‍රික සහ නීරස දේවල් තමයි තියෙන්නේ. මේ වගේ නමක් යොදාගත්තේ බ්ලොග් අවකාශයේ නැති අය‍ගේ සෙවුම්එන්ජින් වලට පහසුවක් වේය කියාලා හිතාලයි.ඔයාගේ යෝජනාවලට බොහෝම ස්තුතියි. ඒ ගැන හැකි පමණින් ඉදිරියේදී කටයුතු කරන්නම්. කම්මැලි හිතන්නේ නැතිව, අපිව බලන්න ආපහු එන්න.

      Delete
  2. මැටියෙන් බැඳපු බිත්ති තියෙන ගෙයක් ඇතුඅලට ගියත් දැනෙන්නෙ මාර සනීපයක්..

    වැදගත් ලිපියක් අයියෙ ..

    ReplyDelete
    Replies
    1. සිත්රූ,

      ඒ වගේම තමයි "පිදුරු සෙවිකල පැල්පතේ ඇති - සාමෙ නැත මහ මන්දිරේ..."

      Delete
  3. ගඩොල් වලින් බඳිද්දි යන වෙලාව හා බදාම ප්‍රමාණය වැඩී නේද?..වෙලා වැඩී කියන්නෙ ශ්‍රම වියදමත් වැඩි වෙනවා..

    හැබැයි ගඩොල් බිත්තිය බ්ලොක් ගල් බිත්තියකට වඩා හයියයි...

    ReplyDelete
  4. මං එක පාරක් කියෙව්වා කොහුබත්/දහයියා හෝ ලී කුඩු/සකස් කර ගත් පස්/සිමෙන්ති කියන දේවල්වල මිශ්‍රණයෙන් බිත්ති නොබැද අච්චුවේ කොටනවා වැනි යමක් හරහා බිත්ති නැංවීමක් ගැන.හරියට කොන්ක්‍රීට් කරනවා වගේ...

    මං එදා ඉදලා තාමත් ඒ ගැන වැඩි දුර විස්තරයක් තියෙන තැනක් බැළුවත් තාම මට ඒ ගැන වැඩි විස්තරයක් හම්බ උනේ නැහැ..ඔබ ඒ ගැනත් දන්නවා නම් ඉදිරියේදී සඳහන් කිරීම මැනවි.

    ReplyDelete
    Replies
    1. //මිශ්‍රණයෙන් බිත්ති නොබැද අච්චුවේ කොටනවා වැනි යමක් හරහා බිත්ති නැංවීමක්...//

      ඕක නර්ඩ් ආයතනයෙන් සොයාගත්ත තාක්ෂණයක්. අනිවාර්යයෙන් ඒ ගැන ඉදිරියේදී කථාකරනවා.

      මේ පිලිඹදව විමසීම ගැන ස්තුතියි

      Delete
  5. බොහොම ස්තූතියි ගොඩක් තොරතුරු දැනගත්තා..

    අර ආරුක්කු පලම තනිකරම ගඩොලෙන්ද හදලා තියෙන්නේ ? කොන්ක්‍රීට් මුකුත්ම නැතුව. ඕක අපේ තාක්ශණයෙන් හදපු පරණම පාලමක්ද නැත්නම් සුද්දා හදපු එකක්ද.. ?

    අනවශ්‍යය ප්‍රශ්ණයක් ඇහුවනම් සමාවෙන්ඩ ඕනා, ඒ ගැන කුතුහලයක් ඇති උනා..

    ReplyDelete
    Replies
    1. Senna,

      මේ පාලමේ වතුර සමග කෙලින්ම ගැටෙන කුළුණු කට්ටලය බැඳලා තියෙන්නේ කපාපු(සරහනලද/dressed)කළුගල් කුට්ටි වලිනුයි. තාක්ෂණයනම් අපේ නෙමෙයි, සුද්දාගේ. (හැබැයි ඔයිට වඩා බොහොම විස්කම් වැඩ අපේ මුතුන්මිත්තෝ කරලා තියෙනවා). පාලම ගැන වැඩිපුර විස්තර ටිකක් පහතින් තියෙනවා ඔන්න.

      //1821 දි සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර වරයාගේ සමයේ කොළඹ - මහනුවර මාර්ගය නිර්මාණය කිරිමෙන් පසුව මා ඔය හරහා විශාල ආරුක්කු සහිත ගඩොල් පාලම ඉදිවිය. මෙම ආරුක්කු පාලම කොළඹ - මහනුවර මාර්ගයේ ඇති දිගම හා විශාලම ගඩොල් පාලම වේ. එනිසාම එය පෞරානික වස්තුවක් වශයෙන් ඵෙතිහාසික අතින්ද ඉතා වැදගත් වේ.1832 – 33 කාලයේදී ඉදිකරන ලද මාවනැල්ල පාලම , කැප්ටන් බ‍්‍රව්න්ගේම නිර්මාණයකි. මහඔය හරහා ඉදිකර ඇති මෙම පාලම, දැනට ලංකාවේ භාවිතයට ගැනෙන පැරණිම ගඩොල් පාලමයි. දිගින් මීටර 70 ක් පමණ වන මෙම පාලම විශාල ප‍්‍රමාණයේ ආරුක්කු හතරකින් සමන්විතයි.

      ඉංග්‍රිසි පාලන සමයේ උඩරට පුදේශයේ සිට කෝපි කොළඹට ප්‍රවාහනය කිරිමටද උඩරට වත ප්‍රදේශවලට රෙදි පිළි ආහාර දව්‍ය ප්‍රවාහනය කිරිමටද අශ්ව කරත්ත හාවිතා කරන ලදි. මේ අශ්වයින් ගාල් කරන ලද අශ්ව ගාල පිහිටා තිබුනේ මා ඔය අද්දරය මා ශය අසල වු කඩා කදු ගැටය මත ඉංග්‍රිසින්ගේ නවාතැන් සදහා තානායමක් ඉදිකර තිබුනි. එහි පසු කාලිනව මාවනැල්ල ජනතාවගේ පරිපාලනමය කටයුත ඉටු කරන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පිහිටා ඇත.//

      Delete
    2. ස්තූතියි සහෝ..

      Delete
  6. ස්තූතියි මචං බොහොම ස්තූතියි... කුමාර මල්ලි දාපු ලින්ක් එකකින් මේක ආයේ මතක් වුණේ...
    හරිම වටින වැඩක් - දිගටම කරගෙන යනවනම් බොහොම හොඳා...!!!

    ReplyDelete
    Replies
    1. හිතවත් තිස්ස,

      උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  7. අදමයි මෙි බ්ලොග් එක ගැන දැන ගත්තේ ඉතාම වැදගත් බ්ලොග් එකක් සෑම දෙනාටම ප්‍රයෝජනවත් අංශයක් ගැන ලියන නිසා සිංහල බ්ලොග් කියවන කවුරරුත් කැමතිවෙිවි. දිගටම කරගෙන යන්න සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. නීල් සහෝ,

      උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  8. දෙවන කොටස මුලින් බැළුවා. ඒ ලිපිය වගේම මෙම පළමු ලිපියත් හොදම එකක් කියලා කියන්න පුළුවන්. මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. මේ පටන් ගත් වැ‍ඩේ දිගටම කරගෙන යන්න. මොකද මම දැකපු දෙයක් තමයි හොද මාතෘකා ගැන බ්ලොග් ලියන්න ආව බොහොම දෙනෙක් ටික කාලයකට පසුව එයින් ඉවත්ව යාම. සමහර විට යෙදෙන වැඩ රාජකාරි එක්ක මේ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා වෙන්නත් පුළුවන්. හැමදාම නොවුනත් ඉඩක් ලැබෙන හැම මොහොතකම නිවාස ඉදිකිරීමට ප්‍රයෝජනවත් දේවල් ගැන කියන්න. මටත් තව කාලයක් යනකම් ගෙවල් හැදීමේ නිරතවෙන්න වෙන නිසා මේ ලිපි ඉතා ප්‍රායෝජනවත්. ඔබගේ මෙම කාර්යයට අවශ්‍ය ප්‍රචාරය ලැබෙන්න මම මගේ බ්ලොග් එකේ බ්ලොග්රෝල් එකටත් මේ බ්ලොග් අඩවිය ඇතුලත් කරනවා. ඒ එක්කම තවත් ඉල්ලීමක් කරනවා ඔබ කියලා තිබුනා නේද?
    //බැමි බැඳීමේ තව ක්‍රම බොහොමයක් තිබුනත් ඒවා අපේ රටේ ජනප්‍රිය ඒවා නොවන නිසාත්, මේ ලිපි පෙල තාක්ෂණික පාඩම් මාලාවක් කරගැනීමට අකමැති නිසාත්, වැඩිවශයෙන්ම රූපසටහන් හොයන්න සහ අකුරු කොටන්න කම්මැලි නිසාත් තවදුරටත් විස්තර කරන්න යන්නේ නැහැ.//

    මට ටිකක් මේ බිත්ති බැදීමේ ක්‍රම ගැන දැනගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ඒ නිසා ඒ ගැන විස්තර හා රූපසටහන් ඇති අඩවි ගැන විද්‍යුත් තැපෑලට හෝ මෙම ස්ථානයේදීම හරි කමක් නැහැ දැනුවත් කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. හිතවත් දිනේෂ්,

      ඔන්න බිත්ති වර්ග කිහිබයක් දැම්මා. ඒ අතුරින් අවසන් (4වෙනි) ලින්කුව බොහෝ වැදගත් වේවි.

      1. http://www.ibstock.com/pdfs/get-it-right/getitright4.pdf
      2. http://www.heidelbergcement.com/uk/en/hanson/products/bricks/brickwork_details/brick_bond_patterns.htm
      3. http://en.wikipedia.org/wiki/Brickwork
      4. http://www.geograph.org.uk/article/Brick-bonds

      දිගටම අපත් එක්ක රැදෙන්න

      Delete
  9. ලබන අවුරුද්දේ විතර මම ගෙයක් හැදීමේ මහා කර්තව්‍යයට අතගහන්න හිතාගෙන ඉන්නේ.. ඉතින් මේ ලිපි හරිම වැදගත්.. සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච ලාබදායි අලුත් ක්‍රම ගැන විස්තර වැඩි යෙන් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. අපේ ඔළුවල තියෙන යල්පැන ගිය තාක්ෂණික ක්‍රම වලින් පොඩ්ඩක් ඈත් වෙලා සරල් විසදුම් හොයා ගන්න තමා මට ඕනේ.. උදා: ජපන් ක්‍රමයට අපේ ගෙවල් වලට දොරවල් (ස්ලයිඩින් ඩෝර්ස්) නොදාන්න මොකක් හරි හේතුවක් තියෙනවද? ඇතුලේ පාටිෂන් බිත්ති වලට නෝමල් ඔෆිස් පාටිෂන් කරන විදියටම කරන්න බැරිද? ඔන්න ඔය වගේ දේවල් ගැන විස්තර ටිකක් කියල දෙන්න පුළුවන් නම් හරිම ප්‍රයෝජනවත් වෙයි..

    ReplyDelete
    Replies
    1. හිතවත් පැතුම්,

      //සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච ලාබදායි අලුත් ක්‍රම ගැන විස්තර වැඩි යෙන් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි//
      අනිවාර්යයෙන්ම මගේ බලාපොරොත්තුවත් ඒකයි. ඒත් බ්ලොග් එකේ අන්තර්ගතය සම්පූර්ණ වෙන්නඕන නිසා, දැනට භාවිතයේ පවතින සම්ප්‍රදායික ක්‍රමවේද ගැනත් කථාකරන්න හිතුවා.

      //ජපන් ක්‍රමයට අපේ ගෙවල් වලට දොරවල් (ස්ලයිඩින් ඩෝර්ස්) නොදාන්න මොකක් හරි හේතුවක් තියෙනවද? ඇතුලේ පාටිෂන් බිත්ති වලට නෝමල් ඔෆිස් පාටිෂන් කරන විදියටම කරන්න බැරිද?// මේක ගැන නම් ටිකක් දිගට කථාකරන්න ඕන. ඉදිරියේදී පෝස්ටුවකින්ම කථාකරන්නම්.

      Delete
  10. වැදගත් ලිපි පෙළක්
    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන දූපත් වැසියා‍ට ස්තුතියි.

      Delete
  11. ඉතා ප්‍රායෝජනවත්වැදගත් ලිපි පෙළක්
    ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. හිතවත් ගිහාන්

      උනන්දු කිරීම ගැන ස්තුතියි.
      දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  12. නියමා.....යි අදයි බ්ලොගය දැක්කේ.....

    ReplyDelete
  13. මෝඩ ගඩොල් වලට වඩා ,සාමාන්‍ය ගඩොලින් බිත්ති බැන්දොත් වඩා සක්තිමත් සමානය ගඩොල් කියල
    ආකිටෙක් කියනවා ,.වියදම වැඩි නිසා මොකද්ද සුදුසු

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය තත්වයන් යටතේ නිවාසයක බිත්තිවලින් අපේක්ෂාකරන ශක්තිය අඩුනැතිව ලබාදෙන්නට, හොද තත්වයේ රජරට ලොකුගඩොල්(මෝඩගල්)වලට හැකියාව තියෙනවා.

      Delete
  14. මම Don:
    මෝඩ ගල් හරස් අතට තියලා ඔළු ක්‍රමයට 9" බිත්ති බදින්න පුළුවන්ද? එහෙම කලොත් ඉංජිනේරු ගඩොල් වලින් 9" බිත්තිය බදිනවට වඩා ශක්තිය අඩුවෙයිද? ඉහත මෝඩ ගඩොල් බැදීමේ ක්‍රමය භාවිත කලොත් බිත්ති ලෙහෙසියෙන් ඉරි තැලීමේ සම්බාවිතාවක් පවතීද?

    ReplyDelete
  15. මේකනම් ටිකක් දිගට කියන්න වෙනවා හරියටම කේරුම් කරන්න නම්.
    හැකිතාක් කෙටියෙන් කියන්නම්.

    අපි මෙහෙම හිතමු. බැම්මක දුර්වලම තැන් වෙන්නේ එහි කුස්තුරයි. එතකොට ශක්තිමත් බැම්මක අනුයාත වරි අතර කුස්තුර සමපාත නොවිය යුතුයි. මෙහි අනුයාත වරි අතර සිරස් කුස්තුර පැන්නුම වැඩිනම් එහි ශක්තිමත් බව වැඩියි.

    මෝඩගල් වලින් 9“ බැම්මක් බැදීමෙදී ඔළුගල් බඩගල් ලෙස වරි මාරුකල නොහැකියි. ඔළුගල් වරි පමණක් බැදියහැකිවෙයි. එනිසා කුස්තුර පැන්නුම අඩුබැවින් ශක්තිමත් බව අඩුවෙයි.

    තවද

    වරි සියල්ලම ඔළුගල් වන බැම්මක් බදින්නේ අත්‍යවශ්‍යම අවස්තාවකදී පමණයි. මොකද ඔළුගල් වරියක් බැදීම බඩගල් වරියක් බැදීමට වඩා කාලය ගතවන්නක් නිසයි. නිදසුනක් ලෙස වෘත්තාකාර බැමි (ලිං වැනි) සලකන්න පුළුවන්. ලිදකදී නම් එහි හැඩය නිසා එයට ශක්තියක් ලැබෙයි.

    කොහොම වුනත් උසස් තත්වයේ ඉංජිනේරු ගඩොල් හා සම තත්වයේ මෝඩ ගඩොල් බිත්ති 2 ක් අතර සාමාන්‍ය ගොඩනැගිල්ලක ඉදිකිරීමකදී නම් ශක්තියේ ගැටළුවක් මතු නොවුනත්, මෝඩ ගඩොල් යනු සම්මත ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස නොසැලකෙන නිසා එයට ඉංජිනේරු අනුමැතිය ලැබෙන්නේ නැත.

    ReplyDelete
  16. ඉතාමත් වටින වැඩක්.

    ඉදිකිරීම් කෙෂ්ත්‍රය ගැන උනන්දුවෙන් ඉන්න නිසා හැකිනම් වියදම් අවම ක්‍රමයට සාමාන්‍ය නිවසක් තනා ගැනීමට දැනට ලංකාවේදී භාවිතා කළ හැකි ක්‍රමවේදය ගැන ලිපියක් එකතු කරන්න...

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදවෙලා හරි ලිපියක් ලියන්නම් ඒගැන

      Delete
  17. Replies
    1. මේ බ්ලොග් එකේ ඉදිරිපත් කල කරුණු වලින් වැඩක් ගත්තානම් ඒකයි මගේත් සතුට !

      Delete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....