Wednesday, April 25, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -1)


අපේ පසුගිය ලිපි ගණනාවම වෙන්වූයේ  විවිධ ආකාරයේ සම්ප්‍රදායික සහ නුතන බිත්ති බැදීම් ක්‍රමවේද පිලිඹදවයි. අප දන්නා ඉතිහාසයේ ආරම්භයේ ඉදන්ම නිවාස ඉදිකිරීමේදී අ‍පේරටේ අපට හුරුපුරුදු ක්‍රමවේදය වුනේ සුවිශාල ව්‍යුහයන් ඉදිකිරීමයි. ඒනිසාම ඇතැම් රටවල භාවිතා වන ආකාරයේ සරල ව්‍යුහමය සැකිල්ලකට සැහැල්ලු වෙන්කිරීමේ පනේල සවිකිරීම (බිත්ති ඉදිකිරීම වෙනුවට) ආදී ක්‍රමවේද ගැන කථාකරන්නට ගිහිල්ලා, මේ නීරස කාරණා බොහොම අමාරුවෙන් කියවන ඔබගේ ඔළුව තවදුරටත් අවුල්කරන්නේ නැතිව, සති ගණනාවක් තිස්සේ ඇදගෙනආව බිත්ති ඉදිකිරීම කියන මාතෘකාව මේ විදිහට අවසන් කරන්නට හිතුවා. 



බිත්ති වලින් පස්සේ, මිලඟට එලඹෙන වැදගත් අයිතමයක් තමයි දොර සහ ජනෙල් රාමු සවිකිරීම. අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්. ඒවා ගොඩනැගිල්ලට සවිකිරීම, සාමාන්‍ය ව්‍යවහාරයේදී උළුවහු තැබීම/පැනීම විදිහට හදුන්වනු ලබනවා.  මේ කාරණය හා බැඳුණ සංස්කෘතිකාංගත්  තියෙනවාය කියනඑක හැමෝම දන්න කාරණයක් නේ. නිවසක් ඉදිකිරීම, තවත් එක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් පමණක්ම නොවන නිසා, ඒහා බැඳුන යම්යම් සංස්කෘතිකාංග රැසක්ද සමාජගතවෙලා තියෙනවා. පෞද්ගලිකව මම පිලිනොපැද්දත්,  වෘත්තීමය ජීවිතයේදී මෙවන් සංස්කෘතිකාංග ගැන මම නම් දරන්නේ මැදහත් බවක්. මොකද බොහෝදෙනෙක් විශ්වාසකරන ජෝතිෂ්‍ය හාබැඳුන මෙවන් සමහර කාරණා වලට අවශ්‍යනම් යම්තාක්දුරකට විද්‍යාත්මක පැහැදිලිකිරීම්ද දක්වන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම වුනත්  මේවාපිලිඹද අන්ධභක්තියෙන් කටයුතු නොකොට, සංස්කෘතිකාංග විදිහට පමණක් සලකා, එවැනි දෑ අනුගමනය කරනවානම් තමයි වඩාත්ම සුදුසු. මේ සංස්කෘතිකාංග ගැනත් ඉදිරියේදී,  (වැඩිදුර සංවාදයට විවෘතකරපු) පෝස්ටුවක් ඉදිරිපත් තරන්නත් මේසන්බාස් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  බිත්ති බැඳීම සිදුවන අතරතුරඋළුවහු බිත්තියට සවිකිරීම

නිවසක් ඉදිකිරීමේදි මුල්ගල්තැබීමට පසුව එලඹෙන නැකතකට වැඩ ආරම්භවන ප්‍රධාන සංස්කෘතිකාංගය විදිහට උළුවහු තැබීම සැලකෙනවා. සාමාන්‍යයෙන් නිවසක් ඉදිකිරීම හා බැඳුන මෙවන් ප්‍රධාන සංස්කෘතිකාංගය වලදී,  අදාල ශිල්පීන්ට ත්‍යාග පිරිනමා ඔවුන් සතුටුකිරීම (ඔවුන් ඔබට සේවය කරන්නේ කොන්ත්‍රාත් පදනමට වුවත්) සිරිතක්. මෙයට අමතරව අදාල සංස්කෘතිකාංගය සදහා අවශ්‍ය “අඩුමකුඩුම“  සියල්ල සපයාදීමටත් ඔබට සිදුවනවා ඇති. ඒනිසා මේ අඩුමකුඩුම මොනවාද කියලා කල්තියා විමසා දැනගන්නඑක ඔබට බාරයි. මොකද හැමදාම ගල්වැලි සිමෙන්ති එක්කලා ඔට්ටුවෙන මේසන්බාස්ලාට, වරුවෙන් වැඩ නවත්වලා පොඩ්ඩක් විනෝදවෙන්න තියෙන්නේ ඔහොම දවසක් තමයි. (මම මේ ටික විශේෂයෙන් සදහන්කලේ ඔබේ නිවසේ ඉදිකිරීම් අතරතුර මෙවන්නක් අත්දැක්කොත්, එය අසාමාන්‍ය තත්වයක් නොවනබව වටහාගන්නටයි). 

 ආදිකාලේ ගල් උළුවස්සක්


හරි..... දැන් පඳුර වටේ තැළුවා ඇති. අපි ආපසු අපේ මාතෘකාවට එමු.

සාමාන්‍යයෙන් ලී උළුවස්සක් හෝ ජනේලයක්, හරස්කඩ  3”x4” ප්‍රමාණයේ ලී භාවිතාකර නිර්මාණය කරගනු ලබනවා. වියලි කලාපයේ කොහොඹ. තේක්ක ආදී  ශක්තිමත් දැව වර්ග භාවිතා කලද තෙත් කලාපයේදීනම් බහුලව භාවිතාකරන්නේ ප්‍රාදේශීයව සපයාගතහැකි කොස් දැව හෝ ආනයනික කෙම්පස් / බලව් යන දැව වර්ගයි. මෙයට අමතරව උඩරට ප්‍රදේශ වල වැවෙන යුකැලිප්ටස්(ටර්පන්ටයින්) වර්ග වන මෛක්‍රෝ, ගාන්ධීස් ආදියද වර්ණයෙන් පොහොසත් නොවූවත්, ශක්තියෙන් සහ කල්පැවැත්මෙන්(කෘමි හාණි වලට ප්‍රතිරෝධී) ඉතා අගනා විකල්ප දැව විදිහට හදුනාගන්න පුළුවන්. මේ මොන දැවය භාවිතා කලත් අපට අවශ්‍ය විදිහට වර්ණගන්වා, එකම විදිහේ නිමාවක් ලබාදෙන්න පුළුවන් බව මෙහිදී මතක්කරන්නම ඕන. මොකද සමහර විට ඔබ භාවිතා කලේ මිල අධික දැව වර්ගයක් වුවත්, ඔබේ නිවාසයේ තේමාවට අනුකූලව, සියළු දැව කොටස් අවසානයේදී මහෝගනී වර්ණයෙන් වර්ණගන්වන්නට (මහෝගනී යනු සාපේක්ෂව මිල අඩු දැව වර්ගයකි) ඔබට සිද්ධවෙන්න පුළුවන්. එහෙම වෙලාවට, මම මේ ජනේල හැදුවේ අසවල් ලීවර්ගයෙන්ය කියලා බෝඩ් එකක් එල්ලනවා හැරෙන්නට, අතිරේකව වියදම්වූ ලක්ෂ ගණනක මුදල වෙනුවෙන් ඔබට කරන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ.



 මේවා හැබැයි බටහිර රටවල උළුවසු
සාමාන්‍ය යෙන් අපේ රටේ භාවිතා කෙරෙන දොර-උළුවස්සක්, දෙපස කණුදෙකකින් සහ උඩ පඩිකඳකින් සමන්විත වෙනවා. කණුදෙකට වඩා පිටතට නෙරායන උඩපඩිකඳට අයත් කොටස “කණ“ විදිහට හදුන්වනු ලබනවා. උළුවස්ස බිත්තියට හොදින් සවිවීමත්, ඉහල බිත්ති කොටස් වල බර දෙපස බිත්ති දෙකට පැවරීමත් මේ ක‍ණ් දෙකෙහි රාජකාරිය වෙනවා. උළුවස්සේ ඉහලින් වාතාශ්‍ර කවුළුවක් පවතින විට, මැද පඩිකදක් දැකිය හැකිවන අතරම, අපේ ඉපැරණි උළුවස්සක යටපඩිකඳක්ද පැවතිබව කියැවෙනවා( ඇම්බැක්ක දේවාලයේ මෙවැන්නක් අදත් දැකිය හැකිය). සාමාන්‍යයෙන් නිවසක සියළුම දොර සහ ජනෙල් උළුවසු වල මැද පඩිකඳන් එකම මට්ටමින් පැවතිය යුතු වීම රීතියක්. ඒත් ගෙබිමෙහි විවිධ උස මට්ටම් පවතින අවස්ථාවකදී යම් බිත්තියකට අදාල ගෙබිම් (හෝ DPC) මට්ටමේ සිට සමාන උසකින් පවතින ලෙසින් මැද පඩිකදෙහි මට්ටම ඒ ඒ බිත්තියට අදාලව සකසාගත යුතුවෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් ඔබ නිවසතුල කවර ස්ථානයක හිටියත් ඔබට ආසන්න දොරෙහි හෝ ජනේලයේ මැදපඩිකඳ (මැද පඩිකඳක්/වා කවුළුවක් නොමැති අවස්ථාවකදී නම් උඩපඩිකඳ) ඔබේ හිසෙහි මට්ටමෙහි සිට යම් නිශ්චිත උසකින් පැවතිය යුතුය. 

 දොරෙහි හෝ ජනේලයේ මැදපඩිකඳ ඔබේ හිසෙහි  සිට යම් නිශ්චිත උසකින් පැවතිය යුතුය


නිවස අභ්‍යන්තර පරිසරයේ සිසිල් බව රැකදෙන වා කවුළු, බීරළු, ලැටිස්, ආරුක්කු, ට්‍රෙලිස්, ලුවර, කැටයම් ලෑලි  ආදී විවිධ මෝස්තර වලින් නිර්මාණය කෙරෙන අතර කාලානුරූපව ජනප්‍රියතාව උස්පහත් වෙමින්, නිවසේ බාහිර පෙනුම වැඩිකිරීමටත් යම් දායකත්වයක් ලබාදනවා. මේවායින් කවර වර්ගය වඩා සුදුසුද කියන පැණය අපෙන් අහන්නේ නැතිනම් තමා වඩා සුදුසු. මොකද ඒවායේ සඵලතාවයෙන් ස්වායක්තව කාලාණුරූපව මේ මෝස්තර (සාධාරණ නොවන හේතූන් මත පවා) වෙනස්වන නිසාමයි. කොහොම වුනත් නිර්මාපකයන් අතර “ලූවර“,  සදාකාලික වාකවුළු මෝස්තරය ලෙස සැලකෙනවා. (ඒත් ලූවර වල ස්වරූපයෙහි, කාලීනව සිදුවන වෙනස්කම් දැකිය හැකියි)

“ලූවර“,  සහිත වාකවුළු මෝස්තරයක්


සාමාන්‍යයෙන් නිවසක බාහිර බිත්ති වලට සවිවන උළුවසු සදහා වාතාශ්‍ර කවුළු පවතින බැවින් මැදපඩිකඳක් පැවතියද අභ්‍යන්තර බිත්ති සඳහා සවිවන උළුවසු සදහා මැදපඩිකඳක් නොපවතී. ඒ අභ්‍යන්තර උළුවසු, වාතාශ්‍ර කවුළු නොදරන බැවිණි. එහෙත් ගොඩනැගිල්ල සඳහා යොදාගත් තේමාව අනුව, එහෙමත් නැතිනම් ඔබගේ ගෘහනිර්මාණ ශිල්පියා විසින් හදුනාගන්නා ලද විශේෂ අවශ්‍යතා මත අභ්‍යන්තර බිත්ති සඳහා සවිවන උළුවසු සදහාද මැදපඩිකඳන්(සහ වාතාශ්‍ර කවුළු) යොදාගැනීමට සමහරවිට ඔබට සිදුවිය හැක. මා මේකාරණය සඳහන්කලේ, නිවාස ඉදිකිරීමේදී ඒහා සම්බන්ධ විශේෂඥයන්ට, යම්යම් රීතීන් අතික්‍රමණය කලහැකිබව පෙන්වා දෙන්නටයි. (තවත් විදිහකින් කිව්වොත්, සමහර වෙලාවට, විෂය නොදන්නාකෙනෙකුගේ ග්‍රාම්‍ය ඉදිකිරීමක් සහ විශේෂඥයකුගේ ප්‍රශස්ථ නිර්මාණයක් අතර ඇත්තේ බොහොම පුංචි වෙනසක් බව ඔබට පැහැදිලි කරන්නයි. හැබැයි ඉතින් එහෙමය කියලා ඉංජිනේරුවෝ උවමනා නැතිය, මේසන් බාස්ලා විතරක් හිටියාම ඇතිය කියලා හිතන මෝඩ දේසපාලුවන්ගේ ගානට මේක කියවන ඔයගොල්ලෝ පත් නොවේවිය කියලා මංතුමා - (මේසන් බාස් කෙනෙක් වුනත්, විෂයත් පොඩ්ඩක් දන්න නිසා) - විශ්වාස කරණවා)

 
 විශේෂඥයන්ට, යම්යම් රීතීන් අතික්‍රමණය කලහැක


උළුවහු බිත්තියට සවිකිරීම ඉදිකිරීම් අදියර දෙකකදී සිදුකරන්නට පුළුවන්. ඒ බිත්ති බැඳීම සිදුවන අතරතුර එයට සමාන්තර ලෙස හෝ සුදුසු පරිදි කවුළු ඉතිරිකරමින් බිත්ති බැදීම සිදුකර පසුව උළුවසු තබා හිරකිරීම වශයෙනි. සවිවීම අතින් පලමුවැන්න වඩා හොද වනවිට උළුවසු වල පැවැත්ම සම්බන්ධයෙන් දෙවැන්න වඩා හිතකර වෙනවා. මේ කවර ආකාරයට සිදුකලද ලී උළුවසු සදහා පලමුව දැව ආරක්ෂක ආලේප ද්විත්වයක් සහ සීලර් ආලේපනයක් සිදුකර උළුවසු තැබීම ඒවායේ කල්පැවැත්මටත්, මනා පෙනුම රැකගැනීමටත් අනිවාර්යයෙන් හේතු වෙනවා. ඒ වගේම අවශ්‍යතාව පරිදි අවුල්පාසු සවිකිරීමත් ඉතාමවැදගත්. විශේෂයෙන් බ්ලොක්ගල් බිත්ති සදහා අවුල්පාසු සවිකිරීම, උළුවස්ස (හෝ ජනේල රාමුව) බිත්තියට හොදින් සවිවීමට ලොකු මෙහෙයක් ඉටුකරනවා. අවුල්පාසුවක් (Hold pass) කියන්නේ උළුවස්සක් බිත්තියකට සවිකිරීම උදෙසා සකස්කර තිබෙන අවයවයකටයි. මෙවැන්නක් තහඩු පතුරක් හෝ කම්බියක් විය හැකියි. එතරම් සාර්ථක නැතත් සමහරු මේකට කටුකම්බිත් යොදාගන්නවා. විශේෂයෙන් සුලං පවතින ප්‍රදේශවල, ජනේල හෝ දොරපියන් වේගයෙන් වැසීමෙන්/ඇරීමෙන් ඇතිවන බලපෑම(Impact) සමනය කරගැනීමට මෙම අවුල්පාසු දායක වෙනවා. ඕනෑම ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසලකින් මිලට ගතහැකි අවුල්පාසු, එතරම් මිලැති අයිතමයක් නොවනබවත් දැනසිටීම වැදගත්.

 විවිධ වාකවුළු මෝස්තර එකම නිවසට යොදාඇති අවස්ථාවක්

පෝස්ටුව ිග වැඩිවන නිසා අදට මෙතනින් නවත්වනඑක හොඳයි වගේ. මොකද දිග වැඩි වුනොත් ඒකෙන් මේක කොටන මටවත් කියවන ඔයගොල්ලන්ටවත් වැඩි හොදක් වෙන එකක් නැහැ. මීලඟ පෝස්ටුවෙන් උළුවසු/ජනෙල් සම්බන්ධ පලාත්පාලන ආයතනික (නගරසභා) නීති ගැන යමක් කථාකරන්නයි බලාපොරොත්තුව. ඒකට තව ලුණුඇඹුල් මොකුත් උවමණානම්, කොමෙන්ටුවකින් හෝ මගේ විද්‍යුත් ලිපිනයට විදි ඊයකින් විමසීමක් කරන්න.

ඔබසැමට සුභ සතියක්.!

Wednesday, April 11, 2012

සිමෙන්ති මිශ්‍රිත පස් බ්ලොක්ගල් බිත්ති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (බිත්ති බැඳීම-5)

අපි පසුගිය ලිපියෙන් කථාකලේ, මිලෙන්වැඩි සම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන ලාබදායී නූතන විකල්පයක්වූ  ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls) පිලිඹදවයි. එහිදී පොරොන්දු වෙච්ච ආකාරයටම අද දවසේ අපේ බලාපොරොත්තුව එහි වැඩිදියුණු කල සංස්කරණයක් වෙච්ච ස්ලිප් ෆෝම් පස් බිත්ති සහ ස්ථායීකරනය කල පස්ගල් බිත්ති ගැන බිඳක් වැඩිපුර කථාකරන්නයි.

මේ තියෙන්නේ පස්ගල් බිත්තියක්

සිමෙන්ති මිශ්‍රිත පස් එහෙම නැතිනම් වඩාත් තාක්ෂණිකව කිව්වොත් ස්ථායීකරණය කරනලද පස්, ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් විදිහට ඉතා උසස් ගුණාංග පෙන්වනු ලබනවා. අපේ සම්ප්‍රදායික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල තියෙන යහගුණ සියල්ල අඩුනැතිව අයිතිකරගත් පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමවේදෙයක් ඇතිකරන්න නර්ඩ් ඉංජිනේරු කණ්ඩායම ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නිෂ්පාදනය එලිදැක්වෙලා තියෙන්නේ. මෙහිදී අමුද්‍රව්‍ය විදිහට යොදාගැනෙන්නේ පස්, සිමෙන්ති, හුණු සහ ජලය පමණයි. ඒ නිසා වැලි අර්බුදයට මේක ඉතා හොද පිලියමක්. තාප පරිවාරක ගුණය ඉහල බැවින් ගොඩනැගිල්ලෙහි ඇතුලත පරිසරය සුවපහසු එකක් වීමත් වියදමින් 15% ~ 35% අතර ප්‍රමාණයක් ඉතිරිකරගත හැකිවීමත් ප්‍රධාන වාසි විදිහට දක්වන්න පුළුවන්.
පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති නිපදවීමේ ක්‍රමවේදය සරලව මේ විදිහට දක්වන්න පුළුවන්,
·        සුදුසු පසක් තෝරාගැනීම (Selection of suitable soil)
·        පස් සපයා ගැනීම / හාරා ගැනීම (Extraction of soil)
·        (අවශ්‍යනම්) පස් හලාගැනීම (Sieving of soil, if it is necessary)
·        සිමෙන්ති හෝ සිමෙන්ති සහ හුණු මිශ්‍රකිරීම (Mixing with cement or cement & lime)
·        ජලය එකතු කිරීම සහ මිශ්‍රණය කලවම්කිරීම (Adding & mixing with water)
·        පස්ගල් නිෂ්පාදනය/ ස්ලිප් ෆෝම් පස් බිත්ති ගොඩනැංවීම (Manufacturing of blocks)
·        පදම්කිරීම (Curing under a shade)
·        පස්ගල් භාවිතාකිරීම (Using of blocks)
·        අවශ්‍යනම් කපරාරු කිරීම.( Plastering walls, if it is necessary)

මේකත් පස්ගල් බිත්තියක්

පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති සදහා මැටි අඩු, වැලි වැඩි හෝ බොරළු සහිත පසක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 10% -15% අතර මැටි අඩංගු පසක් ඉතා යෝග්‍ය බවට සැලකෙනවා. ඔබ සතුව ඇත්තේ මැටි ප්‍රතිශතය වැඩිපසක්නම්, වැලි හෝ වැලි සහිත පස් එයට එක්කර එහි තත්වය වැඩිදියුණුකොට භාවිතා කරන්නට හැකියාව තිබුනත් ඔබ සතුව ඇත්තේ සියුම්වැලි(silt) වැඩි පසක්නම් එය මේ කටයුත්ත සදහා සුදුසු නොවනබව සිහිතබාගැනීම වැදගත්. සුදුසු පසක් තෝරාගැනීම සදහා සරල පරීක්ෂණයක් වන බෝතල් පරීක්ෂණය වුනත් හොදටෝම ඇති. දැන් ඔන්න බෝතල් පරීක්ෂණය කියන්නේ මොකද්ද කියලා අහස පොලව ගැටගහගෙන කල්පනා කරන්න එපා. මේක අපි හැමෝම ඉස්කොලේ පොඩිපන්ති වලදි කරපු දෙයක්. ඒ කියන්නේ පිරිසිදු අවර්ණ බෝතලයකට පස් සාම්පලයක් දමලා, ඒවාගේ දෙගුණයක් පිරිසිදු ජලය එකතුකරලා තදින් සොලවලා පැයකට පස්සේ දෙවෙනි පාරටත් සොලවාලා නිශ්චලව පැය 8 ක් තියලා, වතුර හැරෙන්නට ඝණ ද්‍රවව්‍ය වල එක් එක් තට්ටුවේ උස මැනගෙන එහි බොරළු, වැලි, සියුම්වැලි, මැටි අනුපාත ගණනය කරන එකයි. 


 මේ තියෙන්නේ බෝතල් පරීක්ෂණයක ආදර්ශයක්


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක්

කොහොම වුනත් මේ මිශ්‍රණයට යොදාගන්න සිමෙන්ති අනුපාතය සාමාන්‍යෙයෙන් 1:10 ලෙස සැලකුවත්, විධිමත් රසායනාගාර පරීක්ෂණ සහිත වානිජ නිෂ්පාදනයකදී එය 1:20 දක්වා වෙනස්වෙන්න පුළුවන්. පස්ගල් නිෂ්පාදනය සදහා යොදාගන්නා යන්ත්‍රසූත්‍රද, අතින් ක්‍රියා කරන සරල යන්ත්‍රවල සිට ද්‍රවස්ථික සම්පීඩක දක්වා වෙනස්වෙන බවත් කියන්න ඕන. වෙන්කිරීමේ බිත්ති සදහා යොදාගැනීමට නිර්දේශ කෙරෙන මෙවන් පස් ගලක අවම සම්පීඩන ශක්තිය 1.2N/mm2  ලෙසට සැලකෙන බවත් නොකිව්වොත් වැරැද්දක්.


 අතින් ක්‍රියාකරවන වෙනස් වර්ගයක පස්ගල් නිපදවන යන්ත්‍රයක්


 ස්ලිප්පෝම් පස්බිත්තියක්
බොහොමයක් පස්ගල් බිත්ති කපරාරු කිරීම අවශ්‍ය නැහැ. විශේෂයෙන් වැඩිදියුණු කල හැඩයක් සහ අතුරුගුළු(inter locking) සහිතව ඉදිරිපත්ව ඇති අළුත් පස්ගල් ප්‍රභේද කපරාරු රහිත බිත්ති ලෙස ගොඩනැංවීම සදහාම නිෂ්පාදිතයි.


 විවිධ පස්ගල් වර්ග
පස්ගල් බිත්තියක් කපරාරු කිරීම අවශ්‍යනම් ඒ කටයුත්තත් සම්ප්‍රදායෙන් බැහැරව සිදුකරන්න පුළුවන්. ඔබේ පස මැටි වැඩි එකක්නම් 1:3:3 සිමෙන්ති:පස්:වැලි මිශ්‍රණයක්ද මැටි අඩු වැලි සහිත පසක් නම් 1:6 සිමෙන්ති:පස් මිශ්‍රණයක්ද කපරාරුව සහ බැමිබැඳීම සදහා යොදාගන්න පුළුවන්. කපරාරුව සුද මැදීම සදහා අවශ්‍යනම් මකුළු පසින් හෝ මැටිවැඩි පසකින් ජලයේ දියකර වෙන්කරගත් මැටි කොටස් 15ක් සිමෙන්ති එක් කොටසක් සමග මිශ්‍රකර භාවිතයට ගන්න පුළුවන්.


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්

මේ කාරණා සේරම සලකලා බලපුවහම තේරුම්ගතයුතු වැදගත් දෙයක් තමයි මේ ක්‍රමවේද අනුගමනය කරන්න ඒ පිලිඹදව හොද දැනුමක් හා අවබෝදයක් තියෙන්න ඕනය කියනඑක. ඒ නිසා මගේ උපදේශයනම් කොච්චර වාසි සහගත වුනත් මේවාගේ තාක්ෂණය සමග බද්ධ වෙච්ච වැඩ, ඒගැන දැනුමැත්තකුගේ සහයකින් තොරව, තනියම කරන්න යන්න එපාය කියන එකයි. අර කථාවටත් කියන්නේ, දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග කියලා. ගෙවල් හැදිල්ලෙදිත් මේ කාරණය එහෙමම තමයි ඕං  !