Monday, November 5, 2012

කොන්ක්‍රීටයක ශක්තිය රැකගැනීම හා සම්බන්ධ ගුරුහරුකම් (කොන්ක්‍රීට් 3)



අළුත් පෝස්ටුවක් එලිදක්වන්න සති 6කටත් වැඩිකාලයක් ගතවීම පිලිබඳව හැමදාමත් වගේ මෙම බ්ලොග් සටහනෙන් ඉදිරිපත්කෙරෙන නීරස තාක්ෂණික කාරණා; අපහසුවෙන් වුනත් කියවාදමන, හිතමිතුරු ඔබ සැමගෙන් මේසන්බාස් සමාව ඉල් සිටිනවා. පසුගිය කාලය වැඩ අධිකවීමත්, වයසට ගියත් පුංචිපහේ අධ්‍යාපනික කටයුත්තකට කාලය යොදවන්න සිද්ධවීමත් ඒකට නිදහසට කරුණුවිදිහට දක්වන්න පුළුවන්. අනෙත් අතට ඒක අපේ පුරුද්ද නොවැ. ජීවි‍ මොනයම්හෝ දවසක, කවරහෝ ඉදිකිරීමක් කරවාගත්ත කෙනෙක් දන්නවානොවැ මේසන්බාස්ලා තරම් නිදහසට කරුණු දක්වන්න සමත් පිරිසක් මේ සක්වලේම නැහැ කියලා.

මේසන්බාස්ගේ පසුගිය ලිපිය වෙන්වුයේ, නිවාස ඉදිකිරීමේදී හැමෝටම වැදගත්වෙන කොන්ක්‍රීට් හා සම්බන්ධ තාක්ෂණික කාරණා කිහිපයක් විස්තරකිරීමට බව තවමත් ඔබට අමතක නැතිව ඇති. ඒ විස්තරය වැඩිදුරටත් මතක්කරගන්න කැමති කෙනෙකුට මෙම සබැඳියාව ඒ සඳහා භාවිතාකරන්න පුළුවන් ඔන්න.

කොන්ක්‍රීට් දැමීමට සූදානම් කරමින්

පසුගිය පෝස්ටු‍වෙන් විස්තරකෙරුණ තාක්ෂණික කාරණා සම්බන්දව වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලමින් මාවෙත විද්‍යුත් පණිවිඩ රැසක් ලැබුන නිසා, මහල් නිවාස සදහා කොන්ක්‍රිට් තලය (Concrete floor slab) ගැන කථාකරන්නට පළමුව, තවදුරටත් අමතර තාක්ෂණික කාරණා ටිකක්ගැන ඔබගේ දැනුම පුළුල්කරන්නට හිතුවා.

 “ඔබේ නිවස ඉදිකිරීමේදී අවශ්‍ය සියළු සම්පත් නිසිපරිදි සපයනු ලැබූවත්, කොන්ක්‍රීටයක් එය ලබාගතයුතු උපරිම ශක්තිය අත්කර නොගැනීමට වැඩිඉඩක් පවතී” යන ප්‍රකාශය තමයි අද දවසේ අපගේ සාකචඡාවට බදුන්වන්. ඒ අනුව කොන්ක්‍රීටයක ශක්තිය හා සම්බන්ධවන කාරණා 4ක් අද අපගේ කතාබහට ලක්වෙනවා. ඉංග්‍රිසි සී අක්ෂරයෙන් ආරම්භවන නිසාවෙන් සී4 නීති (4C Rules) විදිහටත් හදුන්වනුලබන මේවාගැන යම්පමණකින්හෝ අවබෝධයක් ලබාතිබීම, අනාගතේ නිවසක් තැනීමට බලාොත්තුවෙන කෙනෙකුටනම් කිසිේත්ම අපතේ යනඑකක්නම් වෙයි. 

4C Rules
1.     Composition - සංයුතිය
2.     Compaction - සුසංහසනය
3.     Cover - වැස්ම
4.     Curing - පදම්කිරීම

මෙයින් සංයුතිය සහ සුසංහසනය‍ට අදාල බොහෝ කරුණු කාරණා පසුගිය ලිපියෙන් අපගේ සාකච්ඡාවට බදුන්වූබව ඔබට මතකඇති. ඒ නිසා ඉදිරි ලිපිසදහා අපගේ අවධානය, වැස්ම සහ පදම්කිරීම යන කාරණා වලට සීමාකරන්නට හිතුවා. ඒ වගේම මෙම ලිපිය කියවන බොහොමයක් දෙනා සිවිල් ඉංජිනේරු විෂය සම්බන්ධව අඩු දැනුමැත්තන්ය යන උපකල්පනයේ පිහිටා, ඉතා සරලව මතුපිටින් පමණක් මේවා විස්තර කෙරෙනබවත් මතක්කරන්න කැමතියි. වැඩි විස්තර අවශ්‍ය අයට කොමෙන්ටුවකින් පොදුවේත්, විද්‍යුත් තැපෑලෙන් පෞද්ගලිකවත් ඒ ගැන විමසාසිටින්න අවස්ථාවත් සලසලා තියෙනවා ඔන්න.

වෙනත් රටවල භාවිතාවන විවිධ හැඩ වැසුම්කැට

මොකද්ද මේ “වැස්ම” (Cover)කියන්නේ. නමේ තේරුම පරිද්දෙන්ම මේකත් කිසියම් ආකාරයක ආවරණයක් තමයි. කොන්ක්‍රීට් ව්‍යුහයක අඩංගුවන වැරගැන්නුම් (කම්බි) සහ එහි බාහිර පෘෂ්ඨය(පරිසරය) අතර පැවතියහැකි අවම සම්මත දුරප්‍රමාණය එහි වැස්ම විදිහට හදුන්වන්න පුඵවන්. මෙය ඒ ඒ ව්‍යුහයෙහි ස්වභාවයත්, එහි ස්වරූපය සහ කාරියභාරයත්, එය පවතින පරිසරයත් ආදී සාධක බොහෝගනනක් මත රඳපවතිනව. සාමාන්‍ය තත්ව යටතේ ඉදිකරනුලබන නිවසක, වායව එහෙමත් නැතිනම් පොලව මට්ටමින් ඉහල ව්‍යුහයන් සඳහ වැස්ම 1” ලෙසත්, අත්තිවාරම් ආදි භූගත ව්‍යුහයන් සඳහ වැස්ම 11/2” ලෙසත් පවත්වාගැනීම වරදක් නැහැ. එහෙත් කිසියම් ඉදිකිරීමක් සඳහා ව්‍යුහාත්මක සැලැස්මක් සකස්කොටගෙන තිබේනම්, එහි සදහන්වන ප්‍රමාණයන් වැස්ම වශයෙන් උපයෝගීකරගත යුතුවනවා.

වැසුම්කැට තබනලද ‍වැරගැන්නුම් පෙලක්

කොහොමද ඔය කියන වැස්ම කොන්ක්‍රීටයක ශක්තියට දායක වෙන්නේ ?.
ඒක මම මේ විදිහට ‍පැහැදිලි කරන්නම්.

කොන්ක්‍රීටයක් ස්වභාවිකවම වැඩි සම්පඩන ශක්තියක් (තෙරපීමට ඔ‍ත්තුදීමේ හැකියාවක්) දරනවා.  එහෙත් එය සතුවන්නේ සාපේක්ෂව ඉතා අඩු ආතතික ශක්තියක් (ඇදීමට ඔ‍ත්තුදීමේ හැකියාවක්) පමණයි. සාධාරණ කොන්ක්‍රීට් ව්‍යුහයකට,  සම්පඩන ආතතික යන දෙවර්ගයේම බලයන්ට ලක්වීමට සිදුවන නිසා, කොන්ක්‍රීටයෙහි ආතතික ශක්තිය වැඩිකරලීම උදෙසා වැරගැන්නුම් (Reinforcement) එකතුකරනු ලබනවා. කිසියම් කොන්ක්‍රීටයක අභ්‍යන්තරය තුල පිහිටවනු ලබන යකඩ කම්බි, මෙලෙසින් යොදාගනු ලබන ජනප්‍රියම වැරගැන්නුම්  විශේෂයයි.

මෙසේ යොදනුලබන යකඩ කම්බි මළකමෙන් වලක්වාගැනීමටනම්  ඒවා බාහිර පරිසරයෙන් වෙන්කර තබාගත යුතුවෙයි. ඒ වගේම කම්බියක ශක්තිය කොන්ක්‍රීටයට ලබාගැනීමටනම් එම කම්බිය කොන්ක්‍රීටයට නිසිපරිදි සවිවීම (grip) අවශ්‍ය වෙයි. ඒ සදහා  එම කම්බිය වටා යම් කොන්ක්‍රීට් ප්‍රමාණයක් පැවතිය යුතුබවත් ඔබට වැටහෙනවා ඇති. මේ අනුව නිවාස වැනි කාර්මිොවන ඉදිකිරීමකදී, පොලව මට්ටමින් ඉහල ව්‍යුහය G20 කොන්ක්‍රීටයක් සඳහා යෝජනාකලහැකි වඩා සාධාරණ ඉඩප්‍රමාණය එහෙමත් නැතිනම් වැස්ම,  1”ක් ලෙස සලකන්න පුළුවන්.

වෘත්තාකාර ව්‍යුහයකට වැසුම්කැට යෙදීම

 ඉතිං ඇයි ඕකට අඟලක්ම තියන්නේ. වැඩිපුරත් එක්ක 2”ක්ම තිබ්බොත් මොකද වෙන්නේ ?

මේකට උත්තරේ මම කලින්ම දුන්නා. කම්බි යොදන්නේ ආතතික ශක්තිය වැඩිදියුණු කරන්න. ඉතිං ඒ අනුව කම්බි ස්ථානගත වෙන්න ඕනත් වැඩිම ආතතික බලයන්ට ලක්වන ස්ථනයන්වලයි. සාමාන්‍යයෙන් කිසියම් ව්‍යුහයක මෙවන් බලයන්හි උපරිම ක්‍රියාකාරිත්වය එහි බාහිර පෘෂ්ඨයට ඉතාම ආසන්නව ක්‍රියාත්මක වෙනව.

ඒඅනුව වැඩිපුර ප්‍රමාණයක් වැස්මක් පැවතීම යනු යම් ව්‍යුහයක සක්‍රිය හරස්කඩ අඩුකරගැනීමකට සමාන කරන්න පුඵවන්. වෙනත් විදිහකින් කිව්වොත් 2” වැස්ම සහිතව ඔබ සකස්කරගන්නා 9”x9” කොන්ක්‍රීට් බීම් එකක් ක්‍රියාකරන්නේ 1” වැස්ම සහිත 8”x8”  ප්‍රමාණයේ බීම් එකක් විදිහටයි කියලා  ඔබ සැලකුවාට මහා වරදක් නැහැ.

අවාසනාවකට වගේ බොහොමයක් පෙදරේරු මහතුන් වැඩිපහසුව සලකා, වායව කොටස් සදහාත් 11/2” ක හෝ එයටත් වඩාවැඩි ප්‍රමාණයක වැස්මක් යොදාගනු ලබනවා දකින්න පුඵවන්. ඒවගේම එමගින් කම්බි පිටතට නිරාවරණය වීමට ඇති අවස්ථාව අඩුකෙරෙන නිසා වැඩෙහි නිමාව පිලිබදව ගනුදෙනුකරුගේ අපවාද වලට ලක්වෙන්න ඇති ඉඩකඩත් එයින් ඇහිරෙනවා නොවැ. ඒත් එය නිවැරදි නොවන බවත් එහෙම කලොත් කොන්ක්‍රීටයෙහි ශක්තිය අඩුවනබවත් මේවනවිට ඔබට පැහැදිලිවෙන්න ඕන.

වැසුම්කැට නිවැරදිව යොදාගැනීම


වැඩබිමේද නිවැරදි ප්‍රමාණයට වැස්ම පවත්වාගන්නේ කෙසේද ?

මේකට නිවැරදිම ක්‍රමවේදය වැසුම්කැට(Cover blocks)  භාවිතා කිරීමයි. වැසුම්කැට යනු  1:2 සිමෙන්ති වැලි බදාමයකින් අවශ්‍ය වැස්මෙහි ඝණකම සහිතව, කපාගනු ලබන 2”x2”  ප්‍රමාණයෙහි අඵවාකෑලි ආකාරයේ කැට විශේෂයක්. අවශ්‍යනම් බදාමය සවිවීමට පලමුව එහි මැදින් බැඳුම් කම්බි කැබැල්ලක් සවිකරගැනීමද කරන්න පුළුවන්. වැඩිදුරටත් කියනවානම් මේක හරියට කෘෂිකර්මාන්තයෙදී යොදාගැනෙන ඩැපොග් තවානක් වගෙයි ඔන්න.

අපේ රටේ බහුලව යොදාගැනෙන වැසුම්කැටයක්


මේ සියළු කාරණා අනුව කොන්ක්‍රීටයක ශක්තියට එහි වැරගැන්නුම්/කම්බි නිසි පරිදි ස්ථානගතවීම, එහෙමත් නැතිනම් වැස්ම කොයිතරම් වැදගත්වේදැයි ඔබට පැහැදිලි වියයුතුයි. මෙයට අමතරව යම් ොන්ක්‍රීට් ව්‍යුහය ගින්න‍ට ඔොත්තුදීේ හැකියාවද වැස්මෙන් තීරණයවන නිසා,  ඔබේ පෙදරේරු මහතාට නිවැරදි පිලිවෙලට වැසුම්කැට (Cover blocks) භාවිතා කරනලෙස උපදෙස් දීමෙන් වැලකීසිටින්නටනම් දැන් ඔබට හැකියාවක් නැතිේවි.