Wednesday, May 23, 2012

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු


අපගේ පසුගිය ලිපිය වෙන්වුයේ, සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී යොදාගැනෙන දැවමය දොර සහ ජනෙල් රාමු පිළිබඳවයි. ඔන්න දොර සහ ජනෙල් රාමු ගැන වැඩියමක් දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් ඒ පෝස්ටුවත් බලන්න පුළුවන්. ඉතිං පසුගිය ලිපියෙන් පොරොන්දුවූ ආකාරයටම, උළුවසු/ජනෙල් සම්බන්ධ පලාත්පාලන ආයතනික (නගරසභා) නීති රීති ගැන යමක් කථාකරන්නයි අද අපේ බලාපොරොත්තුව.



ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නගරසභා නීති මගින් අදාල පලාත් පාලන බල ප්‍රදේශයතුල ඉදිකෙරෙන සියළු ස්ථිර ගොඩනැගිලි යම් ආකාරයක ප්‍රමිතිගත කිරීමක් සිදුවෙනවා. ඒ වගේම එම ගොඩනැගිලි වල නිවැසියන්ගේ සේම ඒවායේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමත් පරිසරය සුරැකීමත්, ආරවුල් ඇතිවීම අවමකිරීමත්, අනාගත වැඩිදියුණුකිරීම් සදහා ඉඩප්‍රස්තාව ඇතිකිරීමත් ආදී බොහෝ යහපත් පරමාර්ථ මේවාතුල දකින්න පුළුවන්. ඒ නිසාම, පුරවැසියන් විදිහට මේ පුංචි ආණ්ඩු (Local Authorities) වල ඉදිකිරීම් නීති ගැන පරිපූර්ණ දැනුමක් කොහොමවුනත් යම් වැටහීමක් හෝ ලබා සිටීම, අපතේයන්නක් නොවනබව තමයි වි‍ශේෂයෙන් කියන්න තියෙන්නේ.



මේ නීති රීතීන් ගැන ඔබට ඔබේ සිහින නිවස සැලසුම්කරදෙන නිර්මාණශිල්පීයා (ඔහු ගෘහනිර්මාණ ශිල්පියකු, ඉංජිනේරුවරයකු හෝ අත්දැකීම් බහුල  සැලසුම් ශිල්පියකු යන අය අතුරින් කවරකු හෝ වියහැකියි) සැලකිලිමත් නොවුනහොත් සැලැසුම අනුමත කරගැනීමට යාමේදී විවිධ ගැටළු වලට මුහුණදෙන්නට අනිවාර්යයෙන් ඔබට සිදුවේවි. මෙන්න මේ තත්වය බොරදියේ මාළුබෑමේ අවස්ථාවක්, මෙම අනුමත කිරීමේ දාමයට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ට උදාකරදී ඇතිබවක් තමයි පෙනෙන්න තියෙන්නේ. මම මේ කියන්නේ මොකද්ද කියලා, කවදාහරි දවසක පලාත්පාලන ආයතනයකින් නිවාස සැලැසුමක් අනුමතකරගත්ත ඕනම කෙනෙකුට වැටහෙනවා ඇති. 



තවත් සමහරු මෙයට වඩා තවත් පියවරක් ඔබ්බට තබමින්, (තම සැලැසුම අනුමත කරගැනීමට ඇති පහසුව නිසාම) මෙම අනුමත කිරීමේ දාමයට සම්බන්ධ  නිලධාරීන්ලවාම තම නිවාස සැලසුම සකසාගැනීමට කටයුතු කරන අවස්ථාද දකින්න පුළුවන්. ඉදිකිරීම් ව්‍යාපෘතියේ මුල් අදියරයන්හිදී  (සැලසුම අනුමත කරගැනීමේදී) එය ඉතා සාර්ථක බව තමයි වැඩිදෙනෙකුට හැඟීයන්නේ. ඒත්,  පසුව එලඹෙන ඔබේ සිහින නිවසෙහි නිර්මාණාත්මක සහ ගුණානාත්මකභාවය හා සම්බන්ධ කාරණාවලදී බොහෝවිට ඔබට පසුතැවිලිවීමට තරම් ඔබගත් එම වැරදි තීරණය හේතු වනබව තමයි කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ. ඒ මොකද මෙවැන්නක් බෙහෙත් පිලියෙල කරන්නකු (dispenser) ලවා ‍රෝගීප්‍රතිකාරයක් ලබාගැනීමකට සමානකලහැකි අවස්ථාවක් වන නිසයි. 



මේවා එහෙම සිද්ධවෙන්නේ නැතිය කියලා සරම උස්සගෙන චන්ඩිපාට් දාන්න කවුරුවත් සූදානම්වෙන්න එපා. මොකද මම ඔය කිව්වේ, අනික්අයගේ හරිවැරදි බලන්න වැඩබිම් නිරීක්ෂණ චාරිකාවල යෙදෙනකොට, මට හමුවන බොහොමයක්  නිවාස හිමියන් ලබාතියෙන කටුක අත්දැකීම් වලින් සමහරක් ගැන පමණක් වන නිසා. මේ අතරින් බරපතල විදිහට අමාරුවේ වැටුන අයව “ගොඩදාලා දෙන්න“ යන වැඩබිම් නිරීක්ෂණ චාරිකාවලට අපි කියන්නේ Mission of Rescue (කරදරේ වැටුනවුන් ගලවාදෙන මෙහෙයුම්) කියලා. ඒත් සමහර නිවාස තනන්නන් කරගෙන තියෙන මෝඩකම්වල ප්‍රමාණයේ හැටියට ඒ නමත් බරමදිය කියලා තමයි කියන්න වෙන්නේ. 




 

කියන්නට කාරණා බොහොමයක් තිබුනත් අපේ අදදවසේ මාතෘකාවෙන් පිටපනින නිසා,  මේගැන වැඩිදුර කථාකරනඑක අපි ඉදිරි පෝස්ටුවකට බාරකරමු.


කොහොම වුනත් මේ විදිහට වැල්බයිලා ටිකක් කිව්වේ, මේක බලන්න ආව අයගේ කම්මැලිකම පොඩ්ඩක් විතර අඩුකරලා කියවීමේ රුචිය ඇතිකරන්නත් එක්කයි. මොකද කාටහරි බණිනවානම් අපේ අය්යලාට අක්කලාට ඊටවඩා දෙයක් නැහැනොවැ. හරි, ඒ කථා නවත්වලා ඔන්න ඔහේ එහෙනම් අපි නගරසභා නීතිටිකත් මේ ගමන්ම කියවලාම හිටිමුකෝ.

1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)

ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි  වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

2.නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.

ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව  වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.



3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය. 

මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 23/4  ක් (මීටර 0.9) ලෙසද සැලකේ.


4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.

5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.

6. බිම් මට්ටමේ සිට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩුතැන් නොවිය යුතුය.

7. මනුෂ්‍ය වාසයට තැනූ ඕනෑම කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට (සම්මත ආලෝක තලයකට) විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.
 
ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර+ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවනලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය. ආලින්දයක සම්පූර්ණ දිගට අඩි 3 කට වඩා උසින්යුතු කෙටි බැම්මක්/ අත්වැටක් ඇතිවිටකදී එය විවෘත ආලින්දයක් ලෙස සැලකෙන්නේ නැත.

වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.



8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි  71/2  දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය. (සම්මත ආලෝක තලය)

නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 71/2  ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා. එයට වඩා අඩු දුරකින් පිහිටුවන කිසිවක් නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබාදෙන්නක් ලෙසින් සැලකෙන්නේ නැහැ


9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ. 

මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර  වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය.  කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල  බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී  මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.

10.ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.

මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.

 

11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.




නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට අනුකූලව පනවා ඇති මෙම නීතීන්, ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පලාත් පාලන ආයතන වල සුළු සුළු වෙනස්කම් දකින්න තිබුනත් මූලික හරය වෙනස්වෙලා නැහැ.  ඉතිං ගෙයක් හදාගන්න හිතාගෙන ඔබේ පලාත්පාලන ආයතනයේ අනුමැතිය ඒකට ලබාගැනීම උදෙසා ඔබ අයදුම්පතක් ඉදිරිපත්කලවිට, අදාල පලාත්පාලන ආයතනයට අනුයුක්ත කාර්මික නිලධාරි වරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් ඉහතදී සදහන් කරපු කරුණු කාරණා පරීක්ෂාකරනු ලබනවා. මෙයට අමතරව ඔබේ ලිඳ සහ වැසිකිලි වලෙහි පිහිටීම, වැසිජලය සහ විශේෂයෙන් අපවිත්‍ර ජලය බැහැරකිරීමේ ක්‍රමවේදය සහ අසල්වැසියන්ට ඒවායින් වන බලපෑමත් ඔහුගේ සැලකිල්ලට බදුන්වෙනවා.




 මම මුලින්ම කිව්වා වාගේම මේ නීතිරීති නිසියාකාරව ක්‍රියාත්මක වේ නම් ඔබේ මෙන්ම ඔබගේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමට එය මනා පිටුවහලක්. ඒ නිසාම මේ නීති වලින් රිංගා යාමට උත්සහ කරනවා‍ට වඩා, ඒවා අනුගමනය කරමින් වාසයකිරීමට වඩා යෝග්‍ය පරිසරයක් පවතවාගෙන යාමට මේ පුංචි ආණ්ඩු වලට සහාය දැක්වීම යහපත් පුරවැසියන් විදිහ‍ට ඔබේ යුතුකම බව මතක්කරන්න කැමතියි. 


 


ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙහි ඔබට හුරුපුරුදු නොවූ තවත් ඉසව්වක් කරා ඔබව රැගෙන යන බලාපොරොත්තුවෙන් සත් දිනකින් නැවතත් හමුවෙමු.

එතෙක්,
ඔබසැමට සුභ සතියක් !

ප/ලි  වැඩි විස්තර මොකුත් උවමනාවේනම්, කොමෙන්ටුවකින් හෝ මගේ විද්‍යුත් ලිපිනයට විදි ඊයකින් විමසීමක් කරන්න.

(මෙහි ඇතුලත්කරඇති සියළු ඡායාරූප, අන්තර්ජාලය ඇසුරින් ලබාගෙන ඇතිබව කරුණාවෙන් සලකන්න)

38 comments:

  1. බොහොම වැදගත්.... ආසාවෙන් කියවපු ලොකු දැනුමක් ලබාගත්තු සටහනක්... ස්තූතියි මේ කරන වැඩේට! විෂයානුබද්ධ බ්ලොග් අඩවියක් විධියට ඔබේ අඩවිය සැලකිය යුතු තරම් ඉදිරියෙන්!

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන බොහෝම ස්තුතියි.

      දිගටම අපිත් එක්ක රැඳෙන්න

      Delete
  2. තවත් වැදගත් දෙයක්, නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමේදී වාස්තු විද්‍යාඥයකුගෙන් හෝ ප්‍රාමාණික දැනුමක් ඇති සැලසුම් ශිල්පියෙකු මගින්ම එය කරවාගන්න. කිසිවිටෙකත් ජ්‍යෝතිෂය කරුවකු‍ ලවා නිවාස සැලසුම නිර්මාණය කර නොගන්න. එය ඔබට පිරිමසාගත නොහැකි තාක්ෂණික ගැටළු මතුකරනු ඇත.
    ඔබ ජ්‍යෝතිෂය විශ්වාස කරන්නෙකුනම් කළයුතු හොදම දේ සැලසුම් ශිල්පියා ලවා සැලසුමේ "කටුසටහනක්" නිර්මාණය කරවාගෙන එය ජ්‍යෝතිෂය කරුවාට පෙන්වා ගුණදොස් විමසා බැලීමයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සුමිත්.

      //ඔබ ජ්‍යෝතිෂය විශ්වාස කරන්නෙකුනම් "කටුසටහනක්" නිර්මාණය කරවාගෙන එය ජ්‍යෝතිෂය කරුවාට පෙන්වා ගුණදොස් විමසා බැලීම//
      සුදුසුම ක්‍රමවේදය විදිහට මමත් රෙකමදාරු කරනවා.

      Delete
  3. ස්තුතියි..
    ප්ලෑන අනුමත කරගන්න මෙච්චර නීති තියන බව නම් දැනං හිටියේ නැහැ..
    ඊලඟ ලිපිය මොකක් ගැනද?

    ReplyDelete
    Replies
    1. හිතවත් රූ....,

      පහුගිය ටිකේම මටත් බ්ලොග්එක පැත්තේ එන්න බැරිවුණා. කොමෙන්ටුවට ස්තුතියි. ඊලඟ ලිපිය පලකලා ඔන්න.

      Delete
  4. ඇත්තටම ඔයා කරන්නේ ලොකු සේවයක්.මේ බ්ලොග් එකේ හැම පොස්ට් එකක්ම අලුතින් නිවාස හදන අයට හරිම වැදගත්.තමුන් දන්නා දේ අනිත් අයත් එක්ක share කරගන්න එක බොහොම ලොකු දෙයක්.මමත් සෑහෙන කාලෙක ඉදලා බ්ලොග්ස් බලනවා ඒත් ලේසියකට comment එකක් දාන්නේ නැහැ. මම දන්නවා ඒක හරිම කැත වැඩක් කියල ඒත් මොනා කරන්නද type කරන්න මම හරිම කම්මැලි. ඔයා දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන ස්තුතියි සහෝ,

      comment එකක් දැම්මේ නැතුවට කමක් නැහැ දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  5. හොඳ ලිපියක්,
    ඒ වගේම නාන කාමරයේ ෆෑන්ලයිට් එක අඩි 3ක් මායිම සිට තැබිය හැකිය.

    ReplyDelete
    Replies
    1. වී පොකුරට ස්තුතියි.

      "නාන කාමරයේ ෆෑන්ලයිට් එක අඩි 3ක් මායිම සිට තැබිය හැකිය" කියන කාරණය පිලිගන්න වෙනවා. ඒත් මේ කාරණය ඒ ඒ පළාත් පාලන ආයතනයෙන් ආයතනය‍ට වෙනස්වෙන්න පුළුවන්.

      Delete
  6. maxa one :)
    One more thing to add, if the total area is more than 3000 sqf, you will have to submit a fire certificate obtained from fire brigade. And do you know any reason that there can’t be a unit which is more than 3000sqf, any special reason for this?

    ReplyDelete
    Replies
    1. Dear Ano,
      Thanking for pointing out an important issue.
      අනෙක් අය‍‍ටත් වැදගත් නිසා ඇනාගේ පැණය‍ට සිංහලෙන්ම උත්තර දෙන්නම්,

      නිවසක උපරිම ප්‍රමාණය වර්ග අඩි 3000 ලෙස නියමකර ඇත්තේ 1988 අංක 80 සහ 1988 අංක 04 දරණ දේපළ උපරිම නීතිය ය‍ටතේයි. ඒ අනුව වර්ග අඩි 3000 කට වඩා විශාල තනි නිවසක් තැනීම නීතිවිරෝධී වෙනවා.

      එය‍ට වඩා විශාල ගෙයක් අවශ්‍යනම්, නිවාස ඒකක දෙකක් විදිහ‍ට තමයි හදන්න වෙන්නේ. ඒ ඒ ඒකකයට වෙන් වෙන් ගෙවල් දෙකක් විදිහට සියළු පහසුකම් තිබියයුතු වෙනවා.

      Delete
  7. ඔබගේ ලිපි සියල්ල බලමින් ඉන්නේ... ඉතාම වැදගත් ලිපි එකතුවක්..මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මේ ප්ලෑන් ඒක අනිවාර්යය යෙන්ම අනුමත කලයුතුද?මම නිවසක් සාදන්න බලා පොරොත්තුවෙන්නෙ නගරයකින් ඉතාම දුරබැහැර ප්‍රදේශයක.සාමන්ය මහාමාර්ගයකටත් ටිකක් දුරින්.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇනා,

      පිලිතුරු පමාවීම ගැන පලමුවෙන්ම මගේ කණගාටුව.
      වැඩ රාජකාරි අධිකවීම නිසා බ්ලොග් එක පැත්තේ මටත් එන්න බැරිවුණා.

      "ප්ලෑන් ඒක අනිවාර්යය යෙන්ම අනුමත කලයුතුද?මම නිවසක් සාදන්න බලා පොරොත්තුවෙන්නෙ නගරයකින් ඉතාම දුරබැහැර ප්‍රදේශයකයි"

      අනුමත නොකල සැලසුමකට නිවසක් තැනීම නීති විරෝධීයි. ඒත් ඒ නීති ග්‍රාමීය ප්‍රදේශයකනම් ක්‍රියාත්මක වන්නේම නැහැ. ඒ නිසා නගරයකින් ඉතාම දුරබැහැර ප්‍රදේශයකදී නිවසක් තැනීමට සැලසුම අනුමත කරගැනීමක් ප්‍රායෝගිකව සිදුවන්නේ නැහැ.

      ඒත් සැලසුමක් අනුමත කරගත්තොත්,

      1. බැංකු / උසාවි සදහා ඉදිරිපත් කලහැකි නීත්‍යාණුකූල ලියවිල්ලක් වීම.
      2. නිවස/ඉඩම රජයේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතියක් සදහා පවරා නොගන්නා බව (පසුකාලීකව පවරා ගැනීමකට ලක්වුවහොත් උපරිම වන්දි මුදල් ලැබීම)
      3. සැලසුම මනුෂ්‍ය වාසයට සුදුසු එකක් බව තහවුරුවීම.
      4. විකිණීමේදී වැඩි වටිනාකම.

      ආදී වාසි බොහොමයක් තියෙනවා.

      Delete
  8. මට තියනවා ගැටළුවක් .... ප්‍රාදේශීය සබාවෙන් අනුමත නොකර ගෙයක් ඉදි කිරීම ක් කලොත් ඊකෙ නීතිමය තත්වය ගැන පැහැදිලි කිරීමක් කරනවද ? ඊකට මම ගත උතු ක්‍රියාමාර්ග මොනවද ?

    ReplyDelete
    Replies
    1. හිතවත් සුනෙත්,

      ඔයාගේ ගැටළුවට පිලිතුරු මම මෙයට ඉහලින් ඇති "ඇණාගේ" පැණයට දුන්න පිලිතුරෙන් ලැබෙන්න ඇති.

      Delete
  9. බොහොම ස්තුතී ...!!

    ReplyDelete
  10. බොහෝම වටිනා ලියමනක්....ගොඩක් දේ දැන ගත්තා. ස්තුතී

    ReplyDelete
  11. ඉතාම වැදගත් ලිපියක්... බොහොම ස්තූතියි...
    ඉදි කර ඇති නිවසක වෙනස්කම් කිරීමේදී බලපාන නීතිමය තත්ත්වයත් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
  12. බොහොම වැදගත් ලිපියක්.මට දැනගන්න පුලුවන්ද ගොඩනැගිලි රේඛාවේ සිට ඉදිරිපස මාර්ගයට තැබිය යුතු දුර ප්‍රමාණය?

    ReplyDelete
  13. good work, highly appreciated,,...

    ReplyDelete
  14. බොහොම වැදගත්.... ආසාවෙන් කියවපු ලොකු දැනුමක් ලබාගත්තු සටහනක්...

    ReplyDelete
  15. ගොඩාක් ස්තූතියි. මේ ලබා දුන් ලිපියට.

    ReplyDelete
  16. ගොඩාක් ස්තූතියි. මේ ලබා දුන් ලිපියට.

    ReplyDelete
  17. ගොඩක් වටිනවා ඔයාලගෙ සේවාව.

    ReplyDelete
  18. ඉතාමත් ප්‍රයෝජනවත් ලිපියක්. බොහොම ස්තූතියි. අවශයම මොහොතේ ලැබුනා.ස්ලිඩින්ග් වින්ඩෝ වලටත් නීතියක් තියෙනවද...

    ReplyDelete
  19. පිටුපස අවකාශය අඩි 10 තැබිය යුත්තේ අත්තිවාරමේ සිටද? නැතිනම් වහලයේ අගුව ට සමාන්තරව යොදන බිම් පඩිය කෙළවරේ සිටද??

    ReplyDelete
  20. බොහොම වැදගත් ලිපියක් . දිගටම මේ වගේ ලිපි ලියන්න . සුභපැතුම්

    ReplyDelete
  21. ලොකු සේවාවක් thank you

    ReplyDelete
  22. niyami bro. godak wadagath. digatama liyanna

    ReplyDelete
  23. වර්ග අඩි 4000 ට වෑඩි ගොඩනෑගිලි ඉදිකිරීමෙදි අදාල නිති රිති පිලිබන්ද නිර්නයක පිලිබන්ද ලිපියක් ලියන්න .

    ReplyDelete
  24. තම ඉඩමේ හදලා තියෙන ගෙදරට අමතරව හදන තවත් ගොඩනැගිල්ලක් සදහා තම මායිමේ සිට පැවතිය යුතු ඉඩ පිළිබඳ නීති තියෙනවද? (අසල ඉඩමේ දැනට නිවසක් තනා ඇත)

    ReplyDelete
  25. ඉතාමත්ම වටිනා ලිපියක් මහත්මයා... නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා... ඉදිරියටත් ඔබතුමා පල කරන ලිපි කියවීමට ආසාවෙන් බලාගෙන ඉන්නවා... ස්තුතියි

    ReplyDelete
  26. එකම ඉඩ්මෙ ගෙවල් 2ක් හදන කොට ඒවා අතර දුර කීයද. ජ්නෙල් ඇති විට හා නැති විට ඒ 2 අතර

    ReplyDelete
  27. නිවසක් තැනීමට බිම් සකස් කරන ව්ට ඉඩමක මායිම අයිනටම පස් කැපීමේ නීති රීති මෝනවද?

    ReplyDelete
  28. නිවසක් තැනීමට බිම් සකස් කරන ව්ට ඉඩමක මායිම අයිනටම පස් කැපීමේ නීති රීති

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....