Friday, March 9, 2012

නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-2


අපි පසුගිය ලිපියෙන් කථාකලේ, ඉංජිනේරු ගඩොලින් බිත්ති බැඳීම සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පොස්ටුව බලන්න පුළුවන්. අද දවසේ අපේ  බලාපොරොත්තුව බිත්ති බැඳීම සම්භන්ධයෙන් වැදගත් වියහැකි යම් යම් කරුණුකාරණා පිලිඹදව තවදුරටත් කථාකරන්නටයි. එහිදී අපේරටේ ඉදිකිරීම් ක්ෂේත්‍ර යේ අදදවසේ බහුලවම භාවිතා කෙරෙන බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය වෙච්චි සිමෙන්ති බ්ලොක්ස් එහෙමත් නැතිනම් ජනප්‍රිය වචනයෙන් කිව්වොත් බ්ලොග් ගල් ගැන කථානොකලොත් ඒක ලොකු අඩුපාඩුවක් වේවි. ඒ නිසාම අද පෝස්ටුව බ්ලොග් ගල් වෙනුවෙන් වෙන්කරන්න හිතුවා. 

 බ්ලොග් ගලින් බැඳි නිවසක්

ගඩොල් වලට ලාභදායී විකල්පයක් විදිහට ඉදිරිපත් කෙරුණ සිමෙන්ති බ්ලොක්ස්,  සිමෙන්ති වැලි මිශ්‍රණයක් සහිත බදාම මිශ්‍රණයක් සම්පීඩනයකට ලක්කරමින් නිෂ්පාදනය කෙරෙන්නක් වන අතර දින කිහිපයක පදම්කිරීමකින් පසු වෙලදපලට නිකුත් කරනු ලබනවා. මෙහිදී වැලි වෙනුවට ගල් කුඩු හෝ වැලි-ගල්කුඩු මිශ්‍රණයක් උපයෝගී කරගත හැකියි.

  වෙලදපලෙහි ඇති ගල් කුඩු යොදා තැනූ කුහර සහිත බ්ලොක්ගලක්

ඝණ (Solid ) සහ කුහර සහිත( Hollow) වශයෙන් මාදිලි දෙකක් වෙලදපලෙහි දකින්න පුළුවන් වුනත්, එයින් සම්මත බ්ලොක්ගල වන්නේ කුහර සහිත ගලයි. කුහර ගල පිලිඹද දුර්මත රාශියක් ඉදිකිරීම් ශිල්පීන් අතර තිබුනත්, ස්කන්ධයට සාපේක්ෂව වැඩිම ශක්තියක් දරන්නේනම් කුහරගල තමයි. මොකද හුඟක්වෙලාවට යම් ව්‍යුහයකට වැඩිපුරම ශක්තිය ලබාදෙන්නේ එහි බාහිර පෘෂ්ඨ ආසන්න කොටස් මඟිනුයි. මධ්‍ය බොහෝවිට අක්‍රිය තත්වයේ තමයි පවතින්නේ. මෙන්න මේ කියන සංසිද්ධිය උපයෝගීකරගෙන තමයි කුහර සහිත බ්ලොක්ගල නිර්මාණය වෙලා තියෙන්නේ.

 කුහර සහිත බ්ලොක්ගලක කොටස්

හැබැයි නිසි ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කල කුහර සහිත (Hollow)බ්ලොක්ගලක්, එවැනිම වූ කුහර නැති (Solid) ගලකට වඩා පුපුරායාමේ වැඩි ඉඩක් පවතිනවා. අපේ රටේ උදවිය ඔය සම්මත තත්වයන්ට වඩා අඩුවෙන් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා වැඩකරන්න ඇබ්බැහිවෙලා ඉන්න නිසා, අඩුප්‍රමිතියෙන් නිපදවනලද  කුහර නැති (Solid) ගල් ජනප්‍රිය වෙලා තියෙනවා. එහෙම වුනත් ඉදිකිරීමේදි ගල් ස්ථර බදාමයට හොදින් සවිවීමත්, ලඹකිරීමේ පහසුවත්, සැහැල්ලු නිසා වැඩකිරීමේ පහසුවත් කුහර ගල ලබාදෙනවා. සත්‍ය වශයෙන්ම වැඩි සම්පත් ඉතිරියක් සිදුවන්නේත් කුහර ගලෙන්ම තමයි.

 කුහර නැති (Solid ) බ්ලොක්ගල්

සිමෙන්ති බ්ලොක්ස් සම්බන්ධ ශ්‍රී ලංකා ප්‍රමිතිය Sri Lanka Standards 855 (SLS 855) නම්වෙනවා. සම්මත බ්ලොක්ගලක් උසින් මිමි 190 (7.6") සහ දිගින් මිමි 390 (15.6") වන විට  මිමි 100, 150, 200 (4",6",8")  යන පලලින් යුක්ත වෙනවා. තත්ව පරීක්ෂණ ක්‍රියාවලියේදී නිපදවනු ලබන සෑම ගල් 1000 කටම, අහඹු ලෙස තෝරාගත් ගල් 25ක් පමණ විනාශවනතුරු සම්පීඩනයට ලක්කරමින් පරීක්ෂා කෙරෙනු ලබනවා. මේ කටයුත්ත තරමක් වියදම් ගෙනදෙන්නක්. මේ නිසාමදෝ රට පුරාම සිමෙන්ති බ්ලොක්ස්  නිෂ්පාදනය වුනත් මම දන්න විදිහට ශ්‍රී ලංකා ප්‍රමිතිය ලබා ඇත්තේනම් 20කටත් අඩු නිෂ්පාදකයින් සංඛ්‍යාවක් විතරයි.

 බ්ලොක්ගල් වර්ග

කොහොම වුනත් ගඩොල් වලට වඩා පහසුවෙන් හා අඩු යෙදවුම් ප්‍රමාණයකින් නිෂ්පාදනය කරගත හැකිවූ නිසාත්, ආකර්ෂණීය වෙලදපල තත්වය නිසාත් සුළු ව්‍යාපාර විදිහට බ්ලොක්ගල් නිෂ්පාදනය 80/90 දශකවලදී බොහෝසේ පැතිරුණා. ඒත් නිසි තත්ව පාලනයක් නැති නිසාවෙන් අදපවා බොහොමයක් නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉතාම පහත් අඩියක තමයි තියෙන්නේ. තාක්ෂණය හරිහැටි නොදන්නා නිසා හෝ නොසැලකිලිමත් කම නිසා මේවිදිහට අපතේ යැවෙන්නේ අපේම සම්පත්. මෙවන් කුඩා නිෂ්පාදනාගාර බොහොමයක ඒකායන අරමුණ එක් සිමෙන්ති කොට්ටයකින් හැකිතාක් වැඩි ගල් සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ගැනීම මිසක් ශක්තිමත්ව ගල්නිපදවීම නම් නෙමෙයි. හැබැයි මේ වගේ අඩු සිමෙන්ති යෙදවීමකදී වුනත් අනෙකුත් පියවරයන් සදහා  නිසි ක්‍රමවේද අනුගමනය කිරීමක් කලහැකිනම් දැනට වඩා ශක්තියෙන් වැඩි ගලක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙන්න ඒඅයට පුළුවන්කම තියෙනවා.



ඇත්තෙන්ම නිෂ්පාදනයේදී  නිසි ක්‍රමවේද අනුගමනය කිරීමක් නොමැති නිසා, බ්ලොග් ගලට නිරායාසයෙන් ලැබියයුතු ශක්තියෙනුත් 20% කට වඩා අපතේ යාම කණගාටුවට කාරණයක්. නිෂ්පාදනයේදී පිරිසිදු ජලය භාවිතා නොගැනීම ඉතා බහුලව දකින්නට ලැබෙන දුර්වලතාවයක්. නිෂ්පාදනාගාර බොහොමයක වැසිජලය හෝ මඩ සහිත ජලය භාවිතා කරනු බොහෝවිට දකින්නට ලැබෙන තත්වයක්. සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති වල මූලික සවිවීමට ගතවන්නේ විනාඩි 30ක් විතරයි. ඒකෙන් කියවෙන්නේ ශක්තිය අපේක්ෂා කරන සිමෙන්ති ආශ්‍රිත නිර්මාණයක් සදහා, එම කාලය තුල භාවිතාකර අවසන්කර හැකි ප්‍රමාණයක් පමණක් ලෙස කුඩා පරිමාණ වලින් බදාම මිශ්‍රණ සකසා භාවිතා කලයුතු බවයි. ඒත් ප්‍රායෝගික තත්වයනම් බ්ලොක්ගල් නිෂ්පාදනය කරන තැන්වල උදෑසන මිශ්‍රකරනා යෝධ බදාම මිශ්‍රණයක් හවස වැඩ අවසන්වනතුරුම යොදාගන්න එකයි. ඒ මදිවාට යම්විදිහකින් බදාම මිශ්‍රණයෙහි ඉතිරියක් සිද්ධවුනොත්, වැලිත් එක්ක මිශ්‍රකරලා, පසුදින බදාමයට යොදාගන්න අවස්ථාත් විරල නැහැ. 

 කුඩා පරිමාණයේ  බ්ලොග්ගල් නිෂ්පාදනාගාරයක්

නිෂ්පාදනය කරන ලද බ්ලොග්ගල් නිසිපරිදි පදම් නොකිරීමත් ඇත්තෙන්ම ගැටළුවක්. පදම් කිරීම සදහා නිෂ්පාදනයෙන් පැය 24කට පසු අවම වශයෙන් දින 3ක් ජලය පිරි තටාකයක බහා තැබීම සම්මතය වුවත් අඩුම තරමින් දින 3ක් වත් උදේ සවස ජලයෙන් තෙමීමවත් සිදුකල යුතුවේ. (උපරිම ප්‍රතිඵල සදහා පදම්කිරීමේ කාලය දින 7 කි.) නමුදු බරින් වැඩි තෙතැති බ්ලොග්ගල් පැටවීමේ අපහසුතාවයත්, මුල් අවස්ථාවේදී ශක්තියෙන් අඩුබවක් පෙනීමත්, වැඩිපුර ජලය වැයවීමත් හේතුකොටගෙන ජලයෙන් තෙමීම මුල් දිනට හෝ දෙකට පමණක් සීමාකිරීම බොහෝ නිෂ්පාදනාගාර වල දකින්න පුළුවන් තත්වයක්.

බ්ලොක්ගල් බිත්ති


ගඩොල් වලට සාපේක්ෂව බ්ලොක්ගල් බිත්ති සහිත නිවසක වැඩි පිපුරුම් සහ ඉරිතැලීම් සංඛ්‍යාවක් දකින්න පුළුවන්. මේ අතරින් බොහොමයක් බ්ලොක්ගල් වල ප්‍රසාරණ සංගුණකය ඉහල අගයක් ගැනීම ( උශ්නත්වය ඒකක 1ක් වැඩිවූවිට ප්‍රමාණයේ සිදුවන ඒකක වෙනස) නිසා ඇතිවන ප්‍රසාරණ පිපිරීම් විදිහට හදුනාගන්න පුළුවන්. තවත් සමහරක්, බර දරණ බිත්ති ( Load bearing walls ) නොවන 4“ පලල බ්ලොක්ගල් බිත්තියකට අසීමිත බරක්පැටවීම නිසා සිදුවූ පිපිරීම් විදිහට හදුනාගන්න පුළුවන්. ඔයගොල්ලෝ හදන නිවාසයේ උළුවසු මට්ටමින් යොදන කොන්ක්‍රිට් ලින්ටලය, මුළු නිවස පුරාම අඛණ්ඩ ලින්ටලයක් (Continuous lintel ) ලෙසින් දැමීමෙන් මේවා බොහොමයක් අඩුකරගන්න පුළුවන්. බිත්ති බැඳගෙන යනකොට ඒඒ දවසට කලින් දවසේ බැන්ද බිත්ති කොටස් දින 3ක්වත් යනතුරු ජලය ඉසිමින් පදම්වන්නට හැරීමත් බිත්ති වල ශක්තිය ඉහල දැමීමට බොහෝසෙයින් දායක වෙනවාය කියනඑකත් මතක තබාගන්න ඕන තවත් කාරණයක් තමයි.


බ්ලොක්ගලින් තැනි බිත්ති සහිත ගෙයක ඇතුලත රස්නය වැඩියි. ඒකට හේතුව ගඩොල් වලට සාපේක්ෂව බ්ලොක්ගලක් හරහා තාපය ගමන්කිරීමට තියෙන ප්‍රතිරෝධය අඩුකමයි. කුහර සහිත බ්ලොක්ගලක නම් තත්වය පොඩිත්තක් එයට වඩා සතුටුදායකයි. කොහොම වුනත් ඔබේ නිවස සැලසුම් කරන අවස්ථාවේදී අදාල නිර්මාණකරුට ඔබ බිත්ති ගොඩනංවන්න බලාපොරොත්තු වන්නේ බ්ලොක්ගලින්ය කියලා දැනුවත් කරනඑක ඉතාම වැදගත් කාරණයක්. මොකද එහෙම අවස්ථාවකදී  ඔබේ නිවසතුල පරිසරය, වඩා සිසිල් එකක් බවට පත්කරන්නට අවශ්‍ය විකල්ප ක්‍රමවේද යෝජනාකරන්නට, ඔබේ නිර්මාණ කරුවාට අවස්ථාව උදාවන නිසයි. දක්ෂ ගෘහනිර්මාණ (හෝ සැලසුම්) ශිල්පියකුට එවැන්නක් කිසිසේත්ම අභියෝගයක් නොවනබවනම් අවධාරණය කරන්න ඕන. මේවා ගැන මම අනිවාර්යයෙන් ඉදිරියේදී විස්තර සහිතව කථාකරන්නට බලාපොරොත්තු වෙන නිසා අදට නවතින්නම්.

ඔබසැමට සුභ සතියක් !

37 comments:

  1. වැදගත් කරුණු ටිකක්..
    කුහර සහිත බ්ලොග් ගල් ගොඩනැගිල්ල නිම වන ස්ථානයේම හදා ගැනීමට පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. කමනේටුව දාන්න සබැදිය සොයා ගන්න බැරි වුන නිසා මෙතනම ලියන්නම්. හොද ලිපියක්. මේ වගේ කරුණු ‍මම වගේ තවම ගෙවල් හදමින් සිටින අයට ප්‍රයෝජනවත්. පොඩි කාරණයකුත් කියන්නම්. බ්ලොග් පෝස්ට් එකේ අකුරු වල ප්‍රමාණය ටිකක් ලොකු කිරීමයි. Soft පසුබිම් වර්ණයකුයි යොදන්න පුළුවන්නම් ලොකු දෙයක්. මේ පසුබිමේ පොඩි අකුරු කියවීම ටිකක් අපහසු කරුනක්...

      Delete
    2. හිතවත් රූ,

      //කුහර සහිත බ්ලොග් ගල් ගොඩනැගිල්ල නිම වන ස්ථානයේම හදා ගැනීමට පුළුවන්ද?//

      අපොයි පුළුවන්. හැබැයි ඒ සඳහා නිපදවන ලද කම්පන/සම්පීඩක යන්ත්‍රයක් ඕන.

      Delete
    3. හිතවත් දීපාල්,

      උපදෙස් සිල්ල ඉතා අගය කරනවා. මම මේ බ්ලොග්කරණයට අළුත්. ඒ කිසා මේ වගේ අඩුපාඩු එමටයි. අවශ්‍ය කෙනෙකුට විතරක් අකුරු ලොකුකරලා බලන්න පුළුවන් ගැජට් තියෙනවා නේද. අන්න ඒකක්වත් බ්ලොග් එකට එකතු කරන්නම්.

      Delete
    4. ස්තූතියි! මමත් බ්ලොග් ලියන මුල් කාලයේ භාවිතා කලේ අදුරු පසුබිමක් සහ සාමාන්‍ය ප්‍රමාණයේ අකුරුයි. ඒ පිලිබදව ගොඩක් දෙනෙක් මාහට දන්වා සිටි පසුව සරල හා මද වර්ණයෙන් යුතු පසුබිමක ටිකක් වශාල අකුරු භාවිතා කරා. ඇත්තෙන්ම ලියන කෙනාට මෙය එතරම් ගැටළුවක් නොවුනත් කියවන කෙනාට ටිකක් වෙහෙසකර ගතියක් තිබෙනවා. මමත් විවිදාකාරයේ පසුබිම් භාවිතා කරන්නට කැමැත්තෙන් සිටියත් බ්ලොග් කියවන කෙනාට එය අපහසුනම් එය එතරම් යථාර්තයක් නොවෙන නිසා සරළ පසුබිම් භාවිතා කරනවා. ඔබට අකුරු ප්‍රමාණ ඒ ඒ කොටස් වලට විවිද ලෙස භාවිතා කරන ආකාරය දැනගන්න ඕන නම් ඒ පිළිබදවත් මම ලිපියක් පලකර තිබෙනවා. අවශ්‍යවුනොත් බලන්න. එය ගැජට් එකතු කිරීමට වඩා ඔබට වාසිවේවි. මොකද එක එක ගැජට් එක් කරන්න ගියාම බ්ලොග් එක ලෝඩ් වෙන්න ප්‍රමාදවෙනවා වගේම වෙලද දැන්වීම් හා වෙනත් අතුරු ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. කොහොමවුනත් ඔබගේ මනාපය පරිදි කැමති විකල්පයක් අනුගමනය කරන්න...

      Delete
    5. හිතවත් දිනේෂ්,

      ඔන්න මම බ්ලොග් එකෙහි පෙනුමෙහි වෙනස්කම් කිහිපයක් කලා. හොඳ නරක දන්වන්නකෝ.

      Delete
  2. අදත් නියම කරුණු ටිකක්..ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...

    ඔය කුහර ගලෙන් බිත්ති බඳින ගමන් ඒ කුහරවලට කොහුබත් දහයියා වගේ මොනවා හරි..අඩුම ගානේ කපාපු පිදුරු හරි ලී කුඩු හරි වගේ ජාතියක් පිරෙව්වොත් ඒක අවුලක් වෙයිද..? එහෙම කිරීම තුලින් රස්නය පාලනය කිරීමක් කරගන්න පුළුවන් කියලා හිතලයි අහන්නේ..එහෙම කලොත් ඒක පසුකාලීනව ගෙයි සවි ශක්තියට හෝ කෘමි බෝවීමකට හේතු වෙයිද..?

    ප්‍රායෝගිකව මෙහෙම කිරීම අපහසු උනත් කුඩා නිවෙස් තැනීමේදී නිවැසියන්ගෙන් කාට හෝ පොඩ්ඩක් උනන්දු උනොත් මේක කරන්න බැරි කමක් නැහැනේ...

    ReplyDelete
    Replies
    1. මාරයා,

      මචං ඒ වැඩේ සාර්ථක නැහැ. කාරණා ගොඩක් නිසා. ව්ස්තර කරන්න ගියොත් ‍‍ගොඩක් දිගු කාරණා තියෙන්නේ.

      කුහරය ඇතුලට තාප පරිවාර ද්‍රව්‍ය පිරවුවාට වැඩක් නැහැ. මොකද බ්ලොග් ගල් බිත්තියක අඛණ්ඩව දිවෙන කුහර නැති නිසා. තාපය ඔය ඉහල 3 වෙනි පින්තූරයේ දැක්වෙන web කියන කොටස් ඔස්සේ face shell දෙක අතර සන්නයනයෙන් හුවමාරු වෙනවා.
      හැබැයි සීත රටවල පාවිච්චි වන ද්විත්ව බිත්ති නම් සාර්ථකයි.

      Delete
  3. මම ඇතිවාරාම දාල තියෙන්නේ බීම විදියට මට කියනවද බ්ලොච්ක් ගල් නැතුව වෙන මේකට used කරන පුළුවන් ගල් මොනවද කියල මම හිටගන ඉන්නය් 9x5 ගල් ගන්න මට 10 x 8 බිටියක් බදින ගල් කොපම යාවිද ? Pls Help

    ReplyDelete
    Replies
    1. හිතවත් දිනුක,

      9x5 ගල පාවිච්චි කරලා 5" පලල බිත්තියක් බඳිනවානම් බිත්ති වර්ග අඩි 100ක් බඳින්න ගල් 380ක් විතර යනවා. ඔයාගේ 10 x 8 බිත්තියට ගල් 305 ක් විතර යාවි.

      Delete
  4. මේක බලන්න ආවට කලින් පෝස්ට් එක මුලින් බලල ඒකට මගේ අදහස් දාල පොඩි කොමෙන්ටුවක් දැම්මා.. මම නම් කැඩෙන්න හරි ඔය අලුත් විදිවලට ගෙයක් හදන්න තමා හිතාගෙන ඉන්නෙ.. මොකද අපේ බාසුන්නැහැල කරන නාස්තිය දැක්කම ඒ වියදමින් ගෙයක් දෙපාරක් හදන්න පුළුවන් කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හිතවත් පැතුම්,

      කාරණය ඇත්ත. අළුත් ක්‍රම වලින් පැහැදිලිවම වියදම අඩුකරගන්න පුළුවන්. ඒත් ඒ සඳහා නිවැරදි තාක්ෂණය,ක්‍රමවේද සහ ශිල්පීන් පිලිඹදව තීන්දු තීරණ නිවැරදි වේලාවට ගන්න සිද්ධ වෙනවා. මොකද දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග. ඉතින් ඒතට අවශ්‍ය ගුරුහරුකම් ටිකක් ගෙවල් හදන්න ඉන්න අයට ලබලාදෙන්න තමයි ම‍ගේ වෑයම.

      Delete
    2. කොහොමත් ලෝන් අරන් , ඉඩම් අරන් වැඩේට සෙට් වෙන්න තව අවුරුද්දක් විතර යයි.. ඒ වෙන කොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.. දිගටම ලියන්න... අපි වෙනුවෙන්..

      Delete
    3. හිතවත් පැතුම්,

      //වැඩේට සෙට් වෙන්න තව අවුරුද්දක් විතර යයි.. ඒ වෙන කොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා..//

      අනිවාර්යයෙන්ම.

      Delete
  5. අත්‍යාවශ්‍ය කරුනුගොඩක් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන ස්තුතියි නීල්

      Delete
  6. අම්මපා නියමයිමචො..මට මතකයි ඉස්සර අපි පොඩිකාලේ බ්ලොග් ගල් හැදුවේ ගේදර..ඒ හදපු බ්ලොග් ගල් බැරල්වලට වතුර පුරවලා ඒවයේ බස්සලා තියනව ඒ කියන්නේ පදන්කරන්ඩ නේද..මචො නියම විස්ත්‍රයක් බ්නොහොම ස්තුතී..මචන් බ්ලොග් ගල් වලට වඩා ගඩොල් හොඳයි නේද එහිදි සාමාන්‍ය ගඩොල් වල්ට වඩා මොඩ ගඩොල් එකියන්නේ ප්‍රමානයේන් විශාල අනුරාධපුර අම්පාර පැත්තේන් ගෙනේන ගඩොල්වල ඇති වාසිය කුමක්ද පොඩ්ඩක් විස්තර කරන්ඩ

    ReplyDelete
    Replies
    1. හිතවත් රාජ්,

      //ඒ හදපු බ්ලොග් ගල් බැරල්වලට වතුර පුරවලා ඒවයේ බස්සලා තියනව ඒ කියන්නේ පදන්කරන්ඩ නේද..//
      හරියටම හරි මචං.

      //සාමාන්‍ය ගඩොල් වල්ට වඩා මොඩ ගඩොල් එකියන්නේ ප්‍රමානයේන් විශාල අනුරාධපුර අම්පාර පැත්තේන් ගෙනේන ගඩොල්වල ඇති වාසිය කුමක්ද පොඩ්ඩක් විස්තර කරන්ඩ//
      අනිවාර්යයෙන්ම මචං. මීලඟ පෝස්ටුව ඒ ගැන තමයි.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ශහ.............. නියමයි මචන්........ නොදන්න ගොඩක්දේ දැනගත්තා...........
    දිගටම ලියන්න..........
    ඔබට ජයෙන් ජය..................!

    ReplyDelete
    Replies
    1. හිතවත් රුවන්.

      උනන්දු කිරීම ගැන ස්තුතියි. දිගටම අප සමඟ රැදෙන්න.

      Delete
  9. ඔබ ඉටු කරන්නේ විශිශ්ඨ සමාජ මෙහෙවරක්. නිවසක් තැනීමේදී නොදන්නා කම නිසා කීදෙනෙක් සල්ලි නාත්ති කර ගන්නවාද. පෙදරේරුවා හෝ වඩුවා තමන්ගේ නැණ පමනින් යෝජනා කරන කරන දේ කරන්ඩ ගොස් ඇනගත් කී දෙනෙක්නම් ඇත්ද.

    ඔබ ඉතා සරළ ලෙස තාක්ෂණික කරුනුත් සමඟ කරන මේ ඉදිරිපත් කිරීම සැබවින්ම ප්‍රශන්සණීයයි. අගේ කළ යුතුයි.

    මම නම් නිවස නිමකොට අවසාන නිසා නඩත්තු කිරීමට අවැසි වැදගත් කාරණා ගැන වැඩියෙන් උනන්දුයි, ඔබ ඉදිරියේදී ඒ ගැනත් කතා කරතැයි සිතමි.

    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. හිතවත් Senna,

      උනන්දු කිරීම ගැන ස්තුතියි.

      //නඩත්තු කිරීමට අවැසි වැදගත් කාරණා ගැන වැඩියෙන් උනන්දුයි, ඔබ ඉදිරියේදී ඒ ගැනත් කතා කරතැයි සිතමි//

      ඔව් ඔව්. අපිත් එක්ක දිගටම රැ‍ඳෙන්න.

      Delete
  10. Replies
    1. Hi Kavindu,

      ස්තුතියි.
      අපිත් එක්ක දිගටම රැ‍ඳෙන්න.

      Delete
  11. ඇදපු plan එකේ තියන උසට වඩා බිත්ති උස් කරන එක හොඳද නරකද ?

    ReplyDelete
    Replies
    1. සුනෙත්,

      මේක අවස්ථානුකූලව වෙනස්වෙනවා.
      බිත්ති උසවීමෙන් උනුසුම් දේශගුණයක් පවතින ප්‍රදේශක ඉදිකල නිවසක ඇතුලත පරිසරය වඩා සුවදායී වෙනවා.

      plan එකක සරල එකක්නම් plan එකේ තියන උසට වඩා බිත්ති උස් කලාට බොහෝදුරට ගැටළු ඇතිවන්නේ නැහැ.
      ඒත් සංකීර්ණ සැලසුමකදීනම් අනිවාර්යයෙන්ම වහලය ඉදිකිරීමේදී ගැටළු මතුවෙනවා.
      ඒ නිසා හොදම දේ plan එකක ඇඳපු නිර්මාණ ශිල්පියාව මුනගැසී අදාල අළුත් තත්වයන්ට ගැලපෙන ලෙස plan එක සංශෝධනය කරගන්නා එකයි.

      Delete
  12. ස්තුතියි...

    ReplyDelete
  13. කුහර සහිත ගල සවි ශක්තිය අතින් හා විඅරින්ග් වලදී කරදර යි කියන එක හැබෑ ද ?

    ReplyDelete
  14. ඉතාමත් වටිනා කරුනු ටිකක් ,....... තවත් මේ වගේ ලිපි එවන්න,...

    ReplyDelete
  15. ma laga idamak samaga laksa 35 00000 thiyanawa kamara 4 samaga thattu dekata geyak sada ganna warga adi 2000 geyak sada ganna kopamana mudalak yavida

    ReplyDelete
  16. සිමෙන්ති කොට්ටයකින් කොපමණ බ්ලොක් ගල් ප්‍රමානයක් නිපදවිය හැකි ද? (කුහර නැති බ්ලොක් ගල්)

    ReplyDelete
  17. වටින උපදොස් ටිකක්.
    මෝඩ ගඩොලක් නිවැරදි දිග පළල කොහොමද ,ප්‍රමිතිගත size එකක් තීයනවද

    ReplyDelete
  18. වටින උපදොස් ටිකක්.
    මෝඩ ගඩොලක් නිවැරදි දිග පළල කොහොමද ,ප්‍රමිතිගත size එකක් තීයනවද

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....