Saturday, February 4, 2012

තෙත් නිවාරණ වැටිය නැතහොත් DPC එක

පසුගිය ලිපියෙන් අප කථාකලේ නිවසක් තැනීමේදී උපයෝගී කරගත හැකි නර්ඩ් අඩුවියදම් අත්තිවාරම් ක්‍රමය පිලිබඳවයි. ඒක මඟහැරුණ කෙනෙක් ඉන්නවනම් පසුගිය ලිපිය බලන්න මෙතනින් පුළුවන්. 


අද අපි කථාකරන්නේ පොදුවේ කවර වර්ගයක හෝ අත්තිවාරමක අවසන් ඉදිකිරීම් අයිතමය පිළිඔදවයි. එනම් නිවසක අත්තිවාරමක වැඩ අවසන්කරමින් මතුපිට සමතලවන ලෙස යොදන කපරාරුවක් වැනිවූ තෙත් නිවාරණ වැටිය නැතහොත් DPC එක පිලිඔඳවයි.   සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් පදනම යටතේ සිදුකෙරෙන නිවාස ඉදිකිරීමකදී මෙම තෙත් නිවාරණ වැටියෙහි වැඩ අවසන් වූ වහාම අත්තිවාරමට අදාල ගනුදෙණු පියවාගැනීම සිරිතක්. ඒත් රළු නිමැවුමක් වන අත්තිවාරමට, සුමට සමතල මතුපිටක් සහ ඒකාකාර බවක් ලබාදීම හැරුණකොට මෙම තෙත් නිවාරණ වැටියෙහි වැදගත්කම පිළිඹද ගෙහිමියන්තබා බොහෝ පෙදරේරුවන්ද දැනුවත් නැහැ. ඒ නිසාම DPC එකක් නොමැතිව නිවාස ඉදිකර ඇති අවස්ථාද  ඇතැම්විට දැකගත හැකි අතර බොහෝ  නිවාසවල  තෙත් නිවාරණ වැටිය එහි නියම කාර්යභාරය සදහා සූදානම්කර නැහැ.



නමෙහි අර්ථයෙන්ම තෙත් නිවාරණ වැටිය (DPC- Damp Proof Course) යනු තෙතමණය සදහා වන බාදකයකි. වඩා තාක්ෂණිකව කියනවානම්  පොලවෙහි ඇති තෙතමණය, අත්තිවාරම ඔස්සේ (කේෂික සිදුරු ඔස්සේ කේෂාකර්ෂණය කියන සංසිද්ධිය මගින්) ගොඩනැගිල්ලේ ඉහල කොටස් කරා සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සදහා අත්තිවාරම මතුපිටදී තිරස් බාධකයක් ‍ලෙස ක්‍රියාකිරීම මෙහි ප්‍රධානම කාර්යභාරය වනවා. මොකද ගොඩනැගිල්ලේ ඉහල කොටස් තෙතමනයට ලක්වීම මත බිත්තිමත පැල්ලම් ඇතිවීමට අමතරව කෘමි හා ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයන් ඉහලයාම මගින් ගොඩනැගිල්ලක බොහෝ කොටස් හාණියට පත්වීම සිදුවිය හැකියි. මම මෙහෙම කිව්වහම ඔබට ගැටළු ඇතිවේවි. දැවමය කොටස් හැරෙන්නට වෙන මොනවද ඒ විදිහට හාණියට පත්වෙන්න පුළුවන් දෙයක් අපේගෙදර තියෙන්නේ කියලා. ඒත් මම ඔබට කියනවා ඔබ නොහිතන බොහෝ කොටස් ඒ අතර තියෙනවා කියලා. නිකමට හිතන්න, ඔබේ නිවසේ විදුලිතත් ඇදීම සිදුකෙරුණ කොන්ඩියුට් බට තුල කූඹීන් හෝ වේයන් වර්ධනය වූවා කියා. ඔවුන්ගේ ක්‍රියා මත ඇතැම්විට විදුලිතත් (වයර)  පවා කාලයත් සමග හාණියට පත්විය හැකිය. නිවස ගොඩනඟා අවුරුදු 4 ක් 5ක් ගතවූ විටකදී එවැන්නක් සිදුවූවිට විඳින්න වෙන අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 



ඒනිසා ඔබේ නිවස ගොඩනඟන්නේ වර්ෂාව හෝ පසෙහි තෙත් බව වැඩි පරිසරයක නම්, එහෙමත් නැතිනම් වියලි වුනත් ශීතල පළාතකනම්,  නිවැරදි තාක්ෂණය අනුගමනය කල තෙත් නිවාරණ වැටියක් යොදාගැනීම නුවණට හුරුයි.






අපේ රටේ බහුලව යොදාගන්නා තෙත් නිවාරණ වැටි වර්ග දෙකක් තියෙනවා. ඉන් පලමුවැන්න කවුරුත් දන්න සිමෙන්ති වැලි තෙත් නිවාරණ වැටියයි. එත් මෙය තාක්ෂණයෙන් සම්පූර්ණ වීම සදහා මෙම කපරාරුව 1:3  සිමෙන්ති : වැලි අනුපාතයක් සහිතව 3/4“ ඝණකමට යෙදීමත්, කපරාරුව හොදින් පදම්වූ පසුව එයමත දෙවරක් උණුතාර (නැතහොත් බිටුමන් ඉමල්ෂන්) ආලේපකර, සිනිදුවැලි ඉස නිමකරගැනීමත් වැදගත් වෙනවා. මෙහිදී  කපරාරුව පදම්වීම සදහා දින 7ක් තැබීම වඩා යෝග්‍ය වන අතර මුල්දින 3 එය ජලයෙන් තෙත් කිරීමද වැදගත්. බිටුමන් ඉමල්ෂන් යනු කාමර උෂ්නත්වයේදී ද්‍රව තත්වයෙන් භාවිතාකලහැකි සහ ජලයේ දියවන තත්වයට වැඩිදියුණු කරන ලද තාර වර්ගයකි. වෙලදපලෙන් “ඩීපීසී තාර“ යන පොදු නාමයෙන් මේවා ලබාගත හැක. වැලි ඉසීම මගින්, මෙම තාර ස්ථරය හිරුරශ්මියට උණුවී ගලායාම වලකාදමනු ඇත.



අපේ රටේ භාවිතා කරන දෙවැනි තෙත් නිවාරණ වැටි වර්ගය කොන්ක්‍රිට් තෙත් නිවාරණ වැටියයි. සත්‍ය වශයෙන්ම අපේ රටේ මෙය භාවිතා කරන්නේ කළුගල් අත්තිවාරමට අමතර  ශක්තියක් ලබාදෙන කොන්ක්‍රිට් - බිම්තලාඳයක් වශයෙන් වුවත් දෙපසට යොදන ගඩොල් හැඩයම හා ස්පර්ශ නොවනලෙස  බිත්ති ඉදිකලහැකිනම් මෙයද සාර්ථක තෙත් නිවාරණ වැටියක් බව කිවයුතුය. මෙයට අමතරව ලොව පුරා භාවිතාකරන තෙත් නිවාරණ වැටිවර්ග තවත් තිබුණත් ඒවා අපේ රටේ ජනප්‍රිය නැහැ. පොස්ටුව දිග වැඩිවන නිසා අදට නවතිනවා. නැවතත් මතක්කරන්නේ, ඔබත් නිවසක් පිළිඹද සිහින දකින්නේනම් තෙත්නිවාරණය පිලිඹදවද සැලකිලිමත්වීම අනිවාර්යයෙන් වැදගත්.