Thursday, June 14, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -2)


අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්.  එහෙම වුනත් ඒ සදහා දැරීමට සිදුවන අධික පිරිවැයත්, හොද දැව සපයාගැනීමේ අපහසුතාවයත් යන කාරණා මත ඇතැම් නිර්මාණශිල්පීන් තම නිර්මාණ සදහා දැවමය දොර සහ ජනෙල් රාමු වෙනුවට යම් යම් විකල්පවෙත අවධානය යොමුකර තිබෙන අවස්ථා විරල නැහැ. මගේ පෞද්ගලික මතයනම් මේ ප්‍රවනතාවය, ඉතාම සාධනීය ලක්‍ෂණයක්ය කියනඑකයි. ඒමොකද ඒ මගින් තම සේවාදායකයන්ට මූල්‍යමය ඉතිරියක් සිදුකරනුලබන අතරම රටේ වනගහනය සුරැකීම සඳහාද යම් දායකත්වයක් එමගින් සැපයෙන නිසයි. නිර්මාණශිල්පීන් යොදාගන්නා විකල්ප අතරින්, කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඉතිං අද දවසේ අපේ අරමුණ, ‍ දැව සදහා විකල්පයක් විදිහට කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු කොතෙක්දුරට සාර්ථකද යන්න විමසා බැලීමයි.

යාපහුව රජමාලිගාවේ ගල් උළුවස්සක්

පෙරසවි කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු පලමුවරට හදුන්වාදුන්නේ දැනට අවුරුදු 30 කට විතර කලිනුයි.  ඒ එවකට ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) හි පලමු සභාපතිත්වය දරපු, ලංකාවේ හිටපු කීර්තිමත් ඉංජිනේරුවරයකුවූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හැබැයි රාමු විතරක් නෙමෙයි, ඒ කාලේ දොර සහ ජනෙල් පියන් පවා කොන්ක්‍රිට් වලින් සාදනු ලැබුවා. ඒත් අසමාන්‍ය ලෙස බරින්වැඩිවූ පෙරෝසිමෙන්තියෙන් තැනි දොර සහ ජනෙල් පියන්, ප්‍රායෝගික යෙදවීමක් විදිහට බොහෝදෙනෙක් පිලිගත්තේ නැහැ. ඒත් මේ ගැන විවේචනාත්මකව කථාකල හැමෝටම “දොර පියන බර වුනාට..., ඒක තමුසෙලා උස්සගෙන ඉන්න ඕන නැහැනේ... ඒකට තමයි සරනේරු තියෙන්නේ“ වාගේ තදබල ගෝරණාඩුවකට ලක්වන්නට නම් සිද්ධවුණා.


මේකත් යාපහුවේ


කොහොමවුනත් ක්‍ෂේත්‍රයේ විවිධ පරීක්ෂණ සහ වැඩිදියුණුකිරීම් රැසකට බඳුන්වූ කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදන ක්‍රියාවලිය, අද වනවිට ගුණාත්මක අතින් බොහෝදැවමය දොර සහ ජනෙල් රාමු හා සම මට්ටමකටම පත්වීමට හැකියාව ලබා තියෙනවා. ඒ නිසාම මුලදී අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන් තැනූ  අඩුවියදම් ගොඩනැගිලි සඳහා පමණක් යොදාගත් කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු, අද වනවිට බොහොමයක් මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම්වලදී සේම අර්ධ සුඛෝපභෝගී සහ ඇතැම් විට සුඛෝපභෝගී නිවාස සදහාද යොදාගැනෙනු දකින්න පුළුවන්. ඒ අනුව සැලකියයුතු දැව ප්‍රමාණයක් රටට ඉතිරිකරදෙන්නට මේ ගුණාත්මක පෙරලිය ඉවහල්වෙලා තියෙනවා.

ඔන්න කොන්ක්‍රීට් ජනේල


මුල් කාලේ ඉදන්ම කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න තිබුණ ප්‍රධාන දුර්වලතාවයක් වුනේ අසවු (සරනේරු) සවිවන ලී කට්ට (ප්ලග්) පසුකාලීනව ගැලවීයාමේ හැකියාවක් තිබීම සහ හාණිවූ එවැන්නක් ප්‍රතිස්ථාපනය කිරීමට තිබූ නොහැකියාවයි. ඒත් නුතන නිෂ්පාදනයන්හි මෙම ප්ලග් සියල්ල නොම්මර 1 කොස් දැවයෙන් යොදාගැනෙන බැවින් හාණිවීමේ හැකියාව අවමවීඇති අතර ගැලවීයාම වැලැක්වීමටද සුවිශේෂී උපක්‍රම යොදා තිබෙනු දකින්න පුළුවන්. එයට අමතරව යම් හෙයකින් ලී කට්ටයක් හාණියට පත්වුවහොත් එය ගලවා අළුත් කට්ටයක් මාරුකිරීමේ පහසුවද සලසාතිබේ.


මේක කොන්ක්‍රීට්


පළුදු පිලිසකර කිරීමේ අපහසුතාවය කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න ලැබුන තවත් දුර්වලතාවයක් විදිහට හදුන්වන්න පුළුවන්. ඒත් අද වනවිට ඒ සදහා යොදාගතහැකි විවිධ රසායන සහ පිරවුම් වර්ග විවෘත වෙලදපලෙහි පහසුවෙන් සපයාගතහැකි බැවින් ඒ තත්වය  දුර්වලතාවයක් විදිහට තවදුරටත් සැලකෙන්නේ නැහැ.



මුල් යුගයේදී දොර සහ ජනෙල් රාමු බරින් වැඩිවීම නිසා ප්‍රවාහනයේ සහ හැසිරවීමේ අපහසුතා පැවතියද නූතන නිෂ්පාදන බොහොමයක් කොටස් වශයෙන් නිෂ්පාදනය කර වැඩබිමෙහිදී එකලස් කිරීමේ පහසුකම සපයා ඇතිබැවින් ඒවා අපහසුතා ලෙස සැලකෙන්නේ නැහැ. දැවමය දොර සහ ජනෙල් රාමු මෙන් නොව කොන්ක්‍රිට් ප්‍රවාහණය සදහා බලපත්‍ර අවශ්‍ය නොවීම නාගරිකව සිදුවන ඉදිකිරීමකදී කැපීපෙනෙන වාසි අත්කරදෙන්නක්බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.


මේ උළුවස්සත් කොන්ක්‍රීට්

මුල් යුගයේදී නිෂ්පාදන බොහොමයක් රළු නිමාවකින් යුක්තවූ අතර වැඩබිමේදී අමතර පරිශ්‍රමයක් දරමින් පින්තාරු කිරීම සදහා සකසාගත යුතුවුණා. ඒත් නූතන නිෂ්පාදනයන් ඉතා උසස් නිමාවකින් වෙලදපලට නිකුත්කෙරෙන හෙයින් පින්තාරු කිරීම සඳහා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවන්නේ නැහැ.  අවශ්‍යනම් විසරි-තීන්ත ආලේපන (ස්ප්‍රේ) කිරීමේ හැකියාවද පවතිනබව තමයි කියන්න තියෙන්නේ. (තීන්ත ආලේපන සමග බැඳුන තාක්ෂණික කාරණා ගැන ඉදිරි පෝස්ටුවකින් කියන්නම්.)



මේවා හැරුණහම කොන්ක්‍රීට් දොර සහ ජනෙල් රාමු යොදාගැනීමේ වාසි ගැනත් යමක් කියන්න ඕන.

පලමුවැන්න, පිරිමැසුම්දායකබවයි. කෙටියෙන් කිව්වොත් නිවසක සම්ප්‍රදායික දැවමය දොර සහ ජනෙල් රාමු සදහා යන වියදමින් 40% ක ඉතිරියක් මෙමගින් ලබාගන්න පුළුවන්.

දෙවැන්න විදිහට බොහොමයක් අවස්ථා වලදී අදාල දොර/ජනෙල් කවුළුවට ඉහලින් කොන්ක්‍රිට් ලිංටලයක් ඉදිකිරීම අවශ්‍ය නොවීම දක්වන්න පුළුවන්.



තුන්වැන්න විදිහට ආර්ද්‍රතාවය කෙරෙහි දොර සහ ජනෙල් රාමුවෙහි ප්‍රතිචාරය අවම මට්ටමක පැවතීම පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොන්ක්‍රිට් රාමුවක වැසිකාලයට පියන් හිරවීමට හෝ වියලි කාලයට ඉඩයාමට තියෙන හැකියාව ඉතා අවම මට්ටමක තමයි පවතින්නේ. මේ හේතුවෙන් ආර්ද්‍රතාවය කෙරෙහි වැඩිසංවේදීතාවක් දක්වන මහෝගනීවැනි මිලෙන් අඩුදැවයක් වුනත් සාර්ථකව පියන් සදහා උපයෝගීකරගැනීමේ හැකියාව ලබාදීලා තියෙනවා.



සිව්වැන්න විදිහට තෙතමනය සදහා සාපේක්ෂව වැඩි ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කිරීම දක්වන්න පුළුවන්. බොහෝදුරට නිතර වැසිබිඳිති වලින් බැටකන ස්ථානයන් සදහා වායුහුවමාරුවට පහසුකම් (ලූවර) සහිත ස්ථිරව සවිකල වීදුරු (Fixed glass with louvers) සඳහා කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ලාබදායීම විකල්පය විදිහට හදුන්වන්න පුළුවන්. 



පස්වැන්න විදිහට දැඩි හිරුරැසට ඔරොත්තුදීමේ හැකියාව සලකන්න පුළුවන්. මේ හේතුව නිසාම ගොඩනැගිල්ලේ බිත්ති ඉදිකිරීමේදී කෙලින්ම දොර සහ ජනෙල් රාමු සවිකරමින්ම බිත්ති ඉදිකිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. 



සයවැන්න, (මගේ පෞද්ගලික මතයට අනුව වැදගත්ම වාසිය විදිහට) රටේ වනගහනය සුරැකීම සඳහා එමගින් ලැබෙන දායකත්වය දක්වන්න පුළුවන්.



කාරණා රැසක් ඔය විදිහට පෙලගැස්වූවාට මොකද කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදනයෙහි අදටත් විසදීනැති ගැටළුත් තියෙනවා. ඒවා ගැනත් යම් පමණකින් ඔබව දැනුවත් කිරීම මගේ යුතුකමක්නේ.  ඒ අතරින් ලොකුම ගැටළුව තමයි මෙම උපාංග නිෂ්පාදකයන් අතර ඒ ඒ රාමුවල ප්‍රමාණයන්(පලලXඋස), අවසන් නිමාව, ශක්තිය, සංයුතිය ආදී තත්වයන් පිළිබදව සම්මතයක් පවත්වාගෙන නොයෑම. කුඩා නිෂ්පාදකයන් අතර තාක්ෂණික අඩුලුහුඩුකම් නිසාත් මහා පරිමාණ නිෂ්පාදකයන් අතර වෙලදපල තරඟය නිසාත් මේ තත්වය ඇතිවෙලා තියෙනවා. ඒ හේතුවෙන් ඔබට එක් නිෂ්පාදකයකුගෙන් මිලටගත් කොන්ක්‍රිට් රාමුවකට (ජනේලයකට කියලා හිතමු) සරිලන අමතර උපාංගයක් (වා-කවුළුවක් කියලා හිතමු) ලබාගැනීම සදහා වෙනත් නිෂ්පාදකයකුවෙතට යාමට නොහැකිවනු ඇත. මේ තත්වය නිසාම අසවල් නිෂ්පාදකයා වෙතින්ම පමණක් ඔබේ දොර සහ ජනෙල් රාමු අවශ්‍යතාවය සපුරාගන්නටය කියා නම්කරන්නට උපදේශක වරුන්ටත් සිද්ධවෙනවා.

විවිධ ජනේල කවුළුවර්ග


හැමෝගේම යහපත තකා මම එවැනි උසස්යයි සම්මත නිෂ්පාදකයින් කිහිපදෙනකු ගැන සදහන් කරන්නම්. හැබැයි නම් කිව්වා කියලා මේසන්බාස් පක්‍ෂග්‍රාහී විදිහට කටයුතු කරනවාය කියලා හිතන්න එපා. මොකද ඔබව කොන්ක්‍රිට් නිෂ්පාදන වලට යොමුකලානම් උසස් තත්වයේ උපාංග මිලටගතහැකි ස්ථාන ගැන දැනුවත් කිරීමත් මගේ යුතුකමක් වෙන නිසා.

1.     ආම්ස්ට්‍රෝං කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - නුවරපාර, කිරිල්ලවල, කඩවත.
2.     රේඩියන්ට් කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - පල්ලිය පාර, කඳාන සහ කඩුවෙල
3.     වෙල්ගම එන්ටප්‍රයිසස් - පල්ලිය පාර, කඳාන (011 4031663)

මෙම නිෂ්පාදකයින් තිදෙනාම තම තමන්ට අනන්‍යවූ නමුත් තත්වයෙන් උසස් නිෂ්පාදන පෙලක් වෙලදපලට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ අතරින් කුඩාම නිෂ්පාදකයා වන වෙල්ගම එන්ටප්‍රයිසස් ආයතනයෙහි “Lahiru” යන වෙලද ලාංඡනය යටතේ සිදුකෙරෙන නිෂ්පාදන පිලිබඳව වසර බොහෝ ගනනක සිටම යහපත් අත්දැකීම් පවතින නිසා, ඒවාට වඩාත්ම සුදුසුය කියන ලේබලය අලවන්න මේසන්බාස්  පසුබට වෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ නිෂ්පාදනවල තත්වය අනර්ඝ වුනත්, අලෙවිකරණයෙහි ඔවුන් එතරම් දක්ෂ පිරිසක් නොවන බවයි මේසන්බාස්ගේ අදහස.  එහෙම කියන්නේ, මෑතකදී ආරම්භ කරනලද, ඒත් තමන්ගේ නිෂ්පාදන සුපිරිමට්ටමක පවත්වාගැනීමකුත් නැති, අළුත් නිෂ්පාදකයින් බොහෝදෙනෙකු ව්‍යාපාරික වශයෙන් මේවනවිට ඔවුන්ව පසුකර ගිහින්තියෙන නිසයි.
 




කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ගැන ඔබට තවදුරටත් ගැටළු තිබෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් හොද හෝ නරක අත්දැකීම් තිබෙන්නත් පුළුවන්. අනෙක් අයගේත් යහපත තකා ඒ ගැන ටිකක් කථාකරමු. කොමෙන්ටුවකින් හෝ techconco@gmail හෝ pedareruwa@yahoo.com යන ලිපිනයකට විදි ඊයකින් විමසන්න.

ප/ලි
උළුවහු සහ ජනේල රාමු පිළිබදව ලියවුන අපගේ පලමු ලිපිය කියවන්න කැමති කෙනෙකුට ඒ සඳහා මෙතනින් පිවිසෙන්න පුළුවන්.

17 comments:

  1. හැමදාමත් වගේ අතිශ්‍ය වටිනා තොරතුරු සම්භාරයක්. සහෝ මේ උළුවහු ජනේල් වල මිල ගනන් සාමාන්‍ය පුද්ගලයකුට දරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. හිතවත් රාජ්,

      //මේ උළුවහු ජනේල් වල මිල ගනන් සාමාන්‍ය පුද්ගලයකුට දරන්න පුලුවන්ද//

      අනිවාර්යයෙන් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ලී වලින් උළුවස්සක් හදන්න යන ශ්‍රම වියදම(බාස් කුලිය) ට වැඩනිමකරපු කොන්ක්‍රිට් උළුවස්සක් ගන්න පුළුවන්.

      Delete
  2. කොන්ක්‍රීට් උළුවහු ජනෙල් නිශ්පාදකයින්ගේ තියෙන තවත් අඩුපාඩුවක් තමයි මෝස්තර යාවත්කාල නොකිරීම. කාලානුරූපව මිනිසුන් තුළ සිදුවන සංස්කෘතිකමය හා ආකල්පමය වෙනස්කම් නිවසේ තේමාවට ද ඍජුවම බලපාන හෙයින් මේ තත්ත්වය කොන්ක්‍රීට් නිශ්පාදන කෙරෙහි පාරිභෝගිකයින්ගේ පෙළඹවිම අධෛරයට පත්කරවන සුළුයි.
    එසේ වුවද ආර්ථිකමය, සවිකිරීමේ පහසුව, ලින්ටල් අත්‍යවශ්‍යම නොවීම, ආර්ද්‍රතාවයට දක්වන සංවේදී බව අවම වීම වගේ කාරනා සැලකිල්ලට ගත්විට කොන්ක්‍රීට් උළුවහු හා ජනෙල් රාමු අතිශයින්ම වාසිදායකයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සුමිත්.

      කොන්ක්‍රිට් නිෂ්පාදකයින්ට අළුත් මෝස්තරයක් එලිදක්වන්න අළුතින් අචිචු හදාගන්න ලොකු වියදමක් යනවා. මේ හේතුව නිසා ඔවුන්ගේ මෝස්තර වෙනස්වෙන්නේ පොඩ්ඩක් ප්‍රමාදවෙලායි. මෝස්තරයක් වෙලදපලේ "හිට්" වුනොත් තමයි ඒකට ගැලපෙන අච්චු හදන්න ක‍ටයුතු කරන්නේ.

      සුපුරුදු විදිහටම අදත් පෝස්ටුවට අමතර යමක් එකතුකිරීම ගැන බොහෝම ස්තුතියි.

      Delete
  3. nice post..thanxz

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන ඇනාටත් ස්තුතියි.

      Delete
  4. මේ ගැන නම් අළුත් විදිහකට කියෙව්වෙ අද..ස්තුතියි මේසන් බාස්ට..

    ReplyDelete
  5. වතාවක් මම දැක්කා කොන්ක්‍රීට් උළුවස්සක්. මම හිතුවෙ නෑ ඒක කොන්ක්‍රීට් කියලා. මොකද ඒක විශ්වාස කරන්න අමාරු වුණ නිසා. ගෙදර අයිතිකාරය විස්තරේ කිව්වම තමයි දැනගත්තේ. මේ ගැන ලොකු විස්තරයක් කියෙව්වමයි. හැමදාම වගේ මරු!

    ReplyDelete
    Replies
    1. හිතවත් hare,

      //වතාවක් මම දැක්කා කොන්ක්‍රීට් උළුවස්සක්. මම හිතුවෙ නෑ ඒක කොන්ක්‍රීට් කියලා. මොකද ඒක විශ්වාස කරන්න අමාරු වුණ නිසා//

      ඔයාගේ අත්දැකීම හරි. හරිය‍ට පින්තාරු කලොත්, වෙනස හදුනන්න අමාරුයි තමයි. උවමනා කෙනෙකුට විසරි තීංත (ස්ප්‍රේ පේන්ට්) ආලේප කරන්න වුනත් පුළුවන්.

      Delete
  6. වැදගත් විස්තරයක්... වැරදි ලී වර්ග පාවිච්චි කළාම කන්න වෙන කට්ට මම හොඳට අත්දැකල තියෙනවා. මෙක ඒ අතින් සෑහෙන ලේසියි වගෙ.. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හිතවත් පැතුම්,

      //වැරදි ලී වර්ග පාවිච්චි කළාම කන්න වෙන කට්ට මම හොඳට අත්දැකල තියෙනවා.//

      අත්දැකීම බෙදාගැනීම ගැන ස්තුතියි.

      Delete
  7. බොහොම වටිනා දැනුමක් එක්කහු කර ගත්තා. ස්තුති.....

    ReplyDelete
    Replies
    1. උනන්දුකරවීම පිලිබදව ඔබටත් ස්තුතියි

      Delete
  8. ගොඩක් විස්තර තියෙනවා.ඇත්තෙන්ම මම ගොඩක් දේවල් දැනගත්තා...ස්තුතියි..

    ReplyDelete
  9. දැව වර්ග වල මට විස්තර ටිකක් දෙන්න පුලුවන්ද projct එකක් හදන්න

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....