Wednesday, April 25, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -1)


අපේ පසුගිය ලිපි ගණනාවම වෙන්වූයේ  විවිධ ආකාරයේ සම්ප්‍රදායික සහ නුතන බිත්ති බැදීම් ක්‍රමවේද පිලිඹදවයි. අප දන්නා ඉතිහාසයේ ආරම්භයේ ඉදන්ම නිවාස ඉදිකිරීමේදී අ‍පේරටේ අපට හුරුපුරුදු ක්‍රමවේදය වුනේ සුවිශාල ව්‍යුහයන් ඉදිකිරීමයි. ඒනිසාම ඇතැම් රටවල භාවිතා වන ආකාරයේ සරල ව්‍යුහමය සැකිල්ලකට සැහැල්ලු වෙන්කිරීමේ පනේල සවිකිරීම (බිත්ති ඉදිකිරීම වෙනුවට) ආදී ක්‍රමවේද ගැන කථාකරන්නට ගිහිල්ලා, මේ නීරස කාරණා බොහොම අමාරුවෙන් කියවන ඔබගේ ඔළුව තවදුරටත් අවුල්කරන්නේ නැතිව, සති ගණනාවක් තිස්සේ ඇදගෙනආව බිත්ති ඉදිකිරීම කියන මාතෘකාව මේ විදිහට අවසන් කරන්නට හිතුවා. 



බිත්ති වලින් පස්සේ, මිලඟට එලඹෙන වැදගත් අයිතමයක් තමයි දොර සහ ජනෙල් රාමු සවිකිරීම. අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්. ඒවා ගොඩනැගිල්ලට සවිකිරීම, සාමාන්‍ය ව්‍යවහාරයේදී උළුවහු තැබීම/පැනීම විදිහට හදුන්වනු ලබනවා.  මේ කාරණය හා බැඳුණ සංස්කෘතිකාංගත්  තියෙනවාය කියනඑක හැමෝම දන්න කාරණයක් නේ. නිවසක් ඉදිකිරීම, තවත් එක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් පමණක්ම නොවන නිසා, ඒහා බැඳුන යම්යම් සංස්කෘතිකාංග රැසක්ද සමාජගතවෙලා තියෙනවා. පෞද්ගලිකව මම පිලිනොපැද්දත්,  වෘත්තීමය ජීවිතයේදී මෙවන් සංස්කෘතිකාංග ගැන මම නම් දරන්නේ මැදහත් බවක්. මොකද බොහෝදෙනෙක් විශ්වාසකරන ජෝතිෂ්‍ය හාබැඳුන මෙවන් සමහර කාරණා වලට අවශ්‍යනම් යම්තාක්දුරකට විද්‍යාත්මක පැහැදිලිකිරීම්ද දක්වන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම වුනත්  මේවාපිලිඹද අන්ධභක්තියෙන් කටයුතු නොකොට, සංස්කෘතිකාංග විදිහට පමණක් සලකා, එවැනි දෑ අනුගමනය කරනවානම් තමයි වඩාත්ම සුදුසු. මේ සංස්කෘතිකාංග ගැනත් ඉදිරියේදී,  (වැඩිදුර සංවාදයට විවෘතකරපු) පෝස්ටුවක් ඉදිරිපත් තරන්නත් මේසන්බාස් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  බිත්ති බැඳීම සිදුවන අතරතුරඋළුවහු බිත්තියට සවිකිරීම

නිවසක් ඉදිකිරීමේදි මුල්ගල්තැබීමට පසුව එලඹෙන නැකතකට වැඩ ආරම්භවන ප්‍රධාන සංස්කෘතිකාංගය විදිහට උළුවහු තැබීම සැලකෙනවා. සාමාන්‍යයෙන් නිවසක් ඉදිකිරීම හා බැඳුන මෙවන් ප්‍රධාන සංස්කෘතිකාංගය වලදී,  අදාල ශිල්පීන්ට ත්‍යාග පිරිනමා ඔවුන් සතුටුකිරීම (ඔවුන් ඔබට සේවය කරන්නේ කොන්ත්‍රාත් පදනමට වුවත්) සිරිතක්. මෙයට අමතරව අදාල සංස්කෘතිකාංගය සදහා අවශ්‍ය “අඩුමකුඩුම“  සියල්ල සපයාදීමටත් ඔබට සිදුවනවා ඇති. ඒනිසා මේ අඩුමකුඩුම මොනවාද කියලා කල්තියා විමසා දැනගන්නඑක ඔබට බාරයි. මොකද හැමදාම ගල්වැලි සිමෙන්ති එක්කලා ඔට්ටුවෙන මේසන්බාස්ලාට, වරුවෙන් වැඩ නවත්වලා පොඩ්ඩක් විනෝදවෙන්න තියෙන්නේ ඔහොම දවසක් තමයි. (මම මේ ටික විශේෂයෙන් සදහන්කලේ ඔබේ නිවසේ ඉදිකිරීම් අතරතුර මෙවන්නක් අත්දැක්කොත්, එය අසාමාන්‍ය තත්වයක් නොවනබව වටහාගන්නටයි). 

 ආදිකාලේ ගල් උළුවස්සක්


හරි..... දැන් පඳුර වටේ තැළුවා ඇති. අපි ආපසු අපේ මාතෘකාවට එමු.

සාමාන්‍යයෙන් ලී උළුවස්සක් හෝ ජනේලයක්, හරස්කඩ  3”x4” ප්‍රමාණයේ ලී භාවිතාකර නිර්මාණය කරගනු ලබනවා. වියලි කලාපයේ කොහොඹ. තේක්ක ආදී  ශක්තිමත් දැව වර්ග භාවිතා කලද තෙත් කලාපයේදීනම් බහුලව භාවිතාකරන්නේ ප්‍රාදේශීයව සපයාගතහැකි කොස් දැව හෝ ආනයනික කෙම්පස් / බලව් යන දැව වර්ගයි. මෙයට අමතරව උඩරට ප්‍රදේශ වල වැවෙන යුකැලිප්ටස්(ටර්පන්ටයින්) වර්ග වන මෛක්‍රෝ, ගාන්ධීස් ආදියද වර්ණයෙන් පොහොසත් නොවූවත්, ශක්තියෙන් සහ කල්පැවැත්මෙන්(කෘමි හාණි වලට ප්‍රතිරෝධී) ඉතා අගනා විකල්ප දැව විදිහට හදුනාගන්න පුළුවන්. මේ මොන දැවය භාවිතා කලත් අපට අවශ්‍ය විදිහට වර්ණගන්වා, එකම විදිහේ නිමාවක් ලබාදෙන්න පුළුවන් බව මෙහිදී මතක්කරන්නම ඕන. මොකද සමහර විට ඔබ භාවිතා කලේ මිල අධික දැව වර්ගයක් වුවත්, ඔබේ නිවාසයේ තේමාවට අනුකූලව, සියළු දැව කොටස් අවසානයේදී මහෝගනී වර්ණයෙන් වර්ණගන්වන්නට (මහෝගනී යනු සාපේක්ෂව මිල අඩු දැව වර්ගයකි) ඔබට සිද්ධවෙන්න පුළුවන්. එහෙම වෙලාවට, මම මේ ජනේල හැදුවේ අසවල් ලීවර්ගයෙන්ය කියලා බෝඩ් එකක් එල්ලනවා හැරෙන්නට, අතිරේකව වියදම්වූ ලක්ෂ ගණනක මුදල වෙනුවෙන් ඔබට කරන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ.



 මේවා හැබැයි බටහිර රටවල උළුවසු
සාමාන්‍ය යෙන් අපේ රටේ භාවිතා කෙරෙන දොර-උළුවස්සක්, දෙපස කණුදෙකකින් සහ උඩ පඩිකඳකින් සමන්විත වෙනවා. කණුදෙකට වඩා පිටතට නෙරායන උඩපඩිකඳට අයත් කොටස “කණ“ විදිහට හදුන්වනු ලබනවා. උළුවස්ස බිත්තියට හොදින් සවිවීමත්, ඉහල බිත්ති කොටස් වල බර දෙපස බිත්ති දෙකට පැවරීමත් මේ ක‍ණ් දෙකෙහි රාජකාරිය වෙනවා. උළුවස්සේ ඉහලින් වාතාශ්‍ර කවුළුවක් පවතින විට, මැද පඩිකදක් දැකිය හැකිවන අතරම, අපේ ඉපැරණි උළුවස්සක යටපඩිකඳක්ද පැවතිබව කියැවෙනවා( ඇම්බැක්ක දේවාලයේ මෙවැන්නක් අදත් දැකිය හැකිය). සාමාන්‍යයෙන් නිවසක සියළුම දොර සහ ජනෙල් උළුවසු වල මැද පඩිකඳන් එකම මට්ටමින් පැවතිය යුතු වීම රීතියක්. ඒත් ගෙබිමෙහි විවිධ උස මට්ටම් පවතින අවස්ථාවකදී යම් බිත්තියකට අදාල ගෙබිම් (හෝ DPC) මට්ටමේ සිට සමාන උසකින් පවතින ලෙසින් මැද පඩිකදෙහි මට්ටම ඒ ඒ බිත්තියට අදාලව සකසාගත යුතුවෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් ඔබ නිවසතුල කවර ස්ථානයක හිටියත් ඔබට ආසන්න දොරෙහි හෝ ජනේලයේ මැදපඩිකඳ (මැද පඩිකඳක්/වා කවුළුවක් නොමැති අවස්ථාවකදී නම් උඩපඩිකඳ) ඔබේ හිසෙහි මට්ටමෙහි සිට යම් නිශ්චිත උසකින් පැවතිය යුතුය. 

 දොරෙහි හෝ ජනේලයේ මැදපඩිකඳ ඔබේ හිසෙහි  සිට යම් නිශ්චිත උසකින් පැවතිය යුතුය


නිවස අභ්‍යන්තර පරිසරයේ සිසිල් බව රැකදෙන වා කවුළු, බීරළු, ලැටිස්, ආරුක්කු, ට්‍රෙලිස්, ලුවර, කැටයම් ලෑලි  ආදී විවිධ මෝස්තර වලින් නිර්මාණය කෙරෙන අතර කාලානුරූපව ජනප්‍රියතාව උස්පහත් වෙමින්, නිවසේ බාහිර පෙනුම වැඩිකිරීමටත් යම් දායකත්වයක් ලබාදනවා. මේවායින් කවර වර්ගය වඩා සුදුසුද කියන පැණය අපෙන් අහන්නේ නැතිනම් තමා වඩා සුදුසු. මොකද ඒවායේ සඵලතාවයෙන් ස්වායක්තව කාලාණුරූපව මේ මෝස්තර (සාධාරණ නොවන හේතූන් මත පවා) වෙනස්වන නිසාමයි. කොහොම වුනත් නිර්මාපකයන් අතර “ලූවර“,  සදාකාලික වාකවුළු මෝස්තරය ලෙස සැලකෙනවා. (ඒත් ලූවර වල ස්වරූපයෙහි, කාලීනව සිදුවන වෙනස්කම් දැකිය හැකියි)

“ලූවර“,  සහිත වාකවුළු මෝස්තරයක්


සාමාන්‍යයෙන් නිවසක බාහිර බිත්ති වලට සවිවන උළුවසු සදහා වාතාශ්‍ර කවුළු පවතින බැවින් මැදපඩිකඳක් පැවතියද අභ්‍යන්තර බිත්ති සඳහා සවිවන උළුවසු සදහා මැදපඩිකඳක් නොපවතී. ඒ අභ්‍යන්තර උළුවසු, වාතාශ්‍ර කවුළු නොදරන බැවිණි. එහෙත් ගොඩනැගිල්ල සඳහා යොදාගත් තේමාව අනුව, එහෙමත් නැතිනම් ඔබගේ ගෘහනිර්මාණ ශිල්පියා විසින් හදුනාගන්නා ලද විශේෂ අවශ්‍යතා මත අභ්‍යන්තර බිත්ති සඳහා සවිවන උළුවසු සදහාද මැදපඩිකඳන්(සහ වාතාශ්‍ර කවුළු) යොදාගැනීමට සමහරවිට ඔබට සිදුවිය හැක. මා මේකාරණය සඳහන්කලේ, නිවාස ඉදිකිරීමේදී ඒහා සම්බන්ධ විශේෂඥයන්ට, යම්යම් රීතීන් අතික්‍රමණය කලහැකිබව පෙන්වා දෙන්නටයි. (තවත් විදිහකින් කිව්වොත්, සමහර වෙලාවට, විෂය නොදන්නාකෙනෙකුගේ ග්‍රාම්‍ය ඉදිකිරීමක් සහ විශේෂඥයකුගේ ප්‍රශස්ථ නිර්මාණයක් අතර ඇත්තේ බොහොම පුංචි වෙනසක් බව ඔබට පැහැදිලි කරන්නයි. හැබැයි ඉතින් එහෙමය කියලා ඉංජිනේරුවෝ උවමනා නැතිය, මේසන් බාස්ලා විතරක් හිටියාම ඇතිය කියලා හිතන මෝඩ දේසපාලුවන්ගේ ගානට මේක කියවන ඔයගොල්ලෝ පත් නොවේවිය කියලා මංතුමා - (මේසන් බාස් කෙනෙක් වුනත්, විෂයත් පොඩ්ඩක් දන්න නිසා) - විශ්වාස කරණවා)

 
 විශේෂඥයන්ට, යම්යම් රීතීන් අතික්‍රමණය කලහැක


උළුවහු බිත්තියට සවිකිරීම ඉදිකිරීම් අදියර දෙකකදී සිදුකරන්නට පුළුවන්. ඒ බිත්ති බැඳීම සිදුවන අතරතුර එයට සමාන්තර ලෙස හෝ සුදුසු පරිදි කවුළු ඉතිරිකරමින් බිත්ති බැදීම සිදුකර පසුව උළුවසු තබා හිරකිරීම වශයෙනි. සවිවීම අතින් පලමුවැන්න වඩා හොද වනවිට උළුවසු වල පැවැත්ම සම්බන්ධයෙන් දෙවැන්න වඩා හිතකර වෙනවා. මේ කවර ආකාරයට සිදුකලද ලී උළුවසු සදහා පලමුව දැව ආරක්ෂක ආලේප ද්විත්වයක් සහ සීලර් ආලේපනයක් සිදුකර උළුවසු තැබීම ඒවායේ කල්පැවැත්මටත්, මනා පෙනුම රැකගැනීමටත් අනිවාර්යයෙන් හේතු වෙනවා. ඒ වගේම අවශ්‍යතාව පරිදි අවුල්පාසු සවිකිරීමත් ඉතාමවැදගත්. විශේෂයෙන් බ්ලොක්ගල් බිත්ති සදහා අවුල්පාසු සවිකිරීම, උළුවස්ස (හෝ ජනේල රාමුව) බිත්තියට හොදින් සවිවීමට ලොකු මෙහෙයක් ඉටුකරනවා. අවුල්පාසුවක් (Hold pass) කියන්නේ උළුවස්සක් බිත්තියකට සවිකිරීම උදෙසා සකස්කර තිබෙන අවයවයකටයි. මෙවැන්නක් තහඩු පතුරක් හෝ කම්බියක් විය හැකියි. එතරම් සාර්ථක නැතත් සමහරු මේකට කටුකම්බිත් යොදාගන්නවා. විශේෂයෙන් සුලං පවතින ප්‍රදේශවල, ජනේල හෝ දොරපියන් වේගයෙන් වැසීමෙන්/ඇරීමෙන් ඇතිවන බලපෑම(Impact) සමනය කරගැනීමට මෙම අවුල්පාසු දායක වෙනවා. ඕනෑම ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසලකින් මිලට ගතහැකි අවුල්පාසු, එතරම් මිලැති අයිතමයක් නොවනබවත් දැනසිටීම වැදගත්.

 විවිධ වාකවුළු මෝස්තර එකම නිවසට යොදාඇති අවස්ථාවක්

පෝස්ටුව ිග වැඩිවන නිසා අදට මෙතනින් නවත්වනඑක හොඳයි වගේ. මොකද දිග වැඩි වුනොත් ඒකෙන් මේක කොටන මටවත් කියවන ඔයගොල්ලන්ටවත් වැඩි හොදක් වෙන එකක් නැහැ. මීලඟ පෝස්ටුවෙන් උළුවසු/ජනෙල් සම්බන්ධ පලාත්පාලන ආයතනික (නගරසභා) නීති ගැන යමක් කථාකරන්නයි බලාපොරොත්තුව. ඒකට තව ලුණුඇඹුල් මොකුත් උවමණානම්, කොමෙන්ටුවකින් හෝ මගේ විද්‍යුත් ලිපිනයට විදි ඊයකින් විමසීමක් කරන්න.

ඔබසැමට සුභ සතියක්.!

27 comments:

  1. සමාන්‍යයෙන් කොස් දැවය ආර්ද්‍රතාවයට දක්වන ප්‍රතිචාර අනෙක් දැව වලට වඩා (උළුවහු හා ජනෙල් රාමු ඉදිකිරීමට ගන්නා) වැඩියි නේද ?

    ReplyDelete
    Replies
    1. මේ ලොකු අයියේ උබත් මේ වගේ ලියන්ඩ පටන්ගන්නේ කවද්ද..අපේ බාස් සහෝ වගේ උඹත් දැනුවත් කිරිමේ වැඩපිලිවෙලකට ගියොත් නෙද හොඳ

      Delete
    2. ලබන මාසේ නම් කොහොම හරි වැඩේ පටන්ගන්නවා.බිසි පිරියඩ් එක එතකොට ඉවරයි.

      Delete
    3. හිතවත් සුමිත්,

      //සමාන්‍යයෙන් කොස් දැවය ආර්ද්‍රතාවයට දක්වන ප්‍රතිචාර අනෙක් දැව වලට වඩා (උළුවහු හා ජනෙල් රාමු ඉදිකිරීමට ගන්නා) වැඩියි නේද//
      ඒක සාපේක්ෂයි. වියලි කලාපීය දැව වලට සාපේක්ෂව නම් උත්තරය ඔව්. හැබැයි තෙත් කලාපීය දැව වලට සාපේක්ෂව නම් එහෙම නෙමෙයි.(ඇරත් තෙත් කලාපයේ මේ වැඩේට කොස්වලට වඩා හොද සහ සුලභව සපයාගන්න පුළුවන් වෙනත් දැවයක් නැහැ)

      සුමිත්ට මේ කාරණය තේරුණාට මේක කියවන අනෙක් අයට තේරුම්යාවිද මන්දා මම මේක වැඩිදුර විස්තර කලොත්. කමක් නැහැ ටිකක් කියන්නම්.

      ආර්ද්‍රතාවයට දක්වන ප්‍රතිචාර කියන්නේ වැහි කාලෙය දොර ජනෙල් පියන් වහන්න බැරි විදිහට ඉදිමෙන එක. එහෙම වෙන්නේ දැවය තැනී ඇති සෛලම කියන සෛල වායුගෝලයේ තියෙන තෙතමනය උරාගෙන ඉදිමෙන නිසයි. මේ
      සෛලම කියන සෛල වල තැන්පත් වෙලා තියෙන ලිග්නීන් කියන දුව්‍ය ප්‍රමාණය අඩුනම් මේ ඉදිමෙන ප්‍රමාණය වැඩියි. තව මේ කාශ්ඨය(අරටුව) තනන සෛලම සෛල වල ප්‍රමාණය විශාලනම් ඒත් ඉදිමෙන ප්‍රමාණය වැඩියි. මේ සෛලම සෛල වල ප්‍රමාණය විශාලවීමට කෙලින්ම බලපාන්නේ ගස වැවුන පසෙහි තිබ්බ ජල ප්‍රමාණයයි (ගසක වර්ධනයට බලපාන සීමාකාරී සාධකය බොහෝවිට ජලයයි). ඒ අනුව තෙත් කලාපයේ වැවුන ගසක දැවයත්, එම වර්ගයේම වියලි කලාපයේ වැවුන දැවයකත් අතර ශක්තියේත්, ඔය විදිහට තෙතමනය උරාගෙන ඉදිමෙනඑකෙත් පැහැදිලි වෙනසක් තියෙනවා.

      Delete
    4. ඔබ කියන විදියට වියළි කලාපය තේක්ක සහ කොහොඹ දැව වලටත් තෙත් කලාපය (ගම්පහ,කොළබ) කොස් දැව වලටත් සුදුසුයි. මා සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. මම ඉදිකරන නිවසේ උළුවහු සහ ජනෙල් සදහා කොහොඹ දැව යොදා ගන්න අදහසක් මගේ තියෙනවා. එය ඖෂධ ශක්තියකින් යුක්ත වන නිසාත් ශක්තිමත් නිසාත් එය සුදුසු යැයි මට හැගෙනවා. මේ සදහා ඔබගේ උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

      Delete
    5. කොහොඹ ඉතාම සුදුසු දැවයක්. ඇත්තටම අද පවතින තත්වයේ හැටියටනම් සුදුසු වැඩියි. පහත නොමෙන්ටුවල මම වැඩි විස්තර දක්වා තියෙනවා.

      Delete
  2. දැමදාමත් වගේ ඔබට බොහොම ස්තුති... අප්පච්චියේ මාත් පොඩි මාලිගාවක් හදන්ඩ ඉන්නේ ඔය දෙපලගෙම සහයොගය ඉදිරියේදි අතිශයින් වැදගත්වේ..උදව්කරනවා නේද...

    ReplyDelete
    Replies
    1. හිතවත් රාජ්,

      //මාත් පොඩි මාලිගාවක් හදන්ඩ ඉන්නේ .උදව්කරනවා නේද...//

      නැතිව කොහොමද...

      Delete
    2. මාත් කියන්නෙ ඒකයි
      උදව් නොකර කොහොමද....

      Delete
  3. 6 X 9 බීම් වල සක්තිමත් බාවය තට්ටු 2 කෙ නිවසකට ඇතිද

    ReplyDelete
    Replies
    1. අමිල,

      උත්තරය ඔව්. හැබැයි කොන්දේසි සහිතයි.

      මෙවැන්නකදි යොදාගන්න 6 X 9 බීම් එකෙහි සංයුතිය තරමක් වෙනස් වෙනවා. ඒ වගේම තත්වය(Quality) සහ වැඩනිමාවත්(workmanship) ඉතා ඉහලමට්ටමකින් පවත්වාගත යුතුවෙනවා.

      ඒ නිසා ඉංජිනේරු සහයක් නොමැතිව කිසිමවිටෙක 6 X 9 බීම්, ‍මහල් නිවාස සදහා යොදාගන්න එපා.

      Delete
  4. ස්තුතියි ලිපියට..
    ඊළඟ කොටසත් එනකම් මග බලාසිටිමි..

    ReplyDelete
    Replies
    1. හිතවත් රූ,

      උනන්දුකිරීමට ස්තුතියි.

      Delete
  5. mamath innawa saho. oyawa sambanda karaganna apita kramayak kiyanna puluwanda......

    ReplyDelete
    Replies
    1. හිතවත් කවිඳු,

      වැඩේ බොහොම පහසුයි නොවැ.
      මගේ ව්ද්‍යුත් තැපැල් ලිපිනය‍ට‍ ඊයක් එවන්න.
      හැබැයි Subject එක "මේසන් බාස්" කියලා දැම්මොත් වඩාත්ම හොඳයි.
      techconco@gmail.com

      http://econobuildings.blogspot.com/p/contact-us.html

      Delete
  6. නියමයි.. තනිකර ම සිවිල් ලෙක්චර් එකක් වගේ..
    බොහොම වැදගත් බ්ලොග් එකක්.. දිගට ම එනවා..
    ජය!

    ReplyDelete
    Replies
    1. හිතවත් රැං‍ගෝ,

      උනන්දු කිරිම ගැන ස්තුතියි.
      දිගටම අපිත් එක්ක රැදෙන්න.

      Delete
  7. Hoda wadak meka...digatama karagena yanna...

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරිම ගැන ස්තුතියි.
      දිගටම අපිත් එක්ක රැදෙන්න.

      Delete
  8. godak watina blog ekak karanawata obata godak thanks. mamath mage yaluwanta blog eke link eka dala mail kala balanna kiyala. thanks again.

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරිම ගැන ස්තුතියි.
      දිගටම අපිත් එක්ක රැදෙන්න.

      Delete
  9. Athtthatama ithama vatina blog ekak....mita kalin meka dakinna thibuna nam hodai kiyala hithenava...mamath mage sihina maligava hadamin inna nisa...mata kiyanna puluvanda ULUVAHU valata normally pavichchi karanne mona lee vargada kiyala...kos arunama...

    ReplyDelete
  10. මෙහෙමයි,
    ඔයා ඉන්න පලාත සදහන්කරලා නැති නිසා ප්‍රාදේශීයව සපයාගන්න පුළුවන් ලී වර්ග ගැන මෙහි සදහන් කරන්න අපහසුයි. ඒ සදහා ප්‍රදේශයේ වඩු කාර්මිකයෙක්ව හමුවීම තමයි වඩාත් හොද.

    පොදුවේ ගත්තහම තේක්ක/කොස් සහ ආනයනික දැව වර්ග හැරුනහම උඩරට පලාත් වල වැවෙන ගාන්ධීස්, මෛක්‍රෝ ආදී ටර්පන්ටයින් විශේෂත් ඒ වගේම මෑතකදී හදුන්වාදුන්න ඇකේෂියා සහ පිහිඹිය වර්ගත් භාවිතා කරන්න පුළුවන්. ඒ හැමටම වඩා හොද තත්වයේ කොන්ක්‍රීට් උළුවසුත් යොදාගන්න පුළුවන්. පහත සබැදියාව බලන්නකෝ.

    http://econobuildings.blogspot.com/2012_06_01_archive.html

    ReplyDelete
  11. Replies
    1. ස්තුතියි, උනන්දු කරවීම පිලිබදව

      Delete
  12. පට්ට මචන් කිසිම ප්‍රාෙයා්ගික දැනුමක් නැත් අයට උනත් පහසුවෙන් සරලව පැහැදිලි කරලා දෙන එක ගොඩාක් වටිනවා ඔබට ජයෙන් ජය!

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....