Friday, March 16, 2012

නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-3

අපි පසුගිය ලිපියෙන් කථාකලේ, සිමෙන්ති බ්ලොක්ස් එහෙමත් නැතිනම් බ්ලොග් ගල් බිත්ති බැඳීම සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පොස්ටුව බලන්න පුළුවන්. කිහිප දෙනෙක් එහිදී රජරට පැත්තේ බිත්ති බැඳීමට යොදාගන්න විශාල ප්‍රමාණයේ ගඩොල් ගැනත් විමසා හිටියා. ඉතින් අද දවසේ අපේ බලාපොරොත්තුව ඒ ගැන ටිකක් සවිස්තරව කථාකරන්නයි.

රජරට ලොකු ගඩොල්
අප මෙයට කලින් සම්මත ගඩොල් ඒ කියන්නේ ඉංජිනේරු ගල් ගැන කථාකරා ඔබට මතක ඇති. මිල අධික වුවත් ගඩොල් වල තියෙන සුපිරි ගුණාංග ඉදිරියේ බ්ලොක් ගල් ඇතුළු බොහෝ බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය පහසුවෙන් පරාජයට පත්වන බව ඒ අනුව ඔබට පැහැදිලි වන්නට ඇති. නමුදු සම්මත ගඩොලක ආවේනික ගුණාංග යම් පමණකට රැකගෙන, වෙලඳපල කරා එන තරමක ලාභදායී විකල්පයක් විදිහට අපගේ අද දවසේ මාතෘකාව බවට පත්වන රජරට ලොකු ගඩොල් හදුන්වන්න පුළුවන්.




කාලාන්තරයක් තිස්සේ තම තමන්ගේ භාවිතය සදහා තම තමන්ගේ රුචිකත්වය අනුව විවිධ ප්‍රමාණ වලින් නිපදවාගනුලැබු රජරට ලොකු ගඩොල්, ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙසින් නාගරික ජනතාව අතර ප්‍රචලිත වීමත් සමඟම පලලxදිගxඋස  6”x9”x4” යන ආසන්න අගයකින් නිපදවීම ඇරඹුණා. මෙම ගලක් කිලෝ 6කට වැඩි බරකින් යුක්ත වූ බැවින් සහ ප්‍රමාණයෙන් සුවිසල් බැවින් ලොරියකට පැටවිය හැකි වූයේ සීමිත ප්‍රමාණයකි. ව්‍යාපාරයක් වශයෙන් නාගරික ප්‍රජාව වෙත රජරට ලොකු ගඩොල් සැපයීම ඇරඹීමත් සමගම නිෂ්පාදකයා සහ ප්‍රවාහකයා යන දෙදෙනාගේ හිතසුව පිනිස වැඩි ගල් සංඛ්‍යාවක්  ලොරියකට පැටවිය හැකි විදිහට ගඩොලක ප්‍රමාණය පලලxදිගxඋස  6” x8.5”x3 ලෙසින් අඩුවීගොස් ඇතිබව දකින්න පුළුවන්. තවදුරටත් එහි විකාශණයක් විදිහට පලල අඟල් 41/2   සිට 6 දක්වා විවිධ ප්‍රමාණ වලින් රජරට ලොකු ගඩොල් නිෂ්පාදනය කර තිබීම දකින්න පුළුවන්.

ලොරියකට පැටවිය හැකි විදිහට
රජරට ලොකු ගඩොල් බොහෝ නාගරිකයන් විසින් මෝඩගල් විදිහට හැදින්වුවත්, ඇත්තටම මෝඩගල් කියන්නේ පුළුස්සන්නේ නැතිව තනාගත් සුවිසල් මැටි ගඩොල් විශේෂයකටයි. ඒ ගැන වැඩිවිස්තර උවමනා කෙනෙකුට  මෙතනින් ඒ ගැන දැනගන්න පුළුවන්.

මෝඩගල්
 රජරට ලොකු ගඩොල් එහෙමත් නැතිනම් වන්නි ගල්, නාගරික ගොඩනැගිලි ඉදිකිරීමේ අමුද්‍රව්‍යයක් විදිහට ජනප්‍රිය විමට බලපෑ ප්‍රධාන කාරණය, නාගරික ප්‍රජාවතුල ඇති ගඩොල් නිවාසයක විසීමේ සාම්ප්‍රදායික ආශාවය කියලා කීවොත් සමහරු එකඟ නොවෙන්නත් පුළුවන්. වියදම අතින් බ්ලොක් ගල් සහ ඉංජිනේරු ගල් අතර අතරමැදි ස්ථානයක රැදෙමින් ගඩොලෙහි සියළු යහපත් ගුණාංග අත්කරදෙන බැවින් රජරට ලොකු ගඩොල් අනිවාර්යයෙන්ම ලාභදායී විකල්පයක්. ඒත් රජයේ ඉදිකිරීම් සදහානම් වන්නි ගල් අනුමැතියක් ලබා නැහැ. 

රජරට ලොකු ගඩොල් නිෂ්පාදනය

රජරට ලොකු ගඩොල්පෝරණුවක්

ව්‍යුහාත්මක වශයෙන් වන්නි ගල් වල ඇති ප්‍රධාන වාසියක් තමයි බර දරණා බිත්ති සදහා කෙලින්ම යොදාගන්න පුළුවන්වීම. වෙනත් විදිහකින් කිව්වොත් නිසි ලෙස බිත්ති මුළු සහ සන්ධි වලින් සහය ලැබූ 6“ පලල රජරට ලොකු ගඩොලින් තැනි බිත්තියක්, කොන්ක්‍රිට් කණු රහිතව වුවද, ICC හෝ NERD වර්ගයෙහි සැහැල්ලු කොන්ක්‍රිට් තට්ටුවක් දරාසිටීමට තරම් ශක්තිමත්. (මම මෙහෙම කිව්වට මේ වගේ වැඩ ඉංජිනේරු සහයක් නැතිව තනියම කරන්න යන්න එපා) 

රජරට ලොකු ගඩොල්පෝරණුවක්

සාමාන්‍ය භාවිතයේදී 6“ පලල ගඩොලින් තැනි බිත්ති බිම්මහල සදහාත්, තරමක වියදම් අඩු 5“පලල ගඩොලින් තැනි බිත්ති ඉහල මහල සදහාත් යොදාගනු ලබනවා. හැබැයි එහෙම වෙලාවට ගොඩනැගිල්ලේ ව්‍යුහය සකසන කොන්ක්‍රිට් කණු(Column), බිත්තියෙන් ඉවතට නෙරා ඇවිත් තිබීම දකින්නට පුළුවන්( මොකද කණු 9”x9” ප්‍රමාණයේ නිසා) හැබැයි මේ කණු බොහොමයක්  6”x9” ප්‍රමාණයටගෙන එයට අදාල ව්‍යුහයන් සැලසුම් කරලා, බිත්ති තුල සඟවා හරින්නට ඔබේ ඉංජිනේරු වරයාට පුළුවන්කමක් තියෙනවා. එහෙමත් නැතිනම් නර්ඩ් තාක්ෂණයට 6”x6” පෙරආතතීකරිත කණු යොදාගෙන මේ වැඩේ කරගන්නත් පුළුවන්. මේ සියල්ල තීරණය වෙන්නේ නම් ඔබේ ඉංජිනේරු වරයා කෙතෙක් දුරට නූතන දැනුමෙන් පොහොසත්ද (Updated) සහ අළුත් දේ භාරගන්න කැමතිද(rational) කියනඑක මතයි. ඉංජිනේරුවරු එහෙමත් නැතිනම් මැවිසුරුවො ගැන අපේ කතන්දර ශූරීන් නම් කිව්වේ මේ වගේ දෙයක්.

නිසිලෙස නොපිලිස්සුන ගඩොල් වැසි ජලයේ දියවීම සුලභ කාරණයකි

ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබේ නිවසටත් වන්නි ගල් එහෙමත් නැතිනම් රජරට ලොකු ගඩොල් යොදාගන්න බලාපොරොත්තු වෙනවානම් මෙන්න මේ උපදෙස් ටිකත් වැදගත් වේවි. 

·        සෑමවිටම එකම පෝරණයේ ගල් ලබාගැනීමට උත්සුක වන්න. මොකද විවිධ පෝරණු වල ගඩොල් විවිධ දිග පලලින් යුක්ත නිසා බැමි බැඳීමේ වියදම් වැඩිවේවි. ඒ මදිවාට බිත්තියේ එක් මුහුනතක් වඩා වැඩි ඝණකමකින් කපරාරු කිරීමටත් සිදුවේවි.

·        සාමාන්‍ය‍යෙන් වර්ග අඩි 100 ක බිත්තියක් බැඳීම සදහා රජරට ලොකු ගඩොල් 350-380ත් අතර ප්‍රමාණයක් වැයවේ. උසින් වැඩිගල්, අඩු සංඛ්‍යාවක් වැයවන බැවින් වාසිදායකය. නමුදු දිගින් සහ පලලින් අඩු ගඩොල් උසින් වැඩිබවක් බැලු බැල්මට දිස්වන අවස්ථාද විරල නොවෙයි. ඒ නිසා මිනුම් පටියකින් මැන, ඒ බව සනාථ කරගැනීම ගල් වර්ග කිහිපයක් අතුරින් උචිත වර්ගය තෝරාගැනීමේදී වැදගත්වේ.

·        නිසිලෙස නොපිලිස්සුන ගඩොල් වැසි ජලයේ දියවීම සුලභ කාරණයකි. අහඹු ලෙස ලබාගත් ගල් සාම්පල කිහිපයක් පැයකිහිපයක් ජලබදුනක ගිල්වාතැබීම ඒ සදහා සුදුසුම පරීක්ෂණයක් වෙයි. විවිධ පස්වර්ගයන් විවිධ වර්ණයන් ලබාදෙන බැවින් පලපුරුද්දක් නැත්තකුට ගඩොලෙහි වර්ණය එය නිසිලෙස පිලිස්සී ඇතිබව විනිශ්චයට ඉතාහොද දර්ශකයක් නොවේ.

·        ගඩොලෙහි වර්ණය සහ ශක්තිය අතර පැහැදිලි සම්බන්ධතාවක් නැත. මක්නිසාදයත් දර භාවිතා කරන පෝරණුවල ගඩොල් බොහොමයක් වර්ණයෙන් දුර්වල නමුදු ශක්තියෙන් පොහොසත්ය. දහය්යා පෝරණු වල ගඩොල් වර්ණයෙන් නම් පොහොසත්ය.

·        තට්ටු කිරීමේදී නිකුත්වන හඩ ගඩොලයේ තත්වය දක්වන ඉතාහොද දර්ශකයකි. (බරනැති ටිං ටිං හඩ දේනම් ඔන්න වැඩේ ගොඩ)

·     ප්‍රවාහණයේදී ගඩොලෙහි ශක්තියෙන් යම් ප්‍රමාණයක් හාණිවේ. කෙටිදුර ප්‍රවාහණයකදී බොහොමයක් රජරට ලොකු ගඩොල් එකින් එක අතින් බෑම වෙනුවට “ටිපර්“ කරන අවස්ථාද විරල නොවේ. කෙසේවුවද ප්‍රතිශතයක් වශයෙන් ඔබට ලැබීඇති ගඩොල් තොගයෙන් කැඩීඇති ගඩොල් සංඛ්‍යාව 3%ට වඩා අඩුනම් ( ගඩොල් 1000 කට කැඩුන ගල් 30) එය නරක තත්වයක් නොවේ.

·        රජරට ලොකු ගඩොල් භාවිතයට පලමුව ජලයේ පොඟවා ගැනීම අනිවාර්ය වේ. වරක් පොඟවා ගන්නා ලද ගඩොල්, බිත්තියට සවිවීමේදී එයට හිමි උපරිම  ශක්තිය සහ වර්ණය අයත්කරගනී. රජරට ලොකු ගඩොල් බිත්තියක් බැඳීම සදහා ප්‍රායෝගික සි:වැලි අනුපාතය 1:6 කි.  

·        තරමක් දුරට හෝ ඒකාකාර දාර සහිතව නිපදවුන රජරට ලොකු ගඩොල් භාවිතාකොට, කපරාරු රහිත බිත්ති බැඳීමෙන්, ගෘහනිර්මාණාත්වකව වඩා උසස් නිර්මාණයන් බිහිකල හැකිය.



කපරාරු රහිත බිත්ති බැඳීමෙන්
ප/ලි.
රජරට ලොකු ගඩොල් සම්භන්දව ශ්‍රී ලාංකික ප්‍රමිතියක් නොපවතින නිසා මෙහි ඇතුලත් කරන ලද ඇතැම් කරුණු, භාවිතයෙන් ලද අත්දැකීම් ඇසුරින් ඔබේ යහපත උදෙසා ඉදිරිපත් කලබව කරුණාවෙන් සලකන්න.

13 comments:

  1. බොහොම ස්තූතියි මිත්‍රයා..

    ReplyDelete
  2. නොදන්න දේ කොච්චර ද කියල හිතෙනවා... බොහොම ස්තූතියි..

    ReplyDelete
  3. දැනුවත් කලාට ස්තුතියි

    ReplyDelete
  4. ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක් නිසා මට මේ ලිපි මාලාව බොහොම වැදගත්.....ස්තූතියි ඔබට...!

    ReplyDelete
    Replies
    1. //ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක් නිසා මට මේ ලිපි මාලාව බොහොම වැදගත්.//

      සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන්නන්ට ඔන්න හොඳ අවස්ථාවක්. ගෙයක් එහෙම හදන්න ඉන්නවානම්, සුමිත්‍ට කියලා අඩුමිලට සැලසුම එහෙම අන්දවගන්න පුළුවන් දැන්.

      ඇස්තමේන්තුවක් හදාගන්න ඕන අයට "දුකා" ඉන්නවා.

      ස්තුතියි සුමිත්. දිගටම අපත් එක්ක රැදෙන්න. හැමෝටම වැදගත් වන ගැටළු ඇත්නම් කොමෙන්ටුවකින් විමසන්න. වඩා විස්තරාත්මකව අවශ්‍ය වෙන පිලිතුරු අළුත් පෝස්ට් එකක් විදිහටම එලිදක්වන්නම්.

      Delete
  5. ඔබගේ උපදෙස් සහ ඔබගේ අද්දැකීම් අප සමග බෙදාගැනිම පිළිඹඳ බෙහෙවින් ස්තුතීවන්ත වෙමි. ඇත්තේන්ම රජරට ගඩොල් දියේ ගිල්වා තැඹිම පිළිඹඳව මාහටද අත්දැකුමක් ඇත.අපගේ මහගෙදර ඉදිරිපස බිත්ති සිමෙන්ති ගල්වලින්ද පිටුපස කොටස මොඩගල් වලින්ද බැඳ ඇත..මා කුඩාකල තාත්තා ඔය මොඩගල් ද පෙර සේම බැරලයක බහා තබා බිත්ති බැඳිමට ගන්න ලදි

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....