Wednesday, April 11, 2012

සිමෙන්ති මිශ්‍රිත පස් බ්ලොක්ගල් බිත්ති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (බිත්ති බැඳීම-5)

අපි පසුගිය ලිපියෙන් කථාකලේ, මිලෙන්වැඩි සම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන ලාබදායී නූතන විකල්පයක්වූ  ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls) පිලිඹදවයි. එහිදී පොරොන්දු වෙච්ච ආකාරයටම අද දවසේ අපේ බලාපොරොත්තුව එහි වැඩිදියුණු කල සංස්කරණයක් වෙච්ච ස්ලිප් ෆෝම් පස් බිත්ති සහ ස්ථායීකරනය කල පස්ගල් බිත්ති ගැන බිඳක් වැඩිපුර කථාකරන්නයි.

මේ තියෙන්නේ පස්ගල් බිත්තියක්

සිමෙන්ති මිශ්‍රිත පස් එහෙම නැතිනම් වඩාත් තාක්ෂණිකව කිව්වොත් ස්ථායීකරණය කරනලද පස්, ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් විදිහට ඉතා උසස් ගුණාංග පෙන්වනු ලබනවා. අපේ සම්ප්‍රදායික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල තියෙන යහගුණ සියල්ල අඩුනැතිව අයිතිකරගත් පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමවේදෙයක් ඇතිකරන්න නර්ඩ් ඉංජිනේරු කණ්ඩායම ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නිෂ්පාදනය එලිදැක්වෙලා තියෙන්නේ. මෙහිදී අමුද්‍රව්‍ය විදිහට යොදාගැනෙන්නේ පස්, සිමෙන්ති, හුණු සහ ජලය පමණයි. ඒ නිසා වැලි අර්බුදයට මේක ඉතා හොද පිලියමක්. තාප පරිවාරක ගුණය ඉහල බැවින් ගොඩනැගිල්ලෙහි ඇතුලත පරිසරය සුවපහසු එකක් වීමත් වියදමින් 15% ~ 35% අතර ප්‍රමාණයක් ඉතිරිකරගත හැකිවීමත් ප්‍රධාන වාසි විදිහට දක්වන්න පුළුවන්.
පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති නිපදවීමේ ක්‍රමවේදය සරලව මේ විදිහට දක්වන්න පුළුවන්,
·        සුදුසු පසක් තෝරාගැනීම (Selection of suitable soil)
·        පස් සපයා ගැනීම / හාරා ගැනීම (Extraction of soil)
·        (අවශ්‍යනම්) පස් හලාගැනීම (Sieving of soil, if it is necessary)
·        සිමෙන්ති හෝ සිමෙන්ති සහ හුණු මිශ්‍රකිරීම (Mixing with cement or cement & lime)
·        ජලය එකතු කිරීම සහ මිශ්‍රණය කලවම්කිරීම (Adding & mixing with water)
·        පස්ගල් නිෂ්පාදනය/ ස්ලිප් ෆෝම් පස් බිත්ති ගොඩනැංවීම (Manufacturing of blocks)
·        පදම්කිරීම (Curing under a shade)
·        පස්ගල් භාවිතාකිරීම (Using of blocks)
·        අවශ්‍යනම් කපරාරු කිරීම.( Plastering walls, if it is necessary)

මේකත් පස්ගල් බිත්තියක්

පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති සදහා මැටි අඩු, වැලි වැඩි හෝ බොරළු සහිත පසක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 10% -15% අතර මැටි අඩංගු පසක් ඉතා යෝග්‍ය බවට සැලකෙනවා. ඔබ සතුව ඇත්තේ මැටි ප්‍රතිශතය වැඩිපසක්නම්, වැලි හෝ වැලි සහිත පස් එයට එක්කර එහි තත්වය වැඩිදියුණුකොට භාවිතා කරන්නට හැකියාව තිබුනත් ඔබ සතුව ඇත්තේ සියුම්වැලි(silt) වැඩි පසක්නම් එය මේ කටයුත්ත සදහා සුදුසු නොවනබව සිහිතබාගැනීම වැදගත්. සුදුසු පසක් තෝරාගැනීම සදහා සරල පරීක්ෂණයක් වන බෝතල් පරීක්ෂණය වුනත් හොදටෝම ඇති. දැන් ඔන්න බෝතල් පරීක්ෂණය කියන්නේ මොකද්ද කියලා අහස පොලව ගැටගහගෙන කල්පනා කරන්න එපා. මේක අපි හැමෝම ඉස්කොලේ පොඩිපන්ති වලදි කරපු දෙයක්. ඒ කියන්නේ පිරිසිදු අවර්ණ බෝතලයකට පස් සාම්පලයක් දමලා, ඒවාගේ දෙගුණයක් පිරිසිදු ජලය එකතුකරලා තදින් සොලවලා පැයකට පස්සේ දෙවෙනි පාරටත් සොලවාලා නිශ්චලව පැය 8 ක් තියලා, වතුර හැරෙන්නට ඝණ ද්‍රවව්‍ය වල එක් එක් තට්ටුවේ උස මැනගෙන එහි බොරළු, වැලි, සියුම්වැලි, මැටි අනුපාත ගණනය කරන එකයි. 


 මේ තියෙන්නේ බෝතල් පරීක්ෂණයක ආදර්ශයක්


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක්

කොහොම වුනත් මේ මිශ්‍රණයට යොදාගන්න සිමෙන්ති අනුපාතය සාමාන්‍යෙයෙන් 1:10 ලෙස සැලකුවත්, විධිමත් රසායනාගාර පරීක්ෂණ සහිත වානිජ නිෂ්පාදනයකදී එය 1:20 දක්වා වෙනස්වෙන්න පුළුවන්. පස්ගල් නිෂ්පාදනය සදහා යොදාගන්නා යන්ත්‍රසූත්‍රද, අතින් ක්‍රියා කරන සරල යන්ත්‍රවල සිට ද්‍රවස්ථික සම්පීඩක දක්වා වෙනස්වෙන බවත් කියන්න ඕන. වෙන්කිරීමේ බිත්ති සදහා යොදාගැනීමට නිර්දේශ කෙරෙන මෙවන් පස් ගලක අවම සම්පීඩන ශක්තිය 1.2N/mm2  ලෙසට සැලකෙන බවත් නොකිව්වොත් වැරැද්දක්.


 අතින් ක්‍රියාකරවන වෙනස් වර්ගයක පස්ගල් නිපදවන යන්ත්‍රයක්


 ස්ලිප්පෝම් පස්බිත්තියක්
බොහොමයක් පස්ගල් බිත්ති කපරාරු කිරීම අවශ්‍ය නැහැ. විශේෂයෙන් වැඩිදියුණු කල හැඩයක් සහ අතුරුගුළු(inter locking) සහිතව ඉදිරිපත්ව ඇති අළුත් පස්ගල් ප්‍රභේද කපරාරු රහිත බිත්ති ලෙස ගොඩනැංවීම සදහාම නිෂ්පාදිතයි.


 විවිධ පස්ගල් වර්ග
පස්ගල් බිත්තියක් කපරාරු කිරීම අවශ්‍යනම් ඒ කටයුත්තත් සම්ප්‍රදායෙන් බැහැරව සිදුකරන්න පුළුවන්. ඔබේ පස මැටි වැඩි එකක්නම් 1:3:3 සිමෙන්ති:පස්:වැලි මිශ්‍රණයක්ද මැටි අඩු වැලි සහිත පසක් නම් 1:6 සිමෙන්ති:පස් මිශ්‍රණයක්ද කපරාරුව සහ බැමිබැඳීම සදහා යොදාගන්න පුළුවන්. කපරාරුව සුද මැදීම සදහා අවශ්‍යනම් මකුළු පසින් හෝ මැටිවැඩි පසකින් ජලයේ දියකර වෙන්කරගත් මැටි කොටස් 15ක් සිමෙන්ති එක් කොටසක් සමග මිශ්‍රකර භාවිතයට ගන්න පුළුවන්.


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්

මේ කාරණා සේරම සලකලා බලපුවහම තේරුම්ගතයුතු වැදගත් දෙයක් තමයි මේ ක්‍රමවේද අනුගමනය කරන්න ඒ පිලිඹදව හොද දැනුමක් හා අවබෝදයක් තියෙන්න ඕනය කියනඑක. ඒ නිසා මගේ උපදේශයනම් කොච්චර වාසි සහගත වුනත් මේවාගේ තාක්ෂණය සමග බද්ධ වෙච්ච වැඩ, ඒගැන දැනුමැත්තකුගේ සහයකින් තොරව, තනියම කරන්න යන්න එපාය කියන එකයි. අර කථාවටත් කියන්නේ, දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග කියලා. ගෙවල් හැදිල්ලෙදිත් මේ කාරණය එහෙමම තමයි ඕං  !

25 comments:

  1. හැමැදාමත් වගේ වටිනා කියන ලිපියක්..කලින් ලිපියට කමෙන්ට් කරන්න කියලා හිටියට බැරි උනා වැඩ අස්සේ

    ReplyDelete
    Replies
    1. මාර යාළුවා,

      උනන්දු කිරීම‍ට ස්තුතියි සහෝ. මේ බ්ලොග් වාහනේ දුවන්නේත් උනන්දුකිරීම නමැති තෙල් වලින්ම තමයි.

      Delete
  2. ඔබේ ලිපි පෙල ඉතාමත් වැදගත්....
    අපේ සම්ප්රදායක ක්රම අනුගමනය කරමින් නිවසක් තනා ගැනීම වැඩි වියදම් මෙන්ම නාස්තිකාර බව මම දැන හිටියා. ඒ නිසා නිවෙස් ඉදිකරන ආයතනයක් මගින් නිවස ඉදි කරවා ගැනීම,- අඩු වියදම හා ඒ වෙනුවෙන් වැය කල හැකි කාලය අඩු වීම හා මට නිවාස ගොඩනැගීම ගැන ඇති ප්රායෝගික දැනුම මද වීම වැනි ගැටලු නිරාකරණය විම වැනි කාරණා නිසා වාසි දායක බව තේරුණා. නමුත් නෙත් එෆ් එම් බැලුම් ගල වැඩසටහන හරහා කල හෙලිදරව්වකින් පසු එම නිවෙස් වල ගුණත්වය පිළිබද ගැටලු අති වුණා.එහිදී මතු වූ එක් කාරණාවක් නම් යකඩ බට යෙදිය යුතු ස්ථානයකට ගිනි සීරියා ලීයක් යොදා තිබීමයි. ඉතින්, මෙලෙස ප්‍රසිද්ද ඉදිකිරීම් සමාගම් වලට අප නිවෙස් ඉදි කිරීමට බාර දීම අවදානමක්ද? මේ පිලිබද පැහැදිලි කිරීමක් කළ හැකි නම් ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. හිතවත් Asi4Ever,

      මේ කාරණයනම් කොමෙන්ටුවකින් උත්තර දෙන්න බැරි තරම් සංකීර්ණයි. ඒ නිසාම මම මේ ගැන ඉදිරියේදී ‍පෝස්ටුවකින්ම පැහැදිලි කරන්නම්. එතෙක් මේ අහපු ප්‍රශ්නයට හැකිතාක් කෙටියෙන් පිලිතුරක් දෙන්නම්.

      ඔබ කාලය සමග තරඟයක යෙදෙන අයෙක්නම් ඉදිකිරීම් සමාගමක් / ආයතනයක් හෝ කොන්ත්‍රාත්කරුවකු මාර්ගයෙන් නිවසක් ඉදිකරවාගැනීම අවසාන විග්‍රහයේදී වාසි බොහොමයක් අත්කර දෙන්නක් බව මමත් ඉදුරාම කියාහිටිනවා. ඒත් ඒ ආයතනය හෝ කොන්ත්‍රාත්කරු තෝරාගැනීම නම් කසාදයක් බඳිනවා වගේ බොහෝ සංකීර්ණ වැඩක්. මොකද ඔබ කාර්යබහුල නම් වැරදි තේරීමක් සිද්ධවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩිනිසයි.

      හැබැයි මේ අවදානම අඩුකරගෙන තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්න තරමක් හිතා බලා වැඩකරන කෙනෙකුට අමාරු නැහැ. තමන් විෂය දන්නේ නැතිනම් දන්න කෙනෙකුව hire කරන එක තමයි වඩාත්ම සුදුසු. සරලව කිව්වොත් කොන්ත්‍රාත් ආයතනයෙහි වැඩ අධීක්‍ෂණය සදහා සුදුසු උපදේශක ඉංජිනේරුවරයෙක්ගේ සහය ලබාගත්තානම් වැඩේ බොහෝදුරට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා.

      මේවා ගැන කියන්න/දැනගන්න බොහෝ දේ තියෙන නිසා මුලින්ම කිව්වා වගේ මේ ගැන ලියවෙන පෝස්ටුවක් ඉතා ඉක්මනින් පලකරන්නම්.

      Delete
  3. මේ වගේ ස්ලිප් ‍ෆෝම් බිත්ති වල ගුණාත්මක භාවය මැනගනීමට ක්‍රමයක් තියනවාද?
    අනිත් එක මේ තාක්ෂනය හරියට දන්න අය කොහොමද හොයාගන්නෙ? ඒ ගැනත් විස්තර කියන්න..

    ReplyDelete
    Replies
    1. හිතවත් රූ,

      නිවාස ඉදිකිරීම බොහොමයක් කාර්මික මට්ටමේ ඉදිකිරීම් නොවන නිසා පර්යේෂණාගාර වල සිදුකෙරෙන පරීක්ෂණ නිවාස ඉදිකිරීම සදහා ප්‍රායෝගිකව යොදාගැනෙන්නේ නැහැ. එහෙම වුනත් විෂය ගැන දැනුමක් සහ පලපුරුද්දක් තියෙන ඕනම කෙනෙකුට ස්ලිප් ‍ෆෝම් බිත්තියක ගුණාත්මක භාවය ගැන අවබෝධකරගැනීම අසිරු කාරණයක් නෙමෙයි. බිත්තියෙහි මතුපිට කිසියම් ඝණ ද්‍රව්‍යයකින් සූරා බැලීමෙන් එහි ශක්තිය ගැන ඔබටත් අදහසක් ඇතිකරගත හැකියි.

      //මේ තාක්ෂණය හරියට දන්න අය කොහොමද හොයාගන්නෙ? ඒ ගැනත් විස්තර කියන්න..
      නර්ඩ් ආයතනය හා සම්බන්ධ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් බොහොමයක් ඉන්නවා. ඒවගේම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයකුත් තියෙනවා. ඒවගේම එහි ලියාපදිංචි සැලසුම් ශිල්පින් සහ ඉංජිනේරුවරුන්ද ඉන්නවා. මේ ගැනත් මම විස්තර සහිතව ඉදිරි‍යේදී පෝස්ටුවක් දෙන්නම්.

      Delete
    2. නර්ඩ් ආයතනය එම කොන්ත්‍රාත් කරුවන් ගැන ගැරන්ටියක් දෙන්නෙ නෑ නේද?
      ඉතින් ඒ ලිස්ට් එකෙනුත් හරි කෙනාව තෝර ගන්න හරිම අමාරුයි...

      Delete
    3. රූ...,

      කාරණය ඇත්ත.
      ලයිස්තුවට ඇතුලත්වූ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. දන්නවානේ විභාගය පාස් කරපු පමණින් හොද ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න බැහැ නොවැ. ඒකට වගාකරගත් දක්ෂතාවයත්, මනා පුහුණුව සහ අත්දැකීමුත් දායක වෙනවා.
      ඒ නිසා එකවර කොන්ත්‍රාත්කරුවන්ගැනත් ගැරන්ටියක් දෙන්නෙ හැටි‍යක් නැහැ. අනෙත් අතට ආයතනයක් විදිහට කොන්ත්‍රාත්කරුවන් හැමෝටම සමසේ සලකන්නත් වෙනවා, පැත්තක් ගන්නේ නැතිව.

      හැබැයි කර්ඩ් ආයතනය කොන්ත්‍රාත්කරුවන් ශ්‍රේණිගත කරලා තියෙනවා. ශ්‍රේණිගත කිරීමෙහි අඩුපාඩු තිබුනත් සාමාන්‍යයෙන් A සහ B ඝණයේ කොන්ත්‍රාත්කරුවන් වැඩි පලපුරුද්දක් තියෙන අයයි. ඒ අතරිනුත් හොද කෙනෙක් තෝරාගන්න ඒ ගොල්ලන්ගේ කලින් දක්ෂතා සහ කීර්තිනාමය ගැන සලකා බලන්න වෙනවා.

      කොන්ත්‍රාත් කරුවකු තෝරාගැනීම පිලිඹදව ඉදිරියේදී මම වැඩිපුර විස්තර කථාකරන්නම්. වැඩිදුර විස්තර පෞද්ගලිකව අවශ්‍යනම් මේසන්බාස්ගේ විද්‍යුත් ලිපිනයට ඊයක් විදින්න.

      Delete
  4. මටත් මෙය ඉතා වැදගත් ලිපියක්. මම ගාල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් ඉන්නෙ. මට මේ වර්ගයේ ගල් 500ක් පමන ලබාගත හැක්කේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. හිතවත් අමිල,

      ඔන්න උත්තරේ සුමිත් දිලා තියෙනවා.
      අපිත් එක්ක දිගටම රැදෙන්න.

      Delete
  5. ෴ තමාම නිශ්පාදනය නොකර පස්ගල් මිලදී ගන්නේනම්-අමතර තොරතුරු ටිකක්෴
    පස් ගලෙන් බිත්ති බැන්දම ඉක්මනින් වහලේ ගහන්න ඕන. නැත්නම් තෙමුනොත් ගල්වල ඇල්ගී හැදෙනවා.
    ගල පිටතින් කපරාරු නොකළත් ඇතුළත කපරාරු කළේ නැත්නම් පරාවර්තන ආලෝකය අඩු වෙනවා. හොඳින් ආලෝකය ලැබෙන තැනකනම් නිවස ඉදිවෙන්නෙ ගැටළුවක් නෑ.
    මෙමගින් බිත්ති බැඳීමේදී වර්ග අඩියක් ආවරණය කරන්න ගල් 3ක් අවශ්‍යයි.එක් ගලක් ආසන්න වශයෙන් රු.33-40 අතර වෙනවා. දුර අනුව ප්‍රවාහනය නොමිලේ ලැබෙන අවස්ථාත් තිබෙනවා.
    ඉදිකිරීම් උපදෙස් නිශ්පාදකයින්ගෙන් ලබාගත හැක.
    වයරින් කිරීමේදි සහ ජලනල එලීමේදී කොන්ඩියුට් බට හා පී.වී.සී බට දැමීමට අවශ්‍ය සිදුරු ගලෙහි ඇති නිසා පසුව සිදුරු කිරීම අවශ්‍ය නොවේ.

    වෙළඳ නාම කිහිපයක් යටතේ පස්ගල් නිශ්පාදනය කෙරේ.
    (ටෙරා බ්‍රික්ස්- 011 472 3434-0772674378)
    (කොම්ප්‍රෙසෝ බ්‍රික්ස්-011 3151557-077 2204778-071 7777757 ෆැක්ටරිය බුලත්සිංහල)

    මෙම කොමෙන්ටුව දැම්මෙ ඌන පුර්ණයක් විදියට(වැරැද්දක්ද මන්ද කළේ)

    ReplyDelete
    Replies
    1. හිතවත් සුමිත්,

      ඌණපූර්ණයට බොහෝම ස්තුතියි. ඒ වගේම එවැනිදේ ඕනෑම මොහොතක බොහෝම ගෞරවයෙන් වගේම උනන්දුවෙන් බාරගන්නවා. දැනුම බෙදාහදාගැනීමේ වේදිකාවක් බවට මේ බ්ලොග් එකත් පත්වේනම් ඒක කොච්චර දෙයක්ද.

      Delete
  6. මටත් මෙය ඉතා වැදගත් ලිපියක්, පස්ගල් වලින් නිමකළ ගොඩනැගිල්ලක් මම නර්ඩ් මධ්‍යස්ථානයෙදී දුටුවා ඈතුළත ඉතාමත් සිසිල්බව මට මානව පසක් වුවා. පස්ගල් වලින් නිවස නිමකිරීමට සිත සිටි මට මෙය කදිම තල්ලුවක්. එ වගේම ඔබේ නොමසුරු වටිනා උපදෙස් එ සදහා බලාපොරොත්තු වෙමි. ස්තුතියි!!!.

    ReplyDelete
    Replies
    1. ගිහාන්,

      //පස්ගල් වලින් නිවස නිමකිරීමට සිත සිටි මට මෙය කදිම තල්ලුවක්. එ වගේම ඔබේ නොමසුරු වටිනා උපදෙස් එ සදහා බලාපොරොත්තු වෙමි.//

      අනිවා...

      දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  7. මට ඕන තැනට හිමින් හිමින් එනව වගේ දැනෙනව මේ ලිපියට ගොඩක් ස්තුතියි තව ගොඩක් කාරනා දැනගන්න තියනව මේ ගඩොල් පිටත බිත්ති සඳහා බාවිතා කරන්න හොඳ නැද්ද කොන්ක්‍රීට් කනු බාවිතා කරන්නෙ වහලයේ බර දරා ගැනීම සඳහාද.......අවසාන වශයෙන් සියලු දෙනාටම..... සුබ අලුත් අවුරුද්දක් වෙවා........

    ReplyDelete
    Replies
    1. කවිඳු,

      //මේ ගඩොල් පිටත බිත්ති සඳහා බාවිතා කරන්න හොඳ නැද්ද //
      අපොයි ඇතුල පිට ඕනම තැනකට ඔට්ටුයි. හැබැයි සම්පුර්ණයෙන්ම තෙමෙන බිත්තියක් (Blind wall) සදහා යොදාගැනීම ගැන නම් පුංචි ගැටළු තියෙනවා.

      //කොන්ක්‍රීට් කනු බාවිතා කරන්නෙ වහලයේ බර දරා ගැනීම සඳහාද.//
      නැහැ. මහල් නිවාසයකදී ඉහල මහලෙහි බර දරාගැනීමටයි. තනි තට්ටුවේ ගෙවල් වලදී පස්ගල් බිත්ති සදහා කනු අවශ්‍ය නැහැ.

      Delete
  8. thanks saho api balagana innawa meelanga postuwa danakam

    ReplyDelete
    Replies
    1. හිතවත් කුමාර,

      උනන්දුකිරීම ගැන ස්තුතියි.
      කොහෙද අවුරුදු දවස් ටිකේම වෛරස් උණක් හැදුනා නොවැ. ඒකෙන් වැඩ කටයුතු සේරම අතපසු වුණා. ඒත් කොහොමහරි මීලඟ පෝස්ටුව ඉතා ඉක්මනින් දෙන්නම්.

      Delete
  9. kaparaaru krama gena podi danuwath kireemak karanna puluwanda ?

    adu wiyadamin kaparaaru karana krama wagee deewall thiyanawada ? hunu hera... wena

    materials ... ect

    ReplyDelete
    Replies
    1. තියෙනවා, තියෙනවා...,

      හුණු වෙනුවට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් රසායනද්‍රව්‍ය බොහොමයක් තියෙනවා. නිදසුනක් දක්වතොත් Febmix Plus කියන්නේ එවැන්නක ජනප්‍රිය වෙලද නාමයක්. මේගැන වැඩිවිස්තර මම ඉදිරි පෝස්‍ටුවකින් ලබාදෙන්නම්කෝ

      Delete
    2. මොහොම පින් මේ දැනුවත් කිරීම ගැන බලපොරෝතුවෙන් ඉන්නේ .......

      Delete
  10. නොදන්නා කරුණු රැසක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැ‍‍දෙන්න

      Delete
  11. අපිත් මේ ගඩොල් නිශ්පාදනය කරනවා.මේ ගැන ගොඩක් අය දන්නේ නෑ. මේ වගේ පොස්ට් එකක් දාල තින 1 ගොඩක් වටිනවා...!
    ගඩොල් අවශය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න...
    Darshana -0770299936
    Kegalle

    ReplyDelete
  12. Valuable post.. Many Thanks..!!

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....