Tuesday, January 17, 2012

NERD Economical Buildings - මොකද්ද මේ නර්ඩ් අඩුවියදම් නිවාසයක් කියන්නේ



අඩුවියදම් නිවාස, මේක ජනමාධ්‍ය තුල නිරතුරු කථාබහට ලක්වන; නිවසක් ඉදිකිරීමේ සිහින දකින කාගේත් උනන්දුව වඩවන; ඒත් දැනගියොත් කතරගම් යන නොදැන ගියවුන් අතරමං වන; කෙනෙකුට රසවත් වගේම තවකෙකුට බොහෝ අමිහිරි අත්දැකීම් සිහිගන්වන මාතෘකාවක්. අපේ රටේ නිවාස ඉදිකිරීම් හා සම්බන්ද අඩුවියදම් ඉදිකිරීම් ක්‍රමවේද ගනණාවක් තිබුනත් එයින් ඵලදායී ක්‍රමවේද තියෙන්නේ කිහිපයක් පමණයි. මම කලින් ලිපියක කීවා වගේම මගේ අභිලාශය මේක වැඩි කැමැත්තකින් තොරව කියවන ඔයාලට, අමිහිරි තාක්ෂණික කරුණු ගොන්නක් ඉගැන්වීම නොවී තාක්ෂණය ඵලදායී ලෙස භාවිතාකිරීමට හැකිවනසේ සුදුසු මාර්ගයක් පෙන්වීම පමණක් වන නිසා රටේ ජනප්‍රිය ඒ ඒ ක්‍රමවේදය පිලිඹදව පක්ෂග්‍රාහී නොවන විග්‍රහයක් ඉදිරිපත් කිරීමත්, ඒ ඒ ක්‍රමවේදය හදුන්වා දෙමින් වාසි අවාසි සාකච්ඡා කිරීමත් මේ ලිපි පෙලෙහි අරමුණ වෙනවා.

අපේ රටේ අඩුවියදම් ඉදිකිරීම් ගැන කථාකරත්දී මුලින්ම සලකාබැලිය යුතු ක්‍රමවේදයක් තමයි නර්ඩ් අඩුවියදම් නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කියලා කියන්නේ. මේ තාක්ෂණයේදී සම්ප්‍රදායික ඉදිකිරීමක වියදමින් 30% කට නොඅඩු ඉතිරියක් සිදුවන බව තමයි කියැවෙන්නේ.  සාධාරණ ගණනය කිරීමකදී වෙලදපලේ දැනට ඇති වඩාත්ම පිරිමැසුම්දායක නූතන ඉදිකිරීම් ක්‍රමය විදිහට මෙය හදුන්වන්න පුළුවන්. බොහෝවෙලාවට අළුත් දෙයක් පිලිගන්න හුගක් අය මැලිවෙන්නේ "අය්යෝ... දැනට හොදට තිබුනට පහුකාලයේදී මොනවා වේවිද දන්නේ නැහැ කියලානේ.  ඒත් මේ තාක්ෂණය හදුන්වා දීලා දැනට අවුරුදු 30 ක් පමණ වන නිසා, තාක්ෂණයේ කාල පරික්ෂාව පිලිඹදවත් ගැටළුවක් ඇතිවන්නේ නැහැ (Time Tested). ඇරත් නර්ඩ් කියන්නේ රජයේ ආයතනයක්. ඉතින් ඒනිසා මේ තාක්ෂණයනම්, ආයතනයට ලාභ ඉපැයීම පෙරිදැරිකර නොගත් තාක්ෂණයක්ය කියලා බය නැතිව හදුන්වලා දෙන්න පුළුවන්. 

නර්ඩ් ආයතනය ගැන බොහොමයක් විස්තර අපේ කලින් ලිපියක පලවුණා. ඒගැන වැඩිපුර දැනගන්න අවශ්‍යනම් මෙතන කොටන්න.


සමස්ථයක් විදිහට ගත්තහම නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය ඉතා අඩු යෙදවුම් ප්‍රමාණයකින් උපරිම ශක්තිය උපයාදෙන ආකාරයෙන් නිර්ම‍ාණය කරන ලද්දක්.  එතෙක් කාර්මික ඉදිකිරීම් සදහා පමණක් යොදාගැනුණු පෙර ආතතීකරණය කරනලද (Pre stressed) කොන්ක්‍රීට් ව්‍යුහයන් මෙම තාක්ෂණය යටතේ ගෘහස්තමය ඉදිකිරීම් සදහා ඉතා ඵලදායක ලෙස යොදාගනු ලබනවා. එහිදී දැව භාවිතය අවම වීමත්, වඩා සුලභ සහ ලාභදායී අමුද්‍රව්‍ය මත පදනම් වීමත්, පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය සාපේක්ෂව අඩුවීමත්, අඩුකාලයකින් ඉදිකිරීම් කටයුතු සිදුකලහැකි වීමත්, කො‍ටස් කොටස් වශයෙන් ඉදිකලහැකිවීමත් (කොන්ක්‍රිට් තට්ටුව පවා ) වාසි විදිහ‍ට සදහන්කරන්න පුළුවන්.


මී‍ට අමතරව නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය “ලොස්කොන්“ තාක්ෂණයක් කියලාත් හදුන්වන්න පුළුවන්. “ලොස්කොන්“ කියන්නේ වැලි භාවිතය අවමව කෙරෙන ඉදිකිරීම් ක්‍රමවේදයන්ටයි. (Low Sand Consumption Construction Method). ඒ අනුව මේ වනවිට ඉදිකිරීම් කර්මාන්තයට තදින්ම බලපා තිබෙන වැලි අර්බුදයටත් නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය යම්තාක් දුරකට විසදුමක් විදිහට සලකන්න පුළුවන්.

පෝස්ටුව දිග වැඩිවුනොත් කියවීම එපාම වෙන නිසා නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය ගැන සාරාංශයකට පමණක් මේ ලිපිය සීමා වෙනවා. වැඩි විස්තර එකින් එක ඉදිරි ලිපි වලින් ගෙන එන්නම්. එතෙක් ඔබ සැමට සුබ දවසක්.

12 comments:

  1. කියමු කියමු දිගටම කියාගෙනම යමු...

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීම ගැන ස්තුතියි.

      යාපනේ මාර චාරිකාව මමත් ආසාවෙන් කියවනවා.

      Delete
  2. නියම දැනුවත් කිරීමක්...

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීම ගැන බොහෝම ස්තුතියි රාජ්,

      අඩුපාඩු වෙතොත් පෙන්නාදෙන්න. මොකද බ්ලොග්කරණයට මම බොහෝම ආධුනිකයි.

      Delete
  3. ස්තුතියි!
    සහෝ නර්ඩ් එකේද වැඩ.......

    ReplyDelete
    Replies
    1. හිතවත් හරී,

      මේකට උත්තරය ඔව් කියල කියන්නත් බෑ, නෑ කියල කියන්නත් බෑ.
      ඒත් ප්‍රශ්ණයට උත්තරයක් දෙන්නත් එපායෑ. මෙහෙම කරමු. උසස් අධ්‍යාපනයේ එක් අදියරකදී නර්ඩ් ආයතනයතුල පුහුණුකාලයක් සම්පූර්ණකලාය කියලා විතරක් කියන්නම්.

      Delete
  4. ගොඩක් දෙනා මේ ගැන දැනුවත් නෑ!
    දිගටම මේ ගැන දැනුවත් කරන්න !හැමෝටම වැදගත් වෙයි!:)

    ReplyDelete
  5. මට මේ ලිපි ඔක්කොම කියවන්න ඕන..මමත් හීන නිවහනක් හදන්න හීන දකින කෙනෙක්..කියවලම කමෙන්ට් කරන්නම් :)

    ReplyDelete
    Replies
    1. සිත්රූ සිහින,

      මේ ලිපි පෙල අනිවාර්යයෙන්ම වැදගත් වේවි. අපිත් එක්ක දිගටම රැදෙන්න.

      Delete
  6. වටිනා ලිපි ගොන්නක්ම තියෙනවා...

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....