Monday, November 5, 2012

කොන්ක්‍රීටයක ශක්තිය රැකගැනීම හා සම්බන්ධ ගුරුහරුකම් (කොන්ක්‍රීට් 3)



අළුත් පෝස්ටුවක් එලිදක්වන්න සති 6කටත් වැඩිකාලයක් ගතවීම පිලිබඳව හැමදාමත් වගේ මෙම බ්ලොග් සටහනෙන් ඉදිරිපත්කෙරෙන නීරස තාක්ෂණික කාරණා; අපහසුවෙන් වුනත් කියවාදමන, හිතමිතුරු ඔබ සැමගෙන් මේසන්බාස් සමාව ඉල් සිටිනවා. පසුගිය කාලය වැඩ අධිකවීමත්, වයසට ගියත් පුංචිපහේ අධ්‍යාපනික කටයුත්තකට කාලය යොදවන්න සිද්ධවීමත් ඒකට නිදහසට කරුණුවිදිහට දක්වන්න පුළුවන්. අනෙත් අතට ඒක අපේ පුරුද්ද නොවැ. ජීවි‍ මොනයම්හෝ දවසක, කවරහෝ ඉදිකිරීමක් කරවාගත්ත කෙනෙක් දන්නවානොවැ මේසන්බාස්ලා තරම් නිදහසට කරුණු දක්වන්න සමත් පිරිසක් මේ සක්වලේම නැහැ කියලා.

මේසන්බාස්ගේ පසුගිය ලිපිය වෙන්වුයේ, නිවාස ඉදිකිරීමේදී හැමෝටම වැදගත්වෙන කොන්ක්‍රීට් හා සම්බන්ධ තාක්ෂණික කාරණා කිහිපයක් විස්තරකිරීමට බව තවමත් ඔබට අමතක නැතිව ඇති. ඒ විස්තරය වැඩිදුරටත් මතක්කරගන්න කැමති කෙනෙකුට මෙම සබැඳියාව ඒ සඳහා භාවිතාකරන්න පුළුවන් ඔන්න.

කොන්ක්‍රීට් දැමීමට සූදානම් කරමින්

පසුගිය පෝස්ටු‍වෙන් විස්තරකෙරුණ තාක්ෂණික කාරණා සම්බන්දව වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලමින් මාවෙත විද්‍යුත් පණිවිඩ රැසක් ලැබුන නිසා, මහල් නිවාස සදහා කොන්ක්‍රිට් තලය (Concrete floor slab) ගැන කථාකරන්නට පළමුව, තවදුරටත් අමතර තාක්ෂණික කාරණා ටිකක්ගැන ඔබගේ දැනුම පුළුල්කරන්නට හිතුවා.

 “ඔබේ නිවස ඉදිකිරීමේදී අවශ්‍ය සියළු සම්පත් නිසිපරිදි සපයනු ලැබූවත්, කොන්ක්‍රීටයක් එය ලබාගතයුතු උපරිම ශක්තිය අත්කර නොගැනීමට වැඩිඉඩක් පවතී” යන ප්‍රකාශය තමයි අද දවසේ අපගේ සාකචඡාවට බදුන්වන්. ඒ අනුව කොන්ක්‍රීටයක ශක්තිය හා සම්බන්ධවන කාරණා 4ක් අද අපගේ කතාබහට ලක්වෙනවා. ඉංග්‍රිසි සී අක්ෂරයෙන් ආරම්භවන නිසාවෙන් සී4 නීති (4C Rules) විදිහටත් හදුන්වනුලබන මේවාගැන යම්පමණකින්හෝ අවබෝධයක් ලබාතිබීම, අනාගතේ නිවසක් තැනීමට බලාොත්තුවෙන කෙනෙකුටනම් කිසිේත්ම අපතේ යනඑකක්නම් වෙයි. 

4C Rules
1.     Composition - සංයුතිය
2.     Compaction - සුසංහසනය
3.     Cover - වැස්ම
4.     Curing - පදම්කිරීම

මෙයින් සංයුතිය සහ සුසංහසනය‍ට අදාල බොහෝ කරුණු කාරණා පසුගිය ලිපියෙන් අපගේ සාකච්ඡාවට බදුන්වූබව ඔබට මතකඇති. ඒ නිසා ඉදිරි ලිපිසදහා අපගේ අවධානය, වැස්ම සහ පදම්කිරීම යන කාරණා වලට සීමාකරන්නට හිතුවා. ඒ වගේම මෙම ලිපිය කියවන බොහොමයක් දෙනා සිවිල් ඉංජිනේරු විෂය සම්බන්ධව අඩු දැනුමැත්තන්ය යන උපකල්පනයේ පිහිටා, ඉතා සරලව මතුපිටින් පමණක් මේවා විස්තර කෙරෙනබවත් මතක්කරන්න කැමතියි. වැඩි විස්තර අවශ්‍ය අයට කොමෙන්ටුවකින් පොදුවේත්, විද්‍යුත් තැපෑලෙන් පෞද්ගලිකවත් ඒ ගැන විමසාසිටින්න අවස්ථාවත් සලසලා තියෙනවා ඔන්න.

වෙනත් රටවල භාවිතාවන විවිධ හැඩ වැසුම්කැට

මොකද්ද මේ “වැස්ම” (Cover)කියන්නේ. නමේ තේරුම පරිද්දෙන්ම මේකත් කිසියම් ආකාරයක ආවරණයක් තමයි. කොන්ක්‍රීට් ව්‍යුහයක අඩංගුවන වැරගැන්නුම් (කම්බි) සහ එහි බාහිර පෘෂ්ඨය(පරිසරය) අතර පැවතියහැකි අවම සම්මත දුරප්‍රමාණය එහි වැස්ම විදිහට හදුන්වන්න පුඵවන්. මෙය ඒ ඒ ව්‍යුහයෙහි ස්වභාවයත්, එහි ස්වරූපය සහ කාරියභාරයත්, එය පවතින පරිසරයත් ආදී සාධක බොහෝගනනක් මත රඳපවතිනව. සාමාන්‍ය තත්ව යටතේ ඉදිකරනුලබන නිවසක, වායව එහෙමත් නැතිනම් පොලව මට්ටමින් ඉහල ව්‍යුහයන් සඳහ වැස්ම 1” ලෙසත්, අත්තිවාරම් ආදි භූගත ව්‍යුහයන් සඳහ වැස්ම 11/2” ලෙසත් පවත්වාගැනීම වරදක් නැහැ. එහෙත් කිසියම් ඉදිකිරීමක් සඳහා ව්‍යුහාත්මක සැලැස්මක් සකස්කොටගෙන තිබේනම්, එහි සදහන්වන ප්‍රමාණයන් වැස්ම වශයෙන් උපයෝගීකරගත යුතුවනවා.

වැසුම්කැට තබනලද ‍වැරගැන්නුම් පෙලක්

කොහොමද ඔය කියන වැස්ම කොන්ක්‍රීටයක ශක්තියට දායක වෙන්නේ ?.
ඒක මම මේ විදිහට ‍පැහැදිලි කරන්නම්.

කොන්ක්‍රීටයක් ස්වභාවිකවම වැඩි සම්පඩන ශක්තියක් (තෙරපීමට ඔ‍ත්තුදීමේ හැකියාවක්) දරනවා.  එහෙත් එය සතුවන්නේ සාපේක්ෂව ඉතා අඩු ආතතික ශක්තියක් (ඇදීමට ඔ‍ත්තුදීමේ හැකියාවක්) පමණයි. සාධාරණ කොන්ක්‍රීට් ව්‍යුහයකට,  සම්පඩන ආතතික යන දෙවර්ගයේම බලයන්ට ලක්වීමට සිදුවන නිසා, කොන්ක්‍රීටයෙහි ආතතික ශක්තිය වැඩිකරලීම උදෙසා වැරගැන්නුම් (Reinforcement) එකතුකරනු ලබනවා. කිසියම් කොන්ක්‍රීටයක අභ්‍යන්තරය තුල පිහිටවනු ලබන යකඩ කම්බි, මෙලෙසින් යොදාගනු ලබන ජනප්‍රියම වැරගැන්නුම්  විශේෂයයි.

මෙසේ යොදනුලබන යකඩ කම්බි මළකමෙන් වලක්වාගැනීමටනම්  ඒවා බාහිර පරිසරයෙන් වෙන්කර තබාගත යුතුවෙයි. ඒ වගේම කම්බියක ශක්තිය කොන්ක්‍රීටයට ලබාගැනීමටනම් එම කම්බිය කොන්ක්‍රීටයට නිසිපරිදි සවිවීම (grip) අවශ්‍ය වෙයි. ඒ සදහා  එම කම්බිය වටා යම් කොන්ක්‍රීට් ප්‍රමාණයක් පැවතිය යුතුබවත් ඔබට වැටහෙනවා ඇති. මේ අනුව නිවාස වැනි කාර්මිොවන ඉදිකිරීමකදී, පොලව මට්ටමින් ඉහල ව්‍යුහය G20 කොන්ක්‍රීටයක් සඳහා යෝජනාකලහැකි වඩා සාධාරණ ඉඩප්‍රමාණය එහෙමත් නැතිනම් වැස්ම,  1”ක් ලෙස සලකන්න පුළුවන්.

වෘත්තාකාර ව්‍යුහයකට වැසුම්කැට යෙදීම

 ඉතිං ඇයි ඕකට අඟලක්ම තියන්නේ. වැඩිපුරත් එක්ක 2”ක්ම තිබ්බොත් මොකද වෙන්නේ ?

මේකට උත්තරේ මම කලින්ම දුන්නා. කම්බි යොදන්නේ ආතතික ශක්තිය වැඩිදියුණු කරන්න. ඉතිං ඒ අනුව කම්බි ස්ථානගත වෙන්න ඕනත් වැඩිම ආතතික බලයන්ට ලක්වන ස්ථනයන්වලයි. සාමාන්‍යයෙන් කිසියම් ව්‍යුහයක මෙවන් බලයන්හි උපරිම ක්‍රියාකාරිත්වය එහි බාහිර පෘෂ්ඨයට ඉතාම ආසන්නව ක්‍රියාත්මක වෙනව.

ඒඅනුව වැඩිපුර ප්‍රමාණයක් වැස්මක් පැවතීම යනු යම් ව්‍යුහයක සක්‍රිය හරස්කඩ අඩුකරගැනීමකට සමාන කරන්න පුඵවන්. වෙනත් විදිහකින් කිව්වොත් 2” වැස්ම සහිතව ඔබ සකස්කරගන්නා 9”x9” කොන්ක්‍රීට් බීම් එකක් ක්‍රියාකරන්නේ 1” වැස්ම සහිත 8”x8”  ප්‍රමාණයේ බීම් එකක් විදිහටයි කියලා  ඔබ සැලකුවාට මහා වරදක් නැහැ.

අවාසනාවකට වගේ බොහොමයක් පෙදරේරු මහතුන් වැඩිපහසුව සලකා, වායව කොටස් සදහාත් 11/2” ක හෝ එයටත් වඩාවැඩි ප්‍රමාණයක වැස්මක් යොදාගනු ලබනවා දකින්න පුඵවන්. ඒවගේම එමගින් කම්බි පිටතට නිරාවරණය වීමට ඇති අවස්ථාව අඩුකෙරෙන නිසා වැඩෙහි නිමාව පිලිබදව ගනුදෙනුකරුගේ අපවාද වලට ලක්වෙන්න ඇති ඉඩකඩත් එයින් ඇහිරෙනවා නොවැ. ඒත් එය නිවැරදි නොවන බවත් එහෙම කලොත් කොන්ක්‍රීටයෙහි ශක්තිය අඩුවනබවත් මේවනවිට ඔබට පැහැදිලිවෙන්න ඕන.

වැසුම්කැට නිවැරදිව යොදාගැනීම


වැඩබිමේද නිවැරදි ප්‍රමාණයට වැස්ම පවත්වාගන්නේ කෙසේද ?

මේකට නිවැරදිම ක්‍රමවේදය වැසුම්කැට(Cover blocks)  භාවිතා කිරීමයි. වැසුම්කැට යනු  1:2 සිමෙන්ති වැලි බදාමයකින් අවශ්‍ය වැස්මෙහි ඝණකම සහිතව, කපාගනු ලබන 2”x2”  ප්‍රමාණයෙහි අඵවාකෑලි ආකාරයේ කැට විශේෂයක්. අවශ්‍යනම් බදාමය සවිවීමට පලමුව එහි මැදින් බැඳුම් කම්බි කැබැල්ලක් සවිකරගැනීමද කරන්න පුළුවන්. වැඩිදුරටත් කියනවානම් මේක හරියට කෘෂිකර්මාන්තයෙදී යොදාගැනෙන ඩැපොග් තවානක් වගෙයි ඔන්න.

අපේ රටේ බහුලව යොදාගැනෙන වැසුම්කැටයක්


මේ සියළු කාරණා අනුව කොන්ක්‍රීටයක ශක්තියට එහි වැරගැන්නුම්/කම්බි නිසි පරිදි ස්ථානගතවීම, එහෙමත් නැතිනම් වැස්ම කොයිතරම් වැදගත්වේදැයි ඔබට පැහැදිලි වියයුතුයි. මෙයට අමතරව යම් ොන්ක්‍රීට් ව්‍යුහය ගින්න‍ට ඔොත්තුදීේ හැකියාවද වැස්මෙන් තීරණයවන නිසා,  ඔබේ පෙදරේරු මහතාට නිවැරදි පිලිවෙලට වැසුම්කැට (Cover blocks) භාවිතා කරනලෙස උපදෙස් දීමෙන් වැලකීසිටින්නටනම් දැන් ඔබට හැකියාවක් නැතිේවි.

50 comments:

  1. mamath wedak karala mason basla gena hondata igenagaththa.me dana lipi nam maru mason baslawa passa pathe bandagena wedea karanna puluwan. hugak dewal igena gaththa thawa igena ganna ona. thawa danna. THANKS!!

    ReplyDelete
    Replies
    1. ඇනා 1,

      දිරිමත් කිරීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැඳෙන්න.

      Delete
  2. foundation දාල tie beam එකක් දැමීම අනිවාර්ය ද ?

    ReplyDelete
    Replies
    1. මෙතනත් අදහසක් කියන්න කැමතියි, සමාවෙන්න ඕන මේසන් බාස් උන්නැහේ.

      දැන් ඉන්න බාස්ල...අත්තිවාරම් බඳින්න හරි අකමැතියි..යන්තම් අත්තිවාරම් කානු හාරා( 9"පමන) පොලවෙන් උඩත් 9" පමන කලුගල් බැඳ ඊටපස්සෙ ඒ මත බීම් එකක් දමයි.
      ඇත්ත වශයෙන්ම හැම තැනටම එලෙස අවශ්‍යනොවුනත් බාස්ලාගේ උවමනාවට, හා අයිතිකරුවන් අත්තිවාරම් හාරන්නට අකමැති නිසා තමයි මෙහෙම දෙයක් වෙලා තියෙන්නෙ.ඉස්සර කාලෙ ගෙවල් වල බීම් දාල නැහැ හැබැයි පොලව යටට හොදට කපල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.
      මීටවඩා පෙදරේරු උන්නැහේ කරුනු පහදයි මම හිතන්නෙ.

      Delete
    2. මගේ ඉඩමේ ගොඩක් වැලි සහිතයි අඩ් 2 ක් යට කපල අඩ් හතරක් උඩ බැන්ද ට පස්සෙත් බීම් දාන්න ඕනද ?

      Delete
    3. වි පොකුරට,

      අපි මේ කරන්නේ දැනුම බෙදාහදාගැනීමක් නොවැ. ඉතින් ක්‍ෂේත්‍ර යේ සක්‍රියව වැඩකරනඅය මේකට වැඩිපුර අදහස් දක්වනවාය කියන්නේ වඩා වැඩි දැනුමක් ලබාගැනීමේ අවස්ථාව, මේ ලිපි කියවන හිතවතුන්ට ලැබෙනවා කියන එකයි.

      ඉතිං ඒ නිසා ඔබේ අදහස්දැක්වීම හැමවිටම මහත්සේ අගයකරනබව මතක්කරන්න ඕන.

      Delete
    4. සුනෙත්,

      වි පොකුර මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. මමත් එයට ඌණ පුරණයක් කරන්නම්.

      වි පොකුර කිව්වා වාගේ ඉස්සර කාලේ අත්තිවාරම් බැම්මේ මුළුඋස වැඩිනිසා tie beam එකක් දැමීම අවශ්‍යවුනේ නැහැ. ඒත් අද තත්වය එයට වඩා වෙනස්. අමුද්‍රව්‍ය සහ ශ්‍රමය යන සියල්ලම මුදලට ලබාගැනීමට සිදුවන නිසා හැකිතාක් ඒවා වැයවීම අවම කරගන්නට සිදුවෙලා. මේ නිසා විවිධ අත්තිවාරම් වර්ග භාවිතයට එක්වෙලා.

      අද බහුලව භාවිතාවන ක්‍රමවේදයන්ට අනුව tie beam එකක් දැමීම නිර්දේශ කරනවා. ඒත් තනිතට්ටුවේ ගෙයකටනම් බොහෝවිට ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒත් ඔබට තාක්ෂණික නිලධාරියකුගේ සහයක් නැතිනම්, අනවශ්‍ය අවදානමක් ගැනීමට නොයා tie beam එකක් දැමීම හොදබවයි කියන්න තියෙන්නේ.

      කොහොමටත් මේසන්බාසුන්නැහැලා tie beam එකක් දැමීමට බොහොම කැමතියි. මොකද ඒක ඒඅයට පහසුවෙන් වැඩිපුර කීයක්හරි හොයාගන්න පුළුවන්වන අයිතමයක් නිසයි.

      Delete
    5. සුනෙත්,

      දෙවෙනි කොමෙන්ටුව ගැන මතක්වුනේ දැන්..,

      “මගේ ඉඩමේ ගොඩක් වැලි සහිතයි අඩ් 2 ක් යට කපල අඩ් හතරක් උඩ බැන්ද ට පස්සෙත් බීම් දාන්න ඕනද ?“

      සුනෙත් හදන්නේ තනි තට්ටුවේ ගෙයක්ද නැතිනම් දෙමහල් නිවසක්ද යනඑක කියලා නැතිඑක අඩුවක්. ඒවගේම පස වැලි සහිතය කිව්වාට වැලි ප්‍රතිශතය කොපමණද කියන එකත්, භූමිය පිහිටි පසක්ද නැතිනම් පසුව පුරවනලද එකක්ද, එහි ජල තලය (වතුර රැදෙන මට්ටම) කොච්චර යටින්ද ඇත්තේ කියන එකත්,ඒවගේම වැලිතට්ටුවට යටින් තියෙන්නේ මොනවාද කියනඑක මතත් මේ උත්තරය වෙනස් වෙනවා.

      කොහොම වුනත් බොහෝඅවස්ථාවන්හි වැලි සහිත පසක් වඩා ස්ථාවර සහ විශ්වාසනීය එකක් වෙනවා. ඒ නිසා ඔබේනිවස තනිතට්ටුවේ එකක්නම් සහ ඉහත සියළු සාධක යහපත් ඒවානම් tie beam එකක් දැමීම අවශ්‍ය නොවනබව කියන්න පුළුවන්. ඒත් තීරණයක් ගැනීම සඳහා ඔබගේ සැලැස්ම සකස්කරනලද තාක්ෂණික ශිල්පියාගේ සහායද ලබාගන්න පුළුවන්නම් තමයි වඩාත්ම හොද.

      Delete
    6. බොහොම ස්තුතී ....|!!

      Delete
  3. ane ape ge hadana kota Cover blocks damme nane.Two- storied nisa awlak nadda?
    thanks for this post.
    Chandima

    ReplyDelete
    Replies
    1. ඇනා 2 / චන්දිම,

      Cover blocks භාවිතා කරන්නේ නිවැරදි පරිදි වැරගැන්නුම් කම්බි ස්ථානගත කරන්නයි. බොහොමයක් බාසුන්නැහැලා මේ වැඩේ ඒගොල්ලන්ගේ ක්‍රමවලට හිතේ මිම්මට කරන්නයන නිසා කොන්ක්‍රීටයකට ලැබියයුතු නියම ශක්තිය අත්කර නොගැනීම ගැනයි අපි කථාතලේ.

      ඔයාගේ ගේ දැන් හදලා ඉවරයිනේ. ගේ පිහිටලා තියෙන්නේ මුහුද ආසන්නයේ හෝ වතුර සහිත (වගුරු)බිමක නොවේනම් ලොකු බලපෑමක් නැහැ කියලා කියන්න පුළුවන්.

      Delete
  4. වැසුම් කැට කියන ඒවනං දැක්කෙ අදමයි.
    අපේ කට්ටිය ඔය ගලක් හරි තියල ඔය කම්බිටික උස්සනව මිසක් ඕව පාවිච්චි කරනව දැකල නෑ.

    ReplyDelete
    Replies
    1. “අපේ කට්ටිය ඔය ගලක් හරි තියල ඔය කම්බිටික උස්සනව මිසක් ඕව පාවිච්චි කරනව දැකල නෑ.“

      හරියට හරි ප්‍රසන්න. සාමාන්‍ය භාවිතය ඕක තමයි. ඒත් එයින් නිවැරදි පරිදි වැරගැන්නුම් කම්බි ස්ථානගත කරන්න බැහැ. ඒනිසා කොන්ක්‍රීටයේ ශක්තියට සහ කල්පැවැත්මට බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

      Delete
  5. මමත් පටන් ගන්න යන්නේ ගෙයක් හදන්න. මේ කරැණු වැදගත්. ස්තුතියි වෙනද වගේම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රතී,

      දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  6. කාරනාවක් එකතුකරන්න කැමතියි.,
    වගුරු බිමක (කුඹුරක් වැනි) ඉදිකිරීමේදී වැලි පොලව දක්වා අතිවාරම් කනු දමන නිසා,
    මතුපිට පොලව දක්වා හෝ ආසන්නය දක්වා ජලය තිබේනම් කුලුනු වල කවරින් එක වැඩිකල යුතුය නේද..?

    ReplyDelete
    Replies
    1. වී පොකුර,

      “මතුපිට පොලව දක්වා හෝ ආසන්නය දක්වා ජලය තිබේනම් කුලුනු වල කවරින් එක වැඩිකල යුතුය නේද..?“

      මේ කාරණය මතුකලඑක හරිම වැදගත්.
      මෙවැනි අවස්ථාවක වැස්ම (කවරින් එක) වැඩිකිරීම අනිවාර්යයි. ඒ වගේම එවන් අවස්ථාවක ජලරෝධක ප්‍රතිකාරකයක් කොන්ක්‍රීටයට එක් කිරීමත්, කොන්ක්‍රීටය මනා තත්ව පාලනයකට යටත්ව නිර්මාණය කරගැනීමත් ඉතාම වැදගත්.

      තවත් කාරණයක් කියන්න ඕන.
      මෙවන් අවස්ථාවකදී වැස්ම (කවරින් එක) වැඩිකිරීම යනු ව්‍යුහයේ දිග පලල නොවෙනස්ව තබා වැරගැන්නුම් කම්බි ඇතුලින් යෙදිම නොව, කම්බි නියමිත පිහිටුමෙහි තබා ව්‍යුහයේ දිග පලල වැඩිකිරීම බව සිහිතබාගැනීම වැදගත්.

      Delete
  7. මටනං හීනෙන්වත් ගෙයක් හදන්න අදහසක් නෑ... නමුත් මේ ක්ෂේත්‍රය හරිම රසවත්. බාස් වැඩේ තෘප්තිමත් දෙයක්. ඒ නිසා හැමදාම කියවනවා... සති ගාණක් තිස්සෙ වෙන කොහෙ හරි බ්ලොග් එකක් ලිව්වවත්ද? ;-)

    ReplyDelete
    Replies
    1. Hare,

      ගෙයක් හදන්න අදහසක් නැතත් අපිත් එක්ක එකතුවෙලා ඉන්න එකත් කොච්චර දෙයක්ද ? ස්තුතියි දිරිමත් කිරීම ගැන.

      තවත් දෙයක්..,
      “සති ගාණක් තිස්සෙ වෙන කොහෙ හරි බ්ලොග් එකක් ලිව්වවත්ද? ;-)“
      ම්....,
      ඇයි මේ වගේ රටාවකට ලියවෙන වෙනත් ක්ෂේත්‍රයක බ්ලොග් එකක්වත් කොහේදිහරි දැක්කාද ?“

      Delete
    2. පොඩි විහිළුවක්... බාස් උන්නැහැල එක පාර තැන් දෙක තුනක වැඩ කරනවනේ... :-)

      Delete
    3. Hare,

      හා.. හා... ඇත්තම තමයි.
      ඉතිං මේ බාසුන්නැහැ විතරක් වෙනස්වෙන්නේ කොහොමෙයි,නේද ?

      Delete
  8. මම මේ දවස් වල ඉන්නේ ගේ හදන්න කලින් ඉන්කම් එක වැඩිකරගන්න සහ ණය ගන්න ක්‍රම හොය හොය... මේ ටිකේම මේක බලන්න බැරි වුණා .. මේකේ තියෙන කරුණුයි තව දන්න දන්න ඔක්කොමයි හරියට දැනගෙන තමා වැඩේට බහින්න ඕනේ.. මේක දිගටම ලියන්න බාසුන්නැහේ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      උනන්දු කිරීම ගැන බෙහෙවින් ස්තුතියි.
      ඔයා හරි...,
      දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග

      Delete
  9. සමහර මේසන් බාස්ලගේ කොන්ක්‍රීට් වැඩනම් කිසිම කමකට නෑ.

    අපි ලබාදෙන බීම් සැලැස්ම ඔවුන්ට ඕනැ හැටියට වෙනස්කරනවා. ඉහළ මහලේ බිත්තියක් යෙදෙන අවස්ථාවලත් සැලසුමේ පරිදි බීම් එකක් නොදා "දොලහෙ කම්බි දෙකක් දැම්මා" කියලා අත පිහිදාගන්නවා. ස්ලැබ් එක ඇතුලේ තියෙන 12 හේ කම්බි දෙකත් බීම් එකත් ක්‍රියාකරන්නෙ දෙයාකාරයකට බව ඔවුන්ට වටහා දෙන එක ඉතා අපහසුයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක්නැහැ සුමිත්..,
      ඔය කාරණා ගැන නම් මාසයක් කථාකරන්න ඇහැකි.

      බොහොමයක් බාසුන්නැහැලාට තියෙනවා තමන්ට ලැබිලා තියෙන සැලැස්ම වෙනස්කරලා සංතෝෂ වීමේ භයානක රෝගයක්. ඒකෙන් මෙම සැලසුම නිර්මාණය කරපු තාක්ෂණඥයාට වඩා තමන්ට දැනුම/අත්දැකීම් ඇතිබවට කමන්ගේ සේවාදායකයාට ඇඟවීමක් කිරීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ. ඉතින් සේවාදායකයා ඕකට අහුවුනොත් ඉතිං වැඩේට දෙය්යන්ගේම පිහිට තමා.

      Delete
  10. බොහොම ස්තුතියි . ඔබේ ලිපි කියවා ලොකු දැනුමක් ලැබුවා . ඉඳිකිරිම් වලදී කෙතරම් වැරදි භාවිතද ? අප අත්දැක ඇත්තේ. බාස් ලට කරන්න තේරෙන්නේ නෑ වගේම අපිට කියල දෙන්න තේරෙන්නේ නෑ .දැනුවත් කරන්න කෙනෙකුත් නෑ. ඔයවිදියටයි මෙතෙක් වැඩ ටික කෙරුනේ . අයියෝ ! සල්ලී !

    ReplyDelete
  11. බොහොම ස්තුතියි . ඔබේ ලිපි කියවා ලොකු දැනුමක් ලැබුවා . ඉඳිකිරිම් වලදී කෙතරම් වැරදි භාවිතද ? අප අත්දැක ඇත්තේ. බාස් ලට කරන්න තේරෙන්නේ නෑ වගේම අපිට කියල දෙන්න තේරෙන්නේ නෑ .දැනුවත් කරන්න කෙනෙකුත් නෑ. ඔයවිදියටයි මෙතෙක් වැඩ ටික කෙරුනේ . අයියෝ ! සල්ලී !

    ReplyDelete
    Replies
    1. චිත්‍රක,

      “අයියෝ ! සල්ලී !“

      ඔන්න ඕකට හැකිතාක් පිලියමක් යෙදීම තමයි මගේ බ්ලොග් කෙරුවාවේ අරමුණ වෙන්නේත්.

      මෙයට දශක කිහිපයකට කලින් ඉංජිනේරු සැලසුමක් සහිතව ගෙයක් ඉදිකලේ බොහෝම කලාතුරකින්.

      නමුත් අද 90% නිවාස සදහා ඉංජිනේරු සැලසුමක් සකස්කෙරෙනවා. එයින් කියැවෙන්නේ අපගේ ප්‍රමිතීන් ඉහලගොස් ඇතිබවයි. එහෙම වෙන්නේ අපේ භෞතික ජීවන තත්වයද යම් පමණකට ඉහල ගොස් ඇති නිසයි.

      ඒත් ඒ ඉහලගිය ප්‍රමිතීන්ට සෑහෙන ලෙසින් පෙදරේරුවන්ගේ ශිල්පීය නිපුණතා ඉහලගොස් තිබේද යන්න ගැටළුවක්.

      කොහොම වුනත් සැනසෙන්නත් කාරණයකුත් කියන්නම්.
      සියළු ව්‍යුහාත්මක සැලසුම්වල මේවගේ බාස්ලා අතින් වෙන්න පුළුවන් වැරදි (ශිල්පීය දුර්වලතා) සඳහාද යම් ඉඩක් වෙන්කරලා තියෙනවා. අපේ සමහර ගොඩනැගිලි කඩානොවැටී තවමත් තියෙන්නේ මේ විදහට වෙන්කෙරෙන Safety factor එකට පිංසිද්දවෙන්න තමයි.

      Delete
  12. මම කැමතී දැනගන්ට බාසුන්නහෑ කෙ නෙක් වෙන්ට නම් සාම්‍යෙයන් දැන ගත යුතු තාක්ෂනික කරුණු ටිකක්. ඒ කියන්නේ කොන්ක්‍රීට් මිශ්‍රන අන්පාත බදාම මිශ්‍රන අනුපාත බීම් කොලොම් මිශ්‍රන අනුපාත වගේම බීම්වල හා සැලැබ් වල දිග පලල වෙනස් වන විට වැරගැන්නුම් කම්බි සයිස් හා දිග පලල කොන්ක්‍රීට් එකේ වෙනස් විය යුතු විදිහේ වගේ දෙවල් ටිකක්. ස්තුති....

    ReplyDelete
  13. ගීත්,

    කොන්ක්‍රීට් මිශ්‍රන අනුපාත සඳහා පසුගිය පෝස්ටු කිහිපය බැළුවානම් අදහසක් ගන්න පුළුවන්. ඒවගේම මට මතක විදිහට බදාම මිශ්‍රන අනුපාත ඒ ඒ අයිතම සමග ඉදිරිපත්කලා. කපරාරු ගැනනම් අපි තවම කථාකලේ නැහැ.

    //බීම්වල හා සැලැබ් වල දිග පලල වෙනස් වන විට වැරගැන්නුම් කම්බි සයිස් හා දිග පලල කොන්ක්‍රීට් එකේ වෙනස් විය යුතු විදිහ//
    මේකනම් මේසන් බාසුන්නැහැ කෙනෙකුට කෙලින්ම කියන්න පුළුවන් දෙයක් නොවෙයි. සාධක ගනනාවක් විශ්ලේෂණයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙක් විසින් සැලසුම්කල යුත්තක්.

    ReplyDelete
    Replies
    1. අද තමයි සේරම කියවලා ඉවර උනේ ඕං..ඇත්ත නේන්නම් මට අවශ්‍යෙවලා තිබුන ගොඩක් විස්තර ලැබුනා...බොහොම ස්තුති බාස් උන්නැ හේ....

      Delete
  14. ස්තුතියි ලිපියට..

    ReplyDelete
  15. මම 17x14(දෙකේම එකතුව ) කඩ කාමර දෙකක් (පසුවට ස්ලැබ් එකක් දැමීමට අදහස් කර්මි )හදන්න පටන්ගත්තා. මේකට කනු 9ක් දාන්න කියල යාලුවෙක් කීව්වා.ඒත් බාස් කිව්ව කනු 6ක් ඇති කියල.ඉතින් කනු 6න් දැන් වැඩේ යනවා.අනික බේස් වලවල් 2.5x2.5 ව ගේ තමයි තිබුනේ.මේ ප්‍රමාණයන් හා කනු ගනන හරිද?..ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, සාමාන්‍ය කටයුතු සදහා යොදාගැනෙන දෙමහල් කඩ කාමරයකට, කණු 6න් සැදෙන Grid එකෙහි එක කොටුවක(Panel) ප්‍රමාණය අඩි 8.5 x 14 විදිහට සැලකුවොත් කණු 6ක් යෙදීම ගැටළුවක් නැහැ.

      ඒත් බේස් වලවල් 2.5x2.5 දමපුඑක තමයි ටිකක් ගැටළුසහගත. මොකද ඔයාගේ පොලවෙහි (පසෙහි) තත්වය අනුව ඒක වෙනස් වෙනවා. කොහොමටත් ව්‍යුහාත්මක සැලසුමක් සිදුකලේ නැතිනම්, 3.0 x 3.0 ප්‍රමාණයේ බේස් වලවල් යොදාගැනීම තමයි නිර්දේශ කරන්නේ.

      Delete
    2. මට හරිම සතුටුයි ඔබතුමාගේ ඉක්මන් පිලිතුරට.තවතවත් වැදගත් ලිපි ලියන්න.ස්තුතියි.ජයවේවා.

      Delete
  16. මගේ හදන ගෙදර බිත් ති අඩි 18 විතර උස තනි තට්ටුවේ එකක්... foundation අඩි 2ක් විතර යට දාල තියනවා..
    එතකොට tie beam දැමීම අත්‍යවශ්‍ය ම ද ? ( විවුර්ත සොල්දරයකුත් දාන්න හිතන් ඉන්නේ....)

    ReplyDelete
    Replies
    1. සන්ජීව,

      බිත්ති ගොඩක් උස නිසාත්, සොල්දරයක් ගහන්න හිතාගෙන ඉන්න නිසාත්, පොලවෙහි තත්වය ගැන විශේෂ සදහනක් නැති නිසාත්, tie beam එකක් දැමීම නිර්දේශ කරන්න කැමතියි.

      Delete
  17. මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....


    කියන එක දැක්කේ පස්සේ... :පී
    සුපිරි ම සුපිරි වැඩක් ඈ ... ත්මුබ්ස් අප් බ්‍රෝ ...!!

    ReplyDelete
  18. ඔබ තුමා කරන්නේ මහඟු කාර්‍යයක්,
    වගුරු බිම් වල බේස් වලවල් දානකොට බාස්ල සිමෙන්ති, වැලි, මෙටල්, මිශ්‍ර කරලා (වතුර නොයදා) වලවල් වලට දානවා ඉතින් මට දැනගන්න ඕනේ ඒ ක්‍රමය හරිද කියල. ඒ ක්‍රමය වැරදි නම් ඒ වගේ තැන වල කොහොමද කොන්ක්‍රීට් දාන්නේ

    ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. හිතවත් ran,

      ව්‍යුහාත්මක කොන්ක්‍රීටයකටනම් (ඒ කිව්වේ වැරගැන්නුම් කම්බි සහිත, ගොඩනැගිල්ලේ බර උසුලා සිටින කොටස්) මෙවැන්නක් කෙසේවත් අනුමත කරන්න බැහැ. මොකද එවනි කොන්ක්‍රීටයක් යනු සවීවීමේදී (වායු) සිදුරු රහිත ඝණ ව්‍යුහයක් වියයුතු නිසා. (කොන්ක්‍රීට් ගැන ලියවුන පෝස්ටු කියවන්නකෝ)

      හැබැයි බේස් වලක පතුලට යෙදෙන නිසරු කොන්ක්‍රීටය (Screed) සදහානම් ගෘහස්තමය ඉදිකිරීමකදී මෙවැනි සම්‍යක් ප්‍රයෝගයක් යොදාගත්තාට වරදක් කියන්න බැහැ.

      කොහොම වුනත් මෙවැනි අවස්ථාවකදී සිමෙන්ති සංයුතිය ඉහල කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතා කිරීමත්, අදාල බේස් වලවල් සියල්ලේ වතුර වෙනත් වලකට යොමුකර, පැය 4ක් වත් ගතවනතුරු ජලය ඉවත්කිරීමත් සිදුකරන්න පුළුවන්.

      කාර්මික ඉදිකිරීම් වලදී නම් වේගයෙන් සවිවන කොන්ක්‍රීට් භාවිතා කිරීමත්, පසෙහි ජල පාරගම්‍යතාව නැතිකරන රසායනද්‍රව්‍ය ඉසීමත් බහුලව දකින්න පුළුවන්.

      මේගැන විස්තර සහිත පෝස්ටුවක් ඉදිරීයේදී ලබාදෙන්නත් කටයුතු කරන්නම් කෝ.

      Delete
  19. ඔබ තුමාගේ ඉක්මන් ප්‍රතිචාරය බෙහෙවින් අගය කරන අතර ඒ පිළිබද ස්තුති වන්ත වෙමි.
    ''හැබැයි බේස් වලක පතුලට යෙදෙන නිසරු කොන්ක්‍රීටය (Screed) සදහානම් ගෘහස්තමය ඉදිකිරීමකදී මෙවැනි සම්‍යක් ප්‍රයෝගයක් යොදාගත්තාට වරදක් කියන්න බැහැ.''
    බේස් වලක පතුලට කොන්ක්‍රීට් යොදනකොට වැරගැන්නුම් කම්බි වලින් ලැටිස් එකක් සදා කොලොම් එකේ කම්බිත් ඒකට සවිකරනවනේ, ඉතින් මට දැනගන්න ඕනේ ඔය විදියට වතුර නොයාදා දාන කොන්ක්‍රීට් එකේ වායු සිදුරු ඇතිවෙනවද? එහෙම ඇති උනොත් කාලයාගේ ඇවෑමෙන් වැරගැන්නුම් කම්බි දිරාපත් වෙයිද?
    අන්තර්ජාලයේ සමහර පොස්ටු වල තියෙනවා portland සිමෙන්ති වතුරයට සවිවෙනවා කියල ඒ පිලිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
    http://uk.answers.yahoo.com/question/index?qid=20070907180048AA3fopR

    ReplyDelete
    Replies
    1. //බේස් වලක පතුලට කොන්ක්‍රීට් යොදනකොට වැරගැන්නුම් කම්බි වලින් ලැටිස් එකක් සදා කොලොම් එකේ කම්බිත් ඒකට සවිකරනවනේ, //

      ඔය කියන කොන්ක්‍රිටය සාමාන්‍ය ව්‍යුවහාරයේදී පාදමය (footing) විදිහට හදුන්වන ව්‍යුහාත්මක කොන්ක්‍රිටයක්. නිසරු කොන්ක්‍රීටය (Screed) කියන්නේ ඔය කියන කොන්ක්‍රිටයට යටින් යෙදෙන්නක්. වැඩි විස්තර සදහා මගේ පැරණි පෝස්ටු කියවන්නකෝ.


      //ඉතින් මට දැනගන්න ඕනේ ඔය විදියට වතුර නොයාදා දාන කොන්ක්‍රීට් එකේ වායු සිදුරු ඇතිවෙනවද? //
      ඇතිවෙනව නේන්නම්.

      //එහෙම ඇති උනොත් කාලයාගේ ඇවෑමෙන් වැරගැන්නුම් කම්බි දිරාපත් වෙයිද?//
      එහෙම නොවුනොත් වාසනාව....!

      Delete
  20. බොහොම ස්තුතියි ඔබ තුමාගේ ප්‍රතිචාරයට, මට මෙම ලිපි පෙළ කියවන්න ලැබුනේ ටිකක් පරක්කු වෙලා,එම නිසා මෙම වටිනා දැනුමෙන් ප්‍රයෝජන ගන්න බැරි උනා, මට දැනගන්න පුලුවන්ද? ඉහත සඳහන් ආකාරයට පාදමට කොන්ක්‍රීට් යෙදු නිවසකට කල හැකි ප්‍රතිකර්මය කුමක්ද කියල මේ පිලිබඳ පොස්ටුවක් ලබා දෙන්න පුලුවන්ද? ඔබ තුමාට ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හොදයි,
      ඒ ඉල්ලීම නුදුරු කාලයේදී ඉෂ්ඨ කරන්නම්.
      දිගටම අපත් එක්ක රැඳෙන්න.

      ස්තුතියි

      Delete
  21. ස්ලැබ් එකක් සඳහා කොන්ක්‍රීට් දමන අවස්ථාවක වැස්සොත් මොකද්ද වෙන්නේ

    ReplyDelete
  22. ස්ලැබ් එකක් සඳහා කොන්ක්‍රීට් දමන අවස්ථාවක වැස්සොත් මොකද්ද වෙන්නේ

    ReplyDelete
  23. පෙදරේරුවා නොහොත් මේසන් බාස්January 31, 2013 at 10:08 AM

    හොදයි,
    ඒ ඉල්ලීම නුදුරු කාලයේදී ඉෂ්ඨ කරන්නම්.
    දිගටම අපත් එක්ක රැඳෙන්න.
    මම තාම බලන් ඉන්නවා

    ස්තුතියි

    ReplyDelete
  24. අඩු වියදම් සැලැබ් ක්‍රමයේ වාසි අවාසි මොනවාද

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....