Showing posts with label නර්ඩ් අඩුවියදම් නිවාස. Show all posts
Showing posts with label නර්ඩ් අඩුවියදම් නිවාස. Show all posts

Thursday, June 14, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -2)


අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්.  එහෙම වුනත් ඒ සදහා දැරීමට සිදුවන අධික පිරිවැයත්, හොද දැව සපයාගැනීමේ අපහසුතාවයත් යන කාරණා මත ඇතැම් නිර්මාණශිල්පීන් තම නිර්මාණ සදහා දැවමය දොර සහ ජනෙල් රාමු වෙනුවට යම් යම් විකල්පවෙත අවධානය යොමුකර තිබෙන අවස්ථා විරල නැහැ. මගේ පෞද්ගලික මතයනම් මේ ප්‍රවනතාවය, ඉතාම සාධනීය ලක්‍ෂණයක්ය කියනඑකයි. ඒමොකද ඒ මගින් තම සේවාදායකයන්ට මූල්‍යමය ඉතිරියක් සිදුකරනුලබන අතරම රටේ වනගහනය සුරැකීම සඳහාද යම් දායකත්වයක් එමගින් සැපයෙන නිසයි. නිර්මාණශිල්පීන් යොදාගන්නා විකල්ප අතරින්, කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඉතිං අද දවසේ අපේ අරමුණ, ‍ දැව සදහා විකල්පයක් විදිහට කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු කොතෙක්දුරට සාර්ථකද යන්න විමසා බැලීමයි.

යාපහුව රජමාලිගාවේ ගල් උළුවස්සක්

පෙරසවි කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු පලමුවරට හදුන්වාදුන්නේ දැනට අවුරුදු 30 කට විතර කලිනුයි.  ඒ එවකට ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) හි පලමු සභාපතිත්වය දරපු, ලංකාවේ හිටපු කීර්තිමත් ඉංජිනේරුවරයකුවූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හැබැයි රාමු විතරක් නෙමෙයි, ඒ කාලේ දොර සහ ජනෙල් පියන් පවා කොන්ක්‍රිට් වලින් සාදනු ලැබුවා. ඒත් අසමාන්‍ය ලෙස බරින්වැඩිවූ පෙරෝසිමෙන්තියෙන් තැනි දොර සහ ජනෙල් පියන්, ප්‍රායෝගික යෙදවීමක් විදිහට බොහෝදෙනෙක් පිලිගත්තේ නැහැ. ඒත් මේ ගැන විවේචනාත්මකව කථාකල හැමෝටම “දොර පියන බර වුනාට..., ඒක තමුසෙලා උස්සගෙන ඉන්න ඕන නැහැනේ... ඒකට තමයි සරනේරු තියෙන්නේ“ වාගේ තදබල ගෝරණාඩුවකට ලක්වන්නට නම් සිද්ධවුණා.


මේකත් යාපහුවේ


කොහොමවුනත් ක්‍ෂේත්‍රයේ විවිධ පරීක්ෂණ සහ වැඩිදියුණුකිරීම් රැසකට බඳුන්වූ කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදන ක්‍රියාවලිය, අද වනවිට ගුණාත්මක අතින් බොහෝදැවමය දොර සහ ජනෙල් රාමු හා සම මට්ටමකටම පත්වීමට හැකියාව ලබා තියෙනවා. ඒ නිසාම මුලදී අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන් තැනූ  අඩුවියදම් ගොඩනැගිලි සඳහා පමණක් යොදාගත් කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු, අද වනවිට බොහොමයක් මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම්වලදී සේම අර්ධ සුඛෝපභෝගී සහ ඇතැම් විට සුඛෝපභෝගී නිවාස සදහාද යොදාගැනෙනු දකින්න පුළුවන්. ඒ අනුව සැලකියයුතු දැව ප්‍රමාණයක් රටට ඉතිරිකරදෙන්නට මේ ගුණාත්මක පෙරලිය ඉවහල්වෙලා තියෙනවා.

ඔන්න කොන්ක්‍රීට් ජනේල


මුල් කාලේ ඉදන්ම කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න තිබුණ ප්‍රධාන දුර්වලතාවයක් වුනේ අසවු (සරනේරු) සවිවන ලී කට්ට (ප්ලග්) පසුකාලීනව ගැලවීයාමේ හැකියාවක් තිබීම සහ හාණිවූ එවැන්නක් ප්‍රතිස්ථාපනය කිරීමට තිබූ නොහැකියාවයි. ඒත් නුතන නිෂ්පාදනයන්හි මෙම ප්ලග් සියල්ල නොම්මර 1 කොස් දැවයෙන් යොදාගැනෙන බැවින් හාණිවීමේ හැකියාව අවමවීඇති අතර ගැලවීයාම වැලැක්වීමටද සුවිශේෂී උපක්‍රම යොදා තිබෙනු දකින්න පුළුවන්. එයට අමතරව යම් හෙයකින් ලී කට්ටයක් හාණියට පත්වුවහොත් එය ගලවා අළුත් කට්ටයක් මාරුකිරීමේ පහසුවද සලසාතිබේ.


මේක කොන්ක්‍රීට්


පළුදු පිලිසකර කිරීමේ අපහසුතාවය කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න ලැබුන තවත් දුර්වලතාවයක් විදිහට හදුන්වන්න පුළුවන්. ඒත් අද වනවිට ඒ සදහා යොදාගතහැකි විවිධ රසායන සහ පිරවුම් වර්ග විවෘත වෙලදපලෙහි පහසුවෙන් සපයාගතහැකි බැවින් ඒ තත්වය  දුර්වලතාවයක් විදිහට තවදුරටත් සැලකෙන්නේ නැහැ.



මුල් යුගයේදී දොර සහ ජනෙල් රාමු බරින් වැඩිවීම නිසා ප්‍රවාහනයේ සහ හැසිරවීමේ අපහසුතා පැවතියද නූතන නිෂ්පාදන බොහොමයක් කොටස් වශයෙන් නිෂ්පාදනය කර වැඩබිමෙහිදී එකලස් කිරීමේ පහසුකම සපයා ඇතිබැවින් ඒවා අපහසුතා ලෙස සැලකෙන්නේ නැහැ. දැවමය දොර සහ ජනෙල් රාමු මෙන් නොව කොන්ක්‍රිට් ප්‍රවාහණය සදහා බලපත්‍ර අවශ්‍ය නොවීම නාගරිකව සිදුවන ඉදිකිරීමකදී කැපීපෙනෙන වාසි අත්කරදෙන්නක්බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.


මේ උළුවස්සත් කොන්ක්‍රීට්

මුල් යුගයේදී නිෂ්පාදන බොහොමයක් රළු නිමාවකින් යුක්තවූ අතර වැඩබිමේදී අමතර පරිශ්‍රමයක් දරමින් පින්තාරු කිරීම සදහා සකසාගත යුතුවුණා. ඒත් නූතන නිෂ්පාදනයන් ඉතා උසස් නිමාවකින් වෙලදපලට නිකුත්කෙරෙන හෙයින් පින්තාරු කිරීම සඳහා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවන්නේ නැහැ.  අවශ්‍යනම් විසරි-තීන්ත ආලේපන (ස්ප්‍රේ) කිරීමේ හැකියාවද පවතිනබව තමයි කියන්න තියෙන්නේ. (තීන්ත ආලේපන සමග බැඳුන තාක්ෂණික කාරණා ගැන ඉදිරි පෝස්ටුවකින් කියන්නම්.)



මේවා හැරුණහම කොන්ක්‍රීට් දොර සහ ජනෙල් රාමු යොදාගැනීමේ වාසි ගැනත් යමක් කියන්න ඕන.

පලමුවැන්න, පිරිමැසුම්දායකබවයි. කෙටියෙන් කිව්වොත් නිවසක සම්ප්‍රදායික දැවමය දොර සහ ජනෙල් රාමු සදහා යන වියදමින් 40% ක ඉතිරියක් මෙමගින් ලබාගන්න පුළුවන්.

දෙවැන්න විදිහට බොහොමයක් අවස්ථා වලදී අදාල දොර/ජනෙල් කවුළුවට ඉහලින් කොන්ක්‍රිට් ලිංටලයක් ඉදිකිරීම අවශ්‍ය නොවීම දක්වන්න පුළුවන්.



තුන්වැන්න විදිහට ආර්ද්‍රතාවය කෙරෙහි දොර සහ ජනෙල් රාමුවෙහි ප්‍රතිචාරය අවම මට්ටමක පැවතීම පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොන්ක්‍රිට් රාමුවක වැසිකාලයට පියන් හිරවීමට හෝ වියලි කාලයට ඉඩයාමට තියෙන හැකියාව ඉතා අවම මට්ටමක තමයි පවතින්නේ. මේ හේතුවෙන් ආර්ද්‍රතාවය කෙරෙහි වැඩිසංවේදීතාවක් දක්වන මහෝගනීවැනි මිලෙන් අඩුදැවයක් වුනත් සාර්ථකව පියන් සදහා උපයෝගීකරගැනීමේ හැකියාව ලබාදීලා තියෙනවා.



සිව්වැන්න විදිහට තෙතමනය සදහා සාපේක්ෂව වැඩි ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කිරීම දක්වන්න පුළුවන්. බොහෝදුරට නිතර වැසිබිඳිති වලින් බැටකන ස්ථානයන් සදහා වායුහුවමාරුවට පහසුකම් (ලූවර) සහිත ස්ථිරව සවිකල වීදුරු (Fixed glass with louvers) සඳහා කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ලාබදායීම විකල්පය විදිහට හදුන්වන්න පුළුවන්. 



පස්වැන්න විදිහට දැඩි හිරුරැසට ඔරොත්තුදීමේ හැකියාව සලකන්න පුළුවන්. මේ හේතුව නිසාම ගොඩනැගිල්ලේ බිත්ති ඉදිකිරීමේදී කෙලින්ම දොර සහ ජනෙල් රාමු සවිකරමින්ම බිත්ති ඉදිකිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. 



සයවැන්න, (මගේ පෞද්ගලික මතයට අනුව වැදගත්ම වාසිය විදිහට) රටේ වනගහනය සුරැකීම සඳහා එමගින් ලැබෙන දායකත්වය දක්වන්න පුළුවන්.



කාරණා රැසක් ඔය විදිහට පෙලගැස්වූවාට මොකද කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදනයෙහි අදටත් විසදීනැති ගැටළුත් තියෙනවා. ඒවා ගැනත් යම් පමණකින් ඔබව දැනුවත් කිරීම මගේ යුතුකමක්නේ.  ඒ අතරින් ලොකුම ගැටළුව තමයි මෙම උපාංග නිෂ්පාදකයන් අතර ඒ ඒ රාමුවල ප්‍රමාණයන්(පලලXඋස), අවසන් නිමාව, ශක්තිය, සංයුතිය ආදී තත්වයන් පිළිබදව සම්මතයක් පවත්වාගෙන නොයෑම. කුඩා නිෂ්පාදකයන් අතර තාක්ෂණික අඩුලුහුඩුකම් නිසාත් මහා පරිමාණ නිෂ්පාදකයන් අතර වෙලදපල තරඟය නිසාත් මේ තත්වය ඇතිවෙලා තියෙනවා. ඒ හේතුවෙන් ඔබට එක් නිෂ්පාදකයකුගෙන් මිලටගත් කොන්ක්‍රිට් රාමුවකට (ජනේලයකට කියලා හිතමු) සරිලන අමතර උපාංගයක් (වා-කවුළුවක් කියලා හිතමු) ලබාගැනීම සදහා වෙනත් නිෂ්පාදකයකුවෙතට යාමට නොහැකිවනු ඇත. මේ තත්වය නිසාම අසවල් නිෂ්පාදකයා වෙතින්ම පමණක් ඔබේ දොර සහ ජනෙල් රාමු අවශ්‍යතාවය සපුරාගන්නටය කියා නම්කරන්නට උපදේශක වරුන්ටත් සිද්ධවෙනවා.

විවිධ ජනේල කවුළුවර්ග


හැමෝගේම යහපත තකා මම එවැනි උසස්යයි සම්මත නිෂ්පාදකයින් කිහිපදෙනකු ගැන සදහන් කරන්නම්. හැබැයි නම් කිව්වා කියලා මේසන්බාස් පක්‍ෂග්‍රාහී විදිහට කටයුතු කරනවාය කියලා හිතන්න එපා. මොකද ඔබව කොන්ක්‍රිට් නිෂ්පාදන වලට යොමුකලානම් උසස් තත්වයේ උපාංග මිලටගතහැකි ස්ථාන ගැන දැනුවත් කිරීමත් මගේ යුතුකමක් වෙන නිසා.

1.     ආම්ස්ට්‍රෝං කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - නුවරපාර, කිරිල්ලවල, කඩවත.
2.     රේඩියන්ට් කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - පල්ලිය පාර, කඳාන සහ කඩුවෙල
3.     වෙල්ගම එන්ටප්‍රයිසස් - පල්ලිය පාර, කඳාන (011 4031663)

මෙම නිෂ්පාදකයින් තිදෙනාම තම තමන්ට අනන්‍යවූ නමුත් තත්වයෙන් උසස් නිෂ්පාදන පෙලක් වෙලදපලට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ අතරින් කුඩාම නිෂ්පාදකයා වන වෙල්ගම එන්ටප්‍රයිසස් ආයතනයෙහි “Lahiru” යන වෙලද ලාංඡනය යටතේ සිදුකෙරෙන නිෂ්පාදන පිලිබඳව වසර බොහෝ ගනනක සිටම යහපත් අත්දැකීම් පවතින නිසා, ඒවාට වඩාත්ම සුදුසුය කියන ලේබලය අලවන්න මේසන්බාස්  පසුබට වෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ නිෂ්පාදනවල තත්වය අනර්ඝ වුනත්, අලෙවිකරණයෙහි ඔවුන් එතරම් දක්ෂ පිරිසක් නොවන බවයි මේසන්බාස්ගේ අදහස.  එහෙම කියන්නේ, මෑතකදී ආරම්භ කරනලද, ඒත් තමන්ගේ නිෂ්පාදන සුපිරිමට්ටමක පවත්වාගැනීමකුත් නැති, අළුත් නිෂ්පාදකයින් බොහෝදෙනෙකු ව්‍යාපාරික වශයෙන් මේවනවිට ඔවුන්ව පසුකර ගිහින්තියෙන නිසයි.
 




කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ගැන ඔබට තවදුරටත් ගැටළු තිබෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් හොද හෝ නරක අත්දැකීම් තිබෙන්නත් පුළුවන්. අනෙක් අයගේත් යහපත තකා ඒ ගැන ටිකක් කථාකරමු. කොමෙන්ටුවකින් හෝ techconco@gmail හෝ pedareruwa@yahoo.com යන ලිපිනයකට විදි ඊයකින් විමසන්න.

ප/ලි
උළුවහු සහ ජනේල රාමු පිළිබදව ලියවුන අපගේ පලමු ලිපිය කියවන්න කැමති කෙනෙකුට ඒ සඳහා මෙතනින් පිවිසෙන්න පුළුවන්.

Thursday, January 19, 2012

NERD Foundation Techniques - නර්ඩ් අඩුවියදම් අත්තිවාරම් ක්‍රම





වියදම් අඩු ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයක් හොයාගෙන යන අපේ චාරිකාවේ පලමු නැවතුම වුයේ නර්ඩ් මධ්‍යස්ථානයයි.  එහිදී හමුවූ නර්ඩ් අඩුවියදම් නිවාස ඉදිකිරීමේ තාක්ෂණය ගැන මූලික හැදින්වීමක් කලින් ලිපියේ සිදුකෙරුණා ඔබට මතක ඇති. මතක නැතිනම් මෙන්න මෙතනින් ඒක බලන්න පුළුවන්.

තාක්ෂණ ක්‍රමවේදයන් විස්තර කිරීමේ පහසුව තකා මම නිවාසයක ඉදිකිරීමේ අදියරයන් කොටස් කිහිපයකට වෙන්කර ඉදිරිපත් කරන්නම්. ඒ අනුව,
Ø      අත්තිවාරම
Ø      බිත්ති සහ සැකිල්ල
Ø      කොන්ක්‍රිට් තලය (මහල් ගොඩනැගිලි සදහා)
Ø      වහලය
Ø      නිමකිරීම්
Ø      සේවා පහසුකම් (ජලය, විදුලිය, අපවහන)

විදිහ‍ට හැකිතාක් සරලව ඔබ ඉදි‍රියේ පෙලගස්වන්නම්. එයින් සමහරක් නීරස තාක්ෂණික කරුණු එකතුවක් වුනත් ටිකක් ඉවසීමෙන් කියවාදමන්න පුංචි උත්සහයක් ගත්තොත් ජීවිතයේ කවදාහරි, තමන්ට නැතත් යාළුවෙකුට හරි ඒක උදව්වක් වේවි.


නර්ඩ් අඩුවියදම් අත්තිවාරම් ක්‍රම 

සාම්ප්‍රදායික නේවාසික ගොඩනැගිල්ලක අත්තිවාරම, ගැඹුරු කාණුරැසක් පුරවා බින ලද කළුගල් බැම්මකින් සහ මහල් ගොඩනැගිල්ලකදී නම්, එයට අමතරව නිශ්චිත දුර ප්‍රමාණ වලින් සකසන ලද කනුපාදම් රැසකින්ද සමන්විත තරමක් සුවිසල් ව්‍යුහයක්. නමුදු නර්ඩ් අත්තිවාරම පොලව මට්ටමේදී ඉතා කුඩා හරස්කඩක් සහිත බිම්තලාදයන් (Plinth beam) සමූහයකින් ඒකාබද්ධ කල කණුපාදම් රැසකින් සහ මෙම බිම් තලාද මත වි‍‍ශේෂ අච්චුවක් ආධාරයෙන් 1:10 සිමෙන්ති සහ ගල්කුඩු මිශ්‍රණයක් සම්පීඩනයකොට තනනුලබන අත්තිවාරම් බැම්මකින් පමණක් සමන්විත වෙනවා.

කනු පාදමක ආදර්ශයක්

මෙම ව්‍යුහයන් කෙතෙක් සරල ඒවාද කියතහොත් දෙමහල් නිවාසයක් සදහා බිම් තලාඳය මි.මි. 10 දගරවානේ කම්බි දෙකකින් සහ 6”x4” තරම් කුඩා හරස්කඩකින් යුක්ත වන අතර  අත්තිවාරම් බැම්ම 6” ක ඝණකමකින් සහ තලාදය සමග 12” ක අවම උසකින් යුක්ත වීම ප්‍රමාණවත් වනවා. බැළුබැල්මට සෙල්ලම් ගෙයක් වැනි පෙනුමක් ඇතිවූවද ශක්තිමත්බව යනු යමක බ‍ාහිර හරස්කඩ ප්‍රමාණය නොවන වග අවබෝධ කරගතයුතු වෙනවා. මොකද සත්‍ය වශයෙන්ම මෙම තුනී කොන්ක්‍රිට් තලාදය ඒ මත සැකසූ ගල්කුඩු බැම්මත් සමග එකාබද්ධව සම්පූර්ණ ව්‍යුහයේ උසට (මෙහිදී 12”) සමාන කොන්ක්‍රිට් තලාඳයක් විලසින් ක්‍රියාකරන නිසයි.

 බිම් තලාඳ සහ පෙරසවි කණු

කණු පාදම් (Column bases) මතදී බිම් තලාඳයෙන් ඉහලට පෙර-ආතතීකරිත (Pre Stressed) කොන්ක්‍රිට් කණු සවිකරනු ලබනවා. දෙමහල් හෝ තෙමහල් නිවාසයක් සදහා යොදාගැනෙන මෙම පෙර සවිකණු 6”x6 ප්‍රමාණයේ හරස්කඩකින් යුක්ත වෙනවා.


නර්ඩ් අත්තිවාරමේ මූලික සැකැස්ම මේක වුනත් ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත භූමියෙහි ස්වභාවය මත සුළු සුළු වෙනස්කම් සිදුකිරීමේ හැකියාවක්ද පවතී. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් කණු පාදම් ඉදිකරනු ලබන්නේ වැඩබිමතුලදී කරනු ලබන ඉදිකිරීමක් වශයෙන් (In-situ construction) වුවත් වගුරු බිමකදී පොකට්ටු ලෙස සකසන ලද පෙරසවි කණුපාදම් යොදාගනු ලබනවා.

 අත්තිවාරම් බැම්ම සැකසීම සදහා සවිකරන ලද විශේෂ අච්චුව
මේ සියළු කාරණා අනුව පැහැදිලි ලෙසම නර්ඩ් අත්තිවාරම, සාම්ප්‍රදායික ගොඩනැගිල්ලක් සදහා යන වියදමින් 35%~40% ක ඉතිරියක් ඔබ‍ට ලබාදෙනබව කියන්න පුළුවන්.


මේක හදුන්වාදීලා තියෙන නර්ඩ් ආයතනය ගැන දැනගන්න මෙතන කොටන්න.

Friday, January 13, 2012

NERD Centre - මොකද්ද මේ නර්ඩ් මධ්‍යස්ථානය කියන්නේ



නර්ඩ්, අවුරුදු තිස්ගනනක් තිස්සේ අපගේ ජනතාවගේ කනට ටිකක් විතර හුරුපුරුදු නමක්. නර්ඩ් කියන්නේ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය කියන තේරුම දෙන National Engineering Research and Development Centre කියන ඉංග්‍රිසි පදපෙලෙහි කෙටියෙදුම විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. තාක්ෂණය ගැන කථාකරන්න ඇවිල්ලා ඇයි මේ එක එක ආයතන ගැන තොරතුරු සටහන් කරන්නේ කියලා සමහරවිට ඔයගොල්ලන්ට ගැටළුවක් ඇතිවේවි. ඒත් පොඩ්ඩක් ඉවසන්න, මේ බ්ලොග් එකෙහි ඉදිරිපත් කෙරෙන තාක්ෂණික කාරණා සම්පූර්ණ වීම සදහා ඔබ මේ ආයතනයගැන දැනගෙන හිදීම අනිවාර්යයෙන් වැදගත්.

රටේ තාක්ෂණික සංවර්ධනය කෙරෙහි වැදගත් මෙහෙයක් ඉටුකරන මේ ආයතනයේ අතීතයට පොඩ්ඩක් එබී බැළුවොත්, ඔන්න ඔය පහතින් දැක්වෙනවා වාගේ විස්තරයක් තමයි කියන්න වෙන්නේ.

නර්ඩ් ආයතනය, 1974 දී එවකට පැවති කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ පුරෝගාමිත්වයෙන් රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලද්දක්. දේශීය තාක්ෂණික ක්‍රම දියුණුකිරීම සදහා අවශ්‍ය ආයතනික සහයෝගය ලබාදීමත්, කර්මාන්ත කරුවන්ට බලපාන ඉංජිනේරුමය ගැටළුවලට පිළියම් යෙදීමත්, ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණික ක්‍රම සැලසුම් කිරීම සහ ඒවා සංවර්ධනය කිරීමත්  ආයතනය පිහිටුවීමේ අරමුණු විදිහට කියවෙනවා.
විශ්ව කීර්තියටපත් ඉංජිනේරුවරයකු වූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා ( එතුමන් වැඩිපුරම ප්‍රසිද්ධ කොන්ක්‍රිට් කුලසිංහ කියලායි. එතුමන් ගැන පෝස්ටුවකුත් ඉදිරි දිනයක පලවේවි) 1977 දී මෙහි සභාපතිත්වයට පත් වූ අතර මොරටුවේ ස්ථානගතවතිබූ ආයතනය, 1979 දී ඒකල කාර්මික ජනපදයෙහි අක්කර 9 ක් තරම් සුවිසල් භූමිභාගයක් වෙත රැගෙන ඒමට ඒ මහතා මූලික වුණා. ආයතන පරිශ්‍රයෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයන්ම පිරිමැසුම්දායක ඉදිකිරීම් ශිල්පක්‍රම අත්හදාබැලීමේ නව පර්යේෂණයන් බවට පත්කරගත් ඒමහතා ප්‍රමුඛ නර්ඩ් ඉංජිනේරු කැල, ඒ ඔස්සේ නව සොයාගැනීම් රැසක් රටට දායාද කිරීමටද සමත්වුණා.

එයට අමතරව කාලීන සහ දේශීය අවශ්‍යතාවනට අනුකූලව කේෂ්ත්‍ර කිහිපයක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වල නිරතවෙමින් ජයග්‍රහණ රැසක් ජනතාවට අත්කර දීමට නර්ඩ් ආයතනයට හැකියාව ලැබුණා. විශේෂයෙන් බලශක්ති අර්බුදයට පිලියම් වශයෙන් සූර්ය බලය, සුලං බලය ජීවවායුව සහ කුඩාපරිමාණ ජල විදුලිය ආදී විකල්ප ශක්ති ප්‍රභවයන් පිලිඹදවද, විවිධ ගෘහස්ථ සහ කර්මාන්තමය උපකරණ සහ මෙවලම් වැඩිදියුණු කිරීම් ද ඒ අතර  වුණා.

නර්ඩ් ආයතනය විසින් වැඩිදියුණු කරන ලද තාක්ෂණයන් විවිධ ආකාරයෙන් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කරනු ලබනවා. එයින් එක් ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ අනෝන්‍ය සුභසිද්ධිය සදහා සැකසුන තාක්ෂණික පැවරුම් ගිවිසුමක් ඔස්සේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් වෙත තාක්ෂණය පැවරීමයි. මෙසේ තාක්ෂණය පැවරීමෙන් අනතුරුව අදාල ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අමතර තාක්ෂණ උපදෙස් ලබාදීමත් ප්‍රමිති හා අනුකූලතාවය පිලිඹදව පසුවිපරම් කිරීමත් මධ්‍යස්ථානය මගින් සිදුකෙරෙනු ලබනවා. මෙම ක්‍රියාවලිය රටට හිතැති තාක්ෂණයක් අනුගමනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් රටට දායාද කිරීමට සමත්වූ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සැලකුවහොත් නර්ඩ් පිරිමැසුම් දායක ඉදිකිරීම් තාක්ෂණය දිවයින පුරා ජනතාව වෙත වඩාත් සමීපකිරීමටද එය දායක වුණා.

 නර්ඩ් තාක්ෂණයෙන් ‍‍ගොඩනගනලද නිවසක්
මෙයට අමතරව රටපුරා විසිරුණ විදාතා මධ්‍යස්ථාන ඔස්සේද, විවිධ වූ තාක්ෂණික ප්‍රදර්ශණ සහ විශේෂයෙන් 1998 දී ආයතන භූමියෙහි ඇතිකරන ලද තාක්ෂණික උද්‍යාණයද සාමාන්‍ය ජනතාව වෙත තාක්ෂණය රැගෙනයාමේ වැදගත් මෙහෙයක් මේ මොහොත දක්වාම ඉටුකරනු ලබනවා.

 කර්මාන්ත උද්‍යාණ පිවිසුම
නර්ඩ් ආයතනය විසින් පවත්වාගෙන යනුලබන තාක්ෂණික උද්‍යාණය ඔබටත් නැරඹිය හැකියි. බොහොම පුංචි අයකිරීමක් සිදුකරනවා වැඩිහිටියකුට රු.15/=කුත් පාසල් ලමුනට  රු.10/=කුත් වශයෙන්. උදයේ සහ සවස විස්තර කිරීම් සහිත ප්‍රධාන චාරිකා සැසි දෙකක් පැවැත්වෙනු ලබනවා. දිනපතා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන නිසා, තාක්ෂණික උද්‍යාණය නැරඹීම සදහා පූර්ව අනුමැතිය ලබාගැනීම වැදගත්.  තාක්ෂණික උද්‍යාණය සම්බන්ධ කරගැනීම සදහා 011-2234267 යන ඍජු දුරකථන අංකය හෝ 011-2236284 011-2236384 යන දුරකථන අංක සමග 414 දිගුව ඉල්ලා සිටීම හෝ techno@nerdc.lk යන විද්‍යුත් ලිපිනය ඔබට භාවිතා කරන්න පුළුවන්.

 කර්මාන්ත උද්‍යාණය ඇතුලත දර්ශනයක් 

 අපේ අදහස
ඉතින් තවත් මෙවන් තාක්ෂණය සමග බැි තොරතුරු මිටක් සමගින් සත්දිනකින් නැවත හමුවෙමු. ඔබට සුභ සතියක්.