Showing posts with label නර්ඩ්. Show all posts
Showing posts with label නර්ඩ්. Show all posts

Thursday, June 14, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -2)


අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්.  එහෙම වුනත් ඒ සදහා දැරීමට සිදුවන අධික පිරිවැයත්, හොද දැව සපයාගැනීමේ අපහසුතාවයත් යන කාරණා මත ඇතැම් නිර්මාණශිල්පීන් තම නිර්මාණ සදහා දැවමය දොර සහ ජනෙල් රාමු වෙනුවට යම් යම් විකල්පවෙත අවධානය යොමුකර තිබෙන අවස්ථා විරල නැහැ. මගේ පෞද්ගලික මතයනම් මේ ප්‍රවනතාවය, ඉතාම සාධනීය ලක්‍ෂණයක්ය කියනඑකයි. ඒමොකද ඒ මගින් තම සේවාදායකයන්ට මූල්‍යමය ඉතිරියක් සිදුකරනුලබන අතරම රටේ වනගහනය සුරැකීම සඳහාද යම් දායකත්වයක් එමගින් සැපයෙන නිසයි. නිර්මාණශිල්පීන් යොදාගන්නා විකල්ප අතරින්, කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඉතිං අද දවසේ අපේ අරමුණ, ‍ දැව සදහා විකල්පයක් විදිහට කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු කොතෙක්දුරට සාර්ථකද යන්න විමසා බැලීමයි.

යාපහුව රජමාලිගාවේ ගල් උළුවස්සක්

පෙරසවි කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු පලමුවරට හදුන්වාදුන්නේ දැනට අවුරුදු 30 කට විතර කලිනුයි.  ඒ එවකට ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) හි පලමු සභාපතිත්වය දරපු, ලංකාවේ හිටපු කීර්තිමත් ඉංජිනේරුවරයකුවූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හැබැයි රාමු විතරක් නෙමෙයි, ඒ කාලේ දොර සහ ජනෙල් පියන් පවා කොන්ක්‍රිට් වලින් සාදනු ලැබුවා. ඒත් අසමාන්‍ය ලෙස බරින්වැඩිවූ පෙරෝසිමෙන්තියෙන් තැනි දොර සහ ජනෙල් පියන්, ප්‍රායෝගික යෙදවීමක් විදිහට බොහෝදෙනෙක් පිලිගත්තේ නැහැ. ඒත් මේ ගැන විවේචනාත්මකව කථාකල හැමෝටම “දොර පියන බර වුනාට..., ඒක තමුසෙලා උස්සගෙන ඉන්න ඕන නැහැනේ... ඒකට තමයි සරනේරු තියෙන්නේ“ වාගේ තදබල ගෝරණාඩුවකට ලක්වන්නට නම් සිද්ධවුණා.


මේකත් යාපහුවේ


කොහොමවුනත් ක්‍ෂේත්‍රයේ විවිධ පරීක්ෂණ සහ වැඩිදියුණුකිරීම් රැසකට බඳුන්වූ කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදන ක්‍රියාවලිය, අද වනවිට ගුණාත්මක අතින් බොහෝදැවමය දොර සහ ජනෙල් රාමු හා සම මට්ටමකටම පත්වීමට හැකියාව ලබා තියෙනවා. ඒ නිසාම මුලදී අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන් තැනූ  අඩුවියදම් ගොඩනැගිලි සඳහා පමණක් යොදාගත් කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු, අද වනවිට බොහොමයක් මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම්වලදී සේම අර්ධ සුඛෝපභෝගී සහ ඇතැම් විට සුඛෝපභෝගී නිවාස සදහාද යොදාගැනෙනු දකින්න පුළුවන්. ඒ අනුව සැලකියයුතු දැව ප්‍රමාණයක් රටට ඉතිරිකරදෙන්නට මේ ගුණාත්මක පෙරලිය ඉවහල්වෙලා තියෙනවා.

ඔන්න කොන්ක්‍රීට් ජනේල


මුල් කාලේ ඉදන්ම කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න තිබුණ ප්‍රධාන දුර්වලතාවයක් වුනේ අසවු (සරනේරු) සවිවන ලී කට්ට (ප්ලග්) පසුකාලීනව ගැලවීයාමේ හැකියාවක් තිබීම සහ හාණිවූ එවැන්නක් ප්‍රතිස්ථාපනය කිරීමට තිබූ නොහැකියාවයි. ඒත් නුතන නිෂ්පාදනයන්හි මෙම ප්ලග් සියල්ල නොම්මර 1 කොස් දැවයෙන් යොදාගැනෙන බැවින් හාණිවීමේ හැකියාව අවමවීඇති අතර ගැලවීයාම වැලැක්වීමටද සුවිශේෂී උපක්‍රම යොදා තිබෙනු දකින්න පුළුවන්. එයට අමතරව යම් හෙයකින් ලී කට්ටයක් හාණියට පත්වුවහොත් එය ගලවා අළුත් කට්ටයක් මාරුකිරීමේ පහසුවද සලසාතිබේ.


මේක කොන්ක්‍රීට්


පළුදු පිලිසකර කිරීමේ අපහසුතාවය කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න ලැබුන තවත් දුර්වලතාවයක් විදිහට හදුන්වන්න පුළුවන්. ඒත් අද වනවිට ඒ සදහා යොදාගතහැකි විවිධ රසායන සහ පිරවුම් වර්ග විවෘත වෙලදපලෙහි පහසුවෙන් සපයාගතහැකි බැවින් ඒ තත්වය  දුර්වලතාවයක් විදිහට තවදුරටත් සැලකෙන්නේ නැහැ.



මුල් යුගයේදී දොර සහ ජනෙල් රාමු බරින් වැඩිවීම නිසා ප්‍රවාහනයේ සහ හැසිරවීමේ අපහසුතා පැවතියද නූතන නිෂ්පාදන බොහොමයක් කොටස් වශයෙන් නිෂ්පාදනය කර වැඩබිමෙහිදී එකලස් කිරීමේ පහසුකම සපයා ඇතිබැවින් ඒවා අපහසුතා ලෙස සැලකෙන්නේ නැහැ. දැවමය දොර සහ ජනෙල් රාමු මෙන් නොව කොන්ක්‍රිට් ප්‍රවාහණය සදහා බලපත්‍ර අවශ්‍ය නොවීම නාගරිකව සිදුවන ඉදිකිරීමකදී කැපීපෙනෙන වාසි අත්කරදෙන්නක්බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.


මේ උළුවස්සත් කොන්ක්‍රීට්

මුල් යුගයේදී නිෂ්පාදන බොහොමයක් රළු නිමාවකින් යුක්තවූ අතර වැඩබිමේදී අමතර පරිශ්‍රමයක් දරමින් පින්තාරු කිරීම සදහා සකසාගත යුතුවුණා. ඒත් නූතන නිෂ්පාදනයන් ඉතා උසස් නිමාවකින් වෙලදපලට නිකුත්කෙරෙන හෙයින් පින්තාරු කිරීම සඳහා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවන්නේ නැහැ.  අවශ්‍යනම් විසරි-තීන්ත ආලේපන (ස්ප්‍රේ) කිරීමේ හැකියාවද පවතිනබව තමයි කියන්න තියෙන්නේ. (තීන්ත ආලේපන සමග බැඳුන තාක්ෂණික කාරණා ගැන ඉදිරි පෝස්ටුවකින් කියන්නම්.)



මේවා හැරුණහම කොන්ක්‍රීට් දොර සහ ජනෙල් රාමු යොදාගැනීමේ වාසි ගැනත් යමක් කියන්න ඕන.

පලමුවැන්න, පිරිමැසුම්දායකබවයි. කෙටියෙන් කිව්වොත් නිවසක සම්ප්‍රදායික දැවමය දොර සහ ජනෙල් රාමු සදහා යන වියදමින් 40% ක ඉතිරියක් මෙමගින් ලබාගන්න පුළුවන්.

දෙවැන්න විදිහට බොහොමයක් අවස්ථා වලදී අදාල දොර/ජනෙල් කවුළුවට ඉහලින් කොන්ක්‍රිට් ලිංටලයක් ඉදිකිරීම අවශ්‍ය නොවීම දක්වන්න පුළුවන්.



තුන්වැන්න විදිහට ආර්ද්‍රතාවය කෙරෙහි දොර සහ ජනෙල් රාමුවෙහි ප්‍රතිචාරය අවම මට්ටමක පැවතීම පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොන්ක්‍රිට් රාමුවක වැසිකාලයට පියන් හිරවීමට හෝ වියලි කාලයට ඉඩයාමට තියෙන හැකියාව ඉතා අවම මට්ටමක තමයි පවතින්නේ. මේ හේතුවෙන් ආර්ද්‍රතාවය කෙරෙහි වැඩිසංවේදීතාවක් දක්වන මහෝගනීවැනි මිලෙන් අඩුදැවයක් වුනත් සාර්ථකව පියන් සදහා උපයෝගීකරගැනීමේ හැකියාව ලබාදීලා තියෙනවා.



සිව්වැන්න විදිහට තෙතමනය සදහා සාපේක්ෂව වැඩි ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කිරීම දක්වන්න පුළුවන්. බොහෝදුරට නිතර වැසිබිඳිති වලින් බැටකන ස්ථානයන් සදහා වායුහුවමාරුවට පහසුකම් (ලූවර) සහිත ස්ථිරව සවිකල වීදුරු (Fixed glass with louvers) සඳහා කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ලාබදායීම විකල්පය විදිහට හදුන්වන්න පුළුවන්. 



පස්වැන්න විදිහට දැඩි හිරුරැසට ඔරොත්තුදීමේ හැකියාව සලකන්න පුළුවන්. මේ හේතුව නිසාම ගොඩනැගිල්ලේ බිත්ති ඉදිකිරීමේදී කෙලින්ම දොර සහ ජනෙල් රාමු සවිකරමින්ම බිත්ති ඉදිකිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. 



සයවැන්න, (මගේ පෞද්ගලික මතයට අනුව වැදගත්ම වාසිය විදිහට) රටේ වනගහනය සුරැකීම සඳහා එමගින් ලැබෙන දායකත්වය දක්වන්න පුළුවන්.



කාරණා රැසක් ඔය විදිහට පෙලගැස්වූවාට මොකද කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදනයෙහි අදටත් විසදීනැති ගැටළුත් තියෙනවා. ඒවා ගැනත් යම් පමණකින් ඔබව දැනුවත් කිරීම මගේ යුතුකමක්නේ.  ඒ අතරින් ලොකුම ගැටළුව තමයි මෙම උපාංග නිෂ්පාදකයන් අතර ඒ ඒ රාමුවල ප්‍රමාණයන්(පලලXඋස), අවසන් නිමාව, ශක්තිය, සංයුතිය ආදී තත්වයන් පිළිබදව සම්මතයක් පවත්වාගෙන නොයෑම. කුඩා නිෂ්පාදකයන් අතර තාක්ෂණික අඩුලුහුඩුකම් නිසාත් මහා පරිමාණ නිෂ්පාදකයන් අතර වෙලදපල තරඟය නිසාත් මේ තත්වය ඇතිවෙලා තියෙනවා. ඒ හේතුවෙන් ඔබට එක් නිෂ්පාදකයකුගෙන් මිලටගත් කොන්ක්‍රිට් රාමුවකට (ජනේලයකට කියලා හිතමු) සරිලන අමතර උපාංගයක් (වා-කවුළුවක් කියලා හිතමු) ලබාගැනීම සදහා වෙනත් නිෂ්පාදකයකුවෙතට යාමට නොහැකිවනු ඇත. මේ තත්වය නිසාම අසවල් නිෂ්පාදකයා වෙතින්ම පමණක් ඔබේ දොර සහ ජනෙල් රාමු අවශ්‍යතාවය සපුරාගන්නටය කියා නම්කරන්නට උපදේශක වරුන්ටත් සිද්ධවෙනවා.

විවිධ ජනේල කවුළුවර්ග


හැමෝගේම යහපත තකා මම එවැනි උසස්යයි සම්මත නිෂ්පාදකයින් කිහිපදෙනකු ගැන සදහන් කරන්නම්. හැබැයි නම් කිව්වා කියලා මේසන්බාස් පක්‍ෂග්‍රාහී විදිහට කටයුතු කරනවාය කියලා හිතන්න එපා. මොකද ඔබව කොන්ක්‍රිට් නිෂ්පාදන වලට යොමුකලානම් උසස් තත්වයේ උපාංග මිලටගතහැකි ස්ථාන ගැන දැනුවත් කිරීමත් මගේ යුතුකමක් වෙන නිසා.

1.     ආම්ස්ට්‍රෝං කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - නුවරපාර, කිරිල්ලවල, කඩවත.
2.     රේඩියන්ට් කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - පල්ලිය පාර, කඳාන සහ කඩුවෙල
3.     වෙල්ගම එන්ටප්‍රයිසස් - පල්ලිය පාර, කඳාන (011 4031663)

මෙම නිෂ්පාදකයින් තිදෙනාම තම තමන්ට අනන්‍යවූ නමුත් තත්වයෙන් උසස් නිෂ්පාදන පෙලක් වෙලදපලට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ අතරින් කුඩාම නිෂ්පාදකයා වන වෙල්ගම එන්ටප්‍රයිසස් ආයතනයෙහි “Lahiru” යන වෙලද ලාංඡනය යටතේ සිදුකෙරෙන නිෂ්පාදන පිලිබඳව වසර බොහෝ ගනනක සිටම යහපත් අත්දැකීම් පවතින නිසා, ඒවාට වඩාත්ම සුදුසුය කියන ලේබලය අලවන්න මේසන්බාස්  පසුබට වෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ නිෂ්පාදනවල තත්වය අනර්ඝ වුනත්, අලෙවිකරණයෙහි ඔවුන් එතරම් දක්ෂ පිරිසක් නොවන බවයි මේසන්බාස්ගේ අදහස.  එහෙම කියන්නේ, මෑතකදී ආරම්භ කරනලද, ඒත් තමන්ගේ නිෂ්පාදන සුපිරිමට්ටමක පවත්වාගැනීමකුත් නැති, අළුත් නිෂ්පාදකයින් බොහෝදෙනෙකු ව්‍යාපාරික වශයෙන් මේවනවිට ඔවුන්ව පසුකර ගිහින්තියෙන නිසයි.
 




කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ගැන ඔබට තවදුරටත් ගැටළු තිබෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් හොද හෝ නරක අත්දැකීම් තිබෙන්නත් පුළුවන්. අනෙක් අයගේත් යහපත තකා ඒ ගැන ටිකක් කථාකරමු. කොමෙන්ටුවකින් හෝ techconco@gmail හෝ pedareruwa@yahoo.com යන ලිපිනයකට විදි ඊයකින් විමසන්න.

ප/ලි
උළුවහු සහ ජනේල රාමු පිළිබදව ලියවුන අපගේ පලමු ලිපිය කියවන්න කැමති කෙනෙකුට ඒ සඳහා මෙතනින් පිවිසෙන්න පුළුවන්.

Tuesday, January 17, 2012

NERD Economical Buildings - මොකද්ද මේ නර්ඩ් අඩුවියදම් නිවාසයක් කියන්නේ



අඩුවියදම් නිවාස, මේක ජනමාධ්‍ය තුල නිරතුරු කථාබහට ලක්වන; නිවසක් ඉදිකිරීමේ සිහින දකින කාගේත් උනන්දුව වඩවන; ඒත් දැනගියොත් කතරගම් යන නොදැන ගියවුන් අතරමං වන; කෙනෙකුට රසවත් වගේම තවකෙකුට බොහෝ අමිහිරි අත්දැකීම් සිහිගන්වන මාතෘකාවක්. අපේ රටේ නිවාස ඉදිකිරීම් හා සම්බන්ද අඩුවියදම් ඉදිකිරීම් ක්‍රමවේද ගනණාවක් තිබුනත් එයින් ඵලදායී ක්‍රමවේද තියෙන්නේ කිහිපයක් පමණයි. මම කලින් ලිපියක කීවා වගේම මගේ අභිලාශය මේක වැඩි කැමැත්තකින් තොරව කියවන ඔයාලට, අමිහිරි තාක්ෂණික කරුණු ගොන්නක් ඉගැන්වීම නොවී තාක්ෂණය ඵලදායී ලෙස භාවිතාකිරීමට හැකිවනසේ සුදුසු මාර්ගයක් පෙන්වීම පමණක් වන නිසා රටේ ජනප්‍රිය ඒ ඒ ක්‍රමවේදය පිලිඹදව පක්ෂග්‍රාහී නොවන විග්‍රහයක් ඉදිරිපත් කිරීමත්, ඒ ඒ ක්‍රමවේදය හදුන්වා දෙමින් වාසි අවාසි සාකච්ඡා කිරීමත් මේ ලිපි පෙලෙහි අරමුණ වෙනවා.

අපේ රටේ අඩුවියදම් ඉදිකිරීම් ගැන කථාකරත්දී මුලින්ම සලකාබැලිය යුතු ක්‍රමවේදයක් තමයි නර්ඩ් අඩුවියදම් නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කියලා කියන්නේ. මේ තාක්ෂණයේදී සම්ප්‍රදායික ඉදිකිරීමක වියදමින් 30% කට නොඅඩු ඉතිරියක් සිදුවන බව තමයි කියැවෙන්නේ.  සාධාරණ ගණනය කිරීමකදී වෙලදපලේ දැනට ඇති වඩාත්ම පිරිමැසුම්දායක නූතන ඉදිකිරීම් ක්‍රමය විදිහට මෙය හදුන්වන්න පුළුවන්. බොහෝවෙලාවට අළුත් දෙයක් පිලිගන්න හුගක් අය මැලිවෙන්නේ "අය්යෝ... දැනට හොදට තිබුනට පහුකාලයේදී මොනවා වේවිද දන්නේ නැහැ කියලානේ.  ඒත් මේ තාක්ෂණය හදුන්වා දීලා දැනට අවුරුදු 30 ක් පමණ වන නිසා, තාක්ෂණයේ කාල පරික්ෂාව පිලිඹදවත් ගැටළුවක් ඇතිවන්නේ නැහැ (Time Tested). ඇරත් නර්ඩ් කියන්නේ රජයේ ආයතනයක්. ඉතින් ඒනිසා මේ තාක්ෂණයනම්, ආයතනයට ලාභ ඉපැයීම පෙරිදැරිකර නොගත් තාක්ෂණයක්ය කියලා බය නැතිව හදුන්වලා දෙන්න පුළුවන්. 

නර්ඩ් ආයතනය ගැන බොහොමයක් විස්තර අපේ කලින් ලිපියක පලවුණා. ඒගැන වැඩිපුර දැනගන්න අවශ්‍යනම් මෙතන කොටන්න.


සමස්ථයක් විදිහට ගත්තහම නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය ඉතා අඩු යෙදවුම් ප්‍රමාණයකින් උපරිම ශක්තිය උපයාදෙන ආකාරයෙන් නිර්ම‍ාණය කරන ලද්දක්.  එතෙක් කාර්මික ඉදිකිරීම් සදහා පමණක් යොදාගැනුණු පෙර ආතතීකරණය කරනලද (Pre stressed) කොන්ක්‍රීට් ව්‍යුහයන් මෙම තාක්ෂණය යටතේ ගෘහස්තමය ඉදිකිරීම් සදහා ඉතා ඵලදායක ලෙස යොදාගනු ලබනවා. එහිදී දැව භාවිතය අවම වීමත්, වඩා සුලභ සහ ලාභදායී අමුද්‍රව්‍ය මත පදනම් වීමත්, පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය සාපේක්ෂව අඩුවීමත්, අඩුකාලයකින් ඉදිකිරීම් කටයුතු සිදුකලහැකි වීමත්, කො‍ටස් කොටස් වශයෙන් ඉදිකලහැකිවීමත් (කොන්ක්‍රිට් තට්ටුව පවා ) වාසි විදිහ‍ට සදහන්කරන්න පුළුවන්.


මී‍ට අමතරව නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය “ලොස්කොන්“ තාක්ෂණයක් කියලාත් හදුන්වන්න පුළුවන්. “ලොස්කොන්“ කියන්නේ වැලි භාවිතය අවමව කෙරෙන ඉදිකිරීම් ක්‍රමවේදයන්ටයි. (Low Sand Consumption Construction Method). ඒ අනුව මේ වනවිට ඉදිකිරීම් කර්මාන්තයට තදින්ම බලපා තිබෙන වැලි අර්බුදයටත් නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය යම්තාක් දුරකට විසදුමක් විදිහට සලකන්න පුළුවන්.

පෝස්ටුව දිග වැඩිවුනොත් කියවීම එපාම වෙන නිසා නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය ගැන සාරාංශයකට පමණක් මේ ලිපිය සීමා වෙනවා. වැඩි විස්තර එකින් එක ඉදිරි ලිපි වලින් ගෙන එන්නම්. එතෙක් ඔබ සැමට සුබ දවසක්.

Friday, January 13, 2012

NERD Centre - මොකද්ද මේ නර්ඩ් මධ්‍යස්ථානය කියන්නේ



නර්ඩ්, අවුරුදු තිස්ගනනක් තිස්සේ අපගේ ජනතාවගේ කනට ටිකක් විතර හුරුපුරුදු නමක්. නර්ඩ් කියන්නේ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය කියන තේරුම දෙන National Engineering Research and Development Centre කියන ඉංග්‍රිසි පදපෙලෙහි කෙටියෙදුම විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. තාක්ෂණය ගැන කථාකරන්න ඇවිල්ලා ඇයි මේ එක එක ආයතන ගැන තොරතුරු සටහන් කරන්නේ කියලා සමහරවිට ඔයගොල්ලන්ට ගැටළුවක් ඇතිවේවි. ඒත් පොඩ්ඩක් ඉවසන්න, මේ බ්ලොග් එකෙහි ඉදිරිපත් කෙරෙන තාක්ෂණික කාරණා සම්පූර්ණ වීම සදහා ඔබ මේ ආයතනයගැන දැනගෙන හිදීම අනිවාර්යයෙන් වැදගත්.

රටේ තාක්ෂණික සංවර්ධනය කෙරෙහි වැදගත් මෙහෙයක් ඉටුකරන මේ ආයතනයේ අතීතයට පොඩ්ඩක් එබී බැළුවොත්, ඔන්න ඔය පහතින් දැක්වෙනවා වාගේ විස්තරයක් තමයි කියන්න වෙන්නේ.

නර්ඩ් ආයතනය, 1974 දී එවකට පැවති කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ පුරෝගාමිත්වයෙන් රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලද්දක්. දේශීය තාක්ෂණික ක්‍රම දියුණුකිරීම සදහා අවශ්‍ය ආයතනික සහයෝගය ලබාදීමත්, කර්මාන්ත කරුවන්ට බලපාන ඉංජිනේරුමය ගැටළුවලට පිළියම් යෙදීමත්, ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණික ක්‍රම සැලසුම් කිරීම සහ ඒවා සංවර්ධනය කිරීමත්  ආයතනය පිහිටුවීමේ අරමුණු විදිහට කියවෙනවා.
විශ්ව කීර්තියටපත් ඉංජිනේරුවරයකු වූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා ( එතුමන් වැඩිපුරම ප්‍රසිද්ධ කොන්ක්‍රිට් කුලසිංහ කියලායි. එතුමන් ගැන පෝස්ටුවකුත් ඉදිරි දිනයක පලවේවි) 1977 දී මෙහි සභාපතිත්වයට පත් වූ අතර මොරටුවේ ස්ථානගතවතිබූ ආයතනය, 1979 දී ඒකල කාර්මික ජනපදයෙහි අක්කර 9 ක් තරම් සුවිසල් භූමිභාගයක් වෙත රැගෙන ඒමට ඒ මහතා මූලික වුණා. ආයතන පරිශ්‍රයෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයන්ම පිරිමැසුම්දායක ඉදිකිරීම් ශිල්පක්‍රම අත්හදාබැලීමේ නව පර්යේෂණයන් බවට පත්කරගත් ඒමහතා ප්‍රමුඛ නර්ඩ් ඉංජිනේරු කැල, ඒ ඔස්සේ නව සොයාගැනීම් රැසක් රටට දායාද කිරීමටද සමත්වුණා.

එයට අමතරව කාලීන සහ දේශීය අවශ්‍යතාවනට අනුකූලව කේෂ්ත්‍ර කිහිපයක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වල නිරතවෙමින් ජයග්‍රහණ රැසක් ජනතාවට අත්කර දීමට නර්ඩ් ආයතනයට හැකියාව ලැබුණා. විශේෂයෙන් බලශක්ති අර්බුදයට පිලියම් වශයෙන් සූර්ය බලය, සුලං බලය ජීවවායුව සහ කුඩාපරිමාණ ජල විදුලිය ආදී විකල්ප ශක්ති ප්‍රභවයන් පිලිඹදවද, විවිධ ගෘහස්ථ සහ කර්මාන්තමය උපකරණ සහ මෙවලම් වැඩිදියුණු කිරීම් ද ඒ අතර  වුණා.

නර්ඩ් ආයතනය විසින් වැඩිදියුණු කරන ලද තාක්ෂණයන් විවිධ ආකාරයෙන් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කරනු ලබනවා. එයින් එක් ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ අනෝන්‍ය සුභසිද්ධිය සදහා සැකසුන තාක්ෂණික පැවරුම් ගිවිසුමක් ඔස්සේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් වෙත තාක්ෂණය පැවරීමයි. මෙසේ තාක්ෂණය පැවරීමෙන් අනතුරුව අදාල ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අමතර තාක්ෂණ උපදෙස් ලබාදීමත් ප්‍රමිති හා අනුකූලතාවය පිලිඹදව පසුවිපරම් කිරීමත් මධ්‍යස්ථානය මගින් සිදුකෙරෙනු ලබනවා. මෙම ක්‍රියාවලිය රටට හිතැති තාක්ෂණයක් අනුගමනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් රටට දායාද කිරීමට සමත්වූ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සැලකුවහොත් නර්ඩ් පිරිමැසුම් දායක ඉදිකිරීම් තාක්ෂණය දිවයින පුරා ජනතාව වෙත වඩාත් සමීපකිරීමටද එය දායක වුණා.

 නර්ඩ් තාක්ෂණයෙන් ‍‍ගොඩනගනලද නිවසක්
මෙයට අමතරව රටපුරා විසිරුණ විදාතා මධ්‍යස්ථාන ඔස්සේද, විවිධ වූ තාක්ෂණික ප්‍රදර්ශණ සහ විශේෂයෙන් 1998 දී ආයතන භූමියෙහි ඇතිකරන ලද තාක්ෂණික උද්‍යාණයද සාමාන්‍ය ජනතාව වෙත තාක්ෂණය රැගෙනයාමේ වැදගත් මෙහෙයක් මේ මොහොත දක්වාම ඉටුකරනු ලබනවා.

 කර්මාන්ත උද්‍යාණ පිවිසුම
නර්ඩ් ආයතනය විසින් පවත්වාගෙන යනුලබන තාක්ෂණික උද්‍යාණය ඔබටත් නැරඹිය හැකියි. බොහොම පුංචි අයකිරීමක් සිදුකරනවා වැඩිහිටියකුට රු.15/=කුත් පාසල් ලමුනට  රු.10/=කුත් වශයෙන්. උදයේ සහ සවස විස්තර කිරීම් සහිත ප්‍රධාන චාරිකා සැසි දෙකක් පැවැත්වෙනු ලබනවා. දිනපතා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන නිසා, තාක්ෂණික උද්‍යාණය නැරඹීම සදහා පූර්ව අනුමැතිය ලබාගැනීම වැදගත්.  තාක්ෂණික උද්‍යාණය සම්බන්ධ කරගැනීම සදහා 011-2234267 යන ඍජු දුරකථන අංකය හෝ 011-2236284 011-2236384 යන දුරකථන අංක සමග 414 දිගුව ඉල්ලා සිටීම හෝ techno@nerdc.lk යන විද්‍යුත් ලිපිනය ඔබට භාවිතා කරන්න පුළුවන්.

 කර්මාන්ත උද්‍යාණය ඇතුලත දර්ශනයක් 

 අපේ අදහස
ඉතින් තවත් මෙවන් තාක්ෂණය සමග බැි තොරතුරු මිටක් සමගින් සත්දිනකින් නැවත හමුවෙමු. ඔබට සුභ සතියක්.

Monday, January 9, 2012

ඔබ ඉඩමක් මිලටගැන්මට සිහිනමවයිනම් මේ ලිපිය ඔබටයි. - 2


මෙහි මුල් කොටස කියවීම සදහා   මෙතන කොටන්න.



අප මෙතෙක් කථාකලේ ඉඩමක් මිලදීගැනීමේදී  සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් පිලිඔදවයි. අපේ රටේ බොහෝදෙනකු ජොතිෂ්‍යය විශ්වාස කරනා අය බැවින් පැහැදිලි විද්‍යාත්මක පදනමක් ඇතැයි සැලකෙන සහ වියදමට ඍජුලෙස බලපාන ඇතැම් ජොතිෂ්‍යය කාරණාද මෙයට ඇතුලත්කරන ලද බව කරුණාවෙන් සලකන්න.

  • පූජ්‍ය ස්ථානයකට, සොහොනකට, මංසන්ධියකට, වගුරුබිමකට එකෙල්ලේ මුහුණලා පවතින ඉඩම් පදිංචිය සදහා උචිත නොවීමට ඉඩඇත.

  • ඉඩමක හැඩය ආයත චතුරස්‍ර (Rectangular) වීම වඩාත් ඵලදායී වේ. ත්‍රිකෝණාකාර හෝ පාද 4 ට වැඩි බහුඅස්‍රාකාර ඉඩමක ඉඩකඩ අපතේ යාම වැඩිවියහැක. 

  • තාක්ෂණික වශයෙන් ඉඩමෙහි වැසි ජලය බැස යාමේ ස්වාභාවික ක්‍රියා පිලිවෙත පිලිඹදවත්, ගංවතුර තර්ජන මට්ටම පිලිඹදවත්, පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් හෝ අපද්‍රව්‍ය බැහැරකිරීමේ පහසුකම් සැපයෙන්නේ නැති නම් පසෙහි ජලමට්ටම පිලිඹදවත් පසෙහි ස්වභාවය පිලිඔදවත් සැලකිම වැදගත්. මේ ගැන තව ටිකක් සවිස්තරව කථාකලොත්,

    • ඔබේ ඉඩම ගංවතුර තර්ජනයට ලක්වේනම් ඒ සදහා පූර්ව පිලියම් යෙදීමට නිවස තැනීමේදී අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත

    • වැසිකාලයන්හිදී පසෙහි ජලමට්ටම පොලව මතුපිට හා ඉතා ආසන්න වේ නම් වැසිකිලි අපද්‍රව්‍ය බැහැරකිරීමේ පද්ධතියෙහි ගැටළු ඇතිවනු ඇත. එ සදහා ඔබට අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

    • ඉඩමෙහි එකතුවන වැසිජලය ස්වාභාවික ලෙස බැසයාමේ ක්‍රියාවලිය බාදාවකින් තොරව සිදුවේදැයි සැකහැර ගතයුතුය. නැතහොත් එයද ඔබට අමතර පිරිවැයක් දැරීමට සිදුවන කාරණයක් වනු ඇත.

    • පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් නොමැති නම් භූමියෙහි ජල මට්ටම මධ්‍යම ගැඹුරකින් පැවතීමත් ජලයෙහි පරිභෝජන යෝග්‍යතාවත් ඉතා වැදගත් සාධක වනු ඇත. ගැඹුරු ලිංකට්ටලයක් යනු ජීවිත කාලයටම ඔබේ විදුලිබිල වැඩිකරන ඇටවුමකි. 

    • ගොඩනැගිලි ඉදිකිරීම සදහා බොරළු පොලවක් පැවතීම ඉතා වාසිදායකය. මක් නිසාද යත් ශක්තියෙන් වැඩි බැවින් අත්තිවාරම් සදහා වියදම් අඩු සරල ව්‍යුහ යොදාගත හැකි වීමත්, බොහෝවිට පරිභෝජනයට යෝග්‍ය ජලය පැවතීමත්, පශ්චාත් ගිලාබැසීම් වලින් සිදුවන ඉරිතැලීම් වලින් ඔබේ නිවස බොහෝදුරට ආරක්ෂාවීමත් ආදිය දැක්විය හැක. නමුදු බොරළු පසක් සහිතව ඔබ මිලදීගන්නා ඉඩම පිටතින් ගෙනන ලද පසින් පුරවා සකසන ලද සාවද්‍ය බොරළු පොලවක් නොවන බවටත්, නියං කාලවලදී සිදීයන ජල පහසුව අඩු පොලවක් නොවන බවටත් සැකහැර දැනගත යුතුවෙනවා.

    • මේ හැරෙන්නට තදමැටි, මධ්‍යම තදමැටි, මධ්‍යම තද වැලි යන කවර පසක් වුවද සාමාන්‍ය තත්වය යටතේ, ඉදිකිරීම් කටයුතු සදහා යෝග්‍ය වේ. කෙසේවුවද ඉතා ලිහිල් මැටි හෝ ඉතා ලිහිල් වැලිපොලවක් පැවතීම ඉදිකිරීම් වියදම ඉතා විශාල ලෙස ඉහල දමනුලබන අතර මතුපිට පස් ස්ථරයට අඩි කිහිපයක් යටින් නොදිරූ ද්‍රව්‍ය සහිත දුර්වල පස් ස්ථරයක් (Peat) පවතීනම් තත්වය වඩාත් බැරෑරුම් වනු ඇත. 


  • කෙසේ වුවද මේ වනවිට ඔබ සතුව ඉඩමක් පවතීනම් එහි පසෙහි තත්වය පිලිඹදව කණගාටු වියයුතුනොවේ. මක්නිසාදයත් පවතින ඕනෑම බිමක නිවාස ඉදිකිරීමක් සිදුකල හැකි නූතන ඉංජිනේරු ශිල්ප ක්‍රම බොහොමයක් පවතින බැවිනි. මෙහිදී දුර්වල පස වැඩිදියුණු කිරීම හෝ විකල්ප අත්තිවාරම් ක්‍රමයක් උපයෝගී කරගැනීම හෝ මෙම පියවරයන් දෙකම හෝ උපයෝගී කරගනු ඇත. නමුදු එවන් අවස්ථාවකදී පලපුරුදු ඉංජිනේරු වරයකුගේ සහය අනිවාර්යයෙන් ලබාගතයුතු බවද වැඩිදුරටත් සදහන් කලයුතුවේ. 
 ඉදිකිරීම් ක්ෂේත්‍රය සමග බැදි තවත් අළුත් යමක් ගැන තොරතුරු සමගින් නැවත හමුවනතුරු ඔබ සැමට සුභ සතියක් !

Wednesday, September 28, 2011

NERD technology

NERD
National Engineering Research and Development Centre of Sri Lanka.
2P/17B, IDB Industrial Estate, Ekala,
Ja-Ela , Sri Lanka. 



නර්ඩ් මධ්‍යස්ථානය.
(ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය)
කාර්මික ජනපදය,
ඒකල,
ජාඇල.