Showing posts with label අඩුවියදම් නිවාස. Show all posts
Showing posts with label අඩුවියදම් නිවාස. Show all posts

Friday, December 21, 2012

කොන්ක්‍රීට් තලයක් ඉදිකිරීමේ ICC ශිල්පක්‍රම



දෙසැම්බර් මාසයත් ඉවරයි. අළුත් පෝස්ටුවක් ඉක්මනින් දෙන්න උවමනාව තිබ්බත්, සුපුරුදු විදිහටම වැඩේ කල්ගියා. කොහොම වුනත් “අද නම් මේවැඩේ අහවරකර මිස නොනැගිටිමි“ යන තදබල සිතුවිල්ලකින් ලිවීම ආරම්භකලා ඔන්න.


පසුගිය පෝස්ටු ගනනාවක් තිස්සේම අපේ කථාබහට ලක්වුනේ, අද දවසේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අසමසම ඉදිකිරීම් ද්‍රව්‍ය විදිහට අවිවාදයෙන් පිලිගැනෙන කොන්ක්‍රීට් පිලිබදවයි. කොන්ක්‍රීට් වල සංයුතිය සහ ශක්තිය පිලිබදව සාකච්ඡාවට ලක්වියයුතු තාක්ෂණික කාරණා බොහොමයක් තවදුරටත් ඉතිරිව තිබුනත්, නිවාස සදහා ඉදිකෙරෙන කොන්ක්‍රීට් තලයන් (slab ) පිලිබදව දැනුම ලබාදෙන ලිපියක් පලවනතෙක් බලාසිටින හිතවතුන්ගේ ඉල්ලීමක් සපුරමින් අද දවසේ ලිපිය ICC   අයතනයේ SBS pre-pressed slab ක්‍රමය ගැන කථාකරන්න හිතුවා.


ICC කිව්ව ගමන් හැමෝටම මතක්වෙන්නේ ක්‍රිකට් නොවැ. ඒත් මේ ICC එක එයට වෙනස්. මෙතනදී ICC කියන්නේ International Construction Consortium (Pvt) Ltd කියන ආයතනයයි. මේක ලංකාවේ ප්‍රමුඛපෙලේ ඉදිකිරීම් සමාගමක්. ඔවුන් විසින් ලාංකීය ජනතාවට හදුන්වාදුන් කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ අඩුවියදම් ශිල්පක්‍රමය පිලිබදව, ඔබගේ දැනුමට අමතර යමක් එකතුකරන්නයි මේසන්බාස්ගේ අද දවසේ බලාපොරොත්තුව.




කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ  ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙකක් හදුනාගන්න පුළුවන්. හැමෝටම පහසුවෙන්න ඒ ආකාර දෙක, බාහිර පෙනුම පදනම්කරගෙන පැහැදිලි කරන්නම්. ඒ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත (දලඹ / soffit ) සමතලව පිහිටන SBS (Suspended Beam Slab) ආකාරය සහ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත සමතලව නොපිහිටන  ESS (Easy Slab System) ආකාරයයි.



අවශ්‍ය ද්‍රව්‍ය :


1.       මේ ආකාර දෙකේදීම යටිකුරු කරනලද ඉංග්‍රිසි T අක්ෂරයේ  හැඩයට සමාන ආකාරයෙන් විශේෂ කොන්ක්‍රීට් අංගන තුල සකස්කරනලද පෙර-ආතතීකරිත කොන්ක්‍රීට් තලාඳ භාවිතා කෙරේ.  මේවා G.40  ප්‍රමාණයේ ශක්තියක් දරන බවද කියැවේ.
 
T තලාද සහ Soffit block

 

2.       තලාඳ අතර හිදැස පිරවීම සඳහා Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්)  විශේෂයක් යොදාගැනේ. ඒවා G.10  ප්‍රමාණයේ ශක්තියක් දරන බව කියැවෙන අතර කුහරයන් විදුලි තත් ඇදීම කටයුතු සදහා යොදාගත හැකිවේ.

 


3.       බෙදාහැරීමේ වැරගැන්නුම් වශයෙන්  10 SWG,  2”x2” කොටුදැල් ( GI welded mesh) භාවිතා කෙරේ.

 

4.       මතුපිට යොදනුලබන ව්‍යුහාත්මක කොන්ක්‍රීටය වශයෙන් 2” ඝණකම G. 20 කොන්ක්‍රීටයක් යොදාගැනේ.

 

ඉදිකොටඇති නිවසකට කොන්ක්‍රීට් තලයක් අළුතින් එකතුකිරීම


කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ  ICC ශිල්පක්‍රම


මෙවන් කොන්ක්‍රීට් තලයක්, ශක්තිමත් අත්තිවාරමක් මත නිසිලෙස ඉදිකරනලද,  9“ ගඩොල්බිත්ති ආධාරකොටගෙන පමණක්වුව (කොන්ක්‍රීට් කණු රහිතව) ඉදිකලහැකිය. එහිදී 9“ ගඩොල්බිත්ති මත ඉදිකරනලද  9”x4” තුනී කොන්ක්‍රීට් tie beam එකක් මත, 23” (හරියටම කිව්වොත් 572mm) පරතරයට  T තලාඳ  එලනු ලැබේ. අනතුරුව T තලාඳ  සියල්ල සඳහා, යටින් යොදනලද හරස් තලාදයක් සහ මුක්කු පෙලකින් ආධාරක සපයනුලබයි. 

වැදගත් තොරතුරු


එලනලද T- තලාඳ අතර හිදැස පිරවීම සඳහා යොදාගැනෙන ද්‍රව්‍ය අනුව  ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙක තීරණයවේ. 


SBS (Suspended Beam Slab) ආකාරය


පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්)  විශේෂයවේ

Soffit block ඇතිරීමෙන් පසු




ESS (Easy Slab System) ආකාරය


පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit planks නමින් හදුන්වනු ලබන සිමෙන්ති බදාමයෙන් සහ තුනී යකඩ දැලක් ඇසුරින් සකස්කරනලද විශේෂ හැඩයකින් යුතු පනේල(ලෑලි)  විශේෂයකි








මෙසේ සකස්කරගත් මතුපිට මත  2”x2” කොටුදැල් එලා, ඒ මත 2” ඝණකම 1:2:4 (3/4”)කොන්ක්‍රීටයක් (G. 20) යොදා කොන්ක්‍රීට් තලයෙහි ඉදිකිරීම් අවසන්කරනු ලැබේ.





වාසි.

1.       නිෂ්පාදකයා පවසන ආකාරයට සම්ප්‍රදායික ක්‍රමයට සාපේක්ෂව මෙහි 30% ක වියදම් ඉතිරියක් පවතී.  (මෙම අගය ලබාගැනීම සදහා, බිත්ති ඉදිකිරීමේදී ව්‍යුහාත්මක කණු භාවිතා නොකිරීමෙන් ඉතිරිකරගතහැකි මුදලත් ඇතුලත්කර ඇතිබව ඇතිබව පෙනේ)



2.       පුහුණු ශ්‍රමිකයන් වඩා අඩුවෙන් භාවිතාකලහැකි වීම. (පුහුණු ශ්‍රමිකයන්ගේ සේවය මිල අධිකය)



3.       හැඩයම් (shuttering ) භාවිතයක් සිදුනොවීමත්, පෙරසවි උපාංග කල්තබා ඇණවුම්කර සාදාගතහැකිවිමත් හේතුවෙන් ඉදිකිරීම් සදහා ගතවන කාලය සාපේක්ෂව අඩුවීම.



4.       සමස්ථ කොන්ක්‍රීට් තලයම සාපේක්‍ෂව බරින් අඩුවීම.



5.       දලඹ කපරාරුවක් අනවශ්‍ය වීම.








සැලකිය යුතුයි



1.       මෙම ශිල්පක්‍රමය හදුන්වා දුන් International Construction Consortium (Pvt) Ltd ආයතනය, අදාල ශිල්පක්‍රමය යටතේ කුඩාපරිමාණ ඉදිකිරීම් භාරනොගන්නා අතර උපාංග සපයාදීම පමණක් සිදුකෙරේ. ඉදිකිරීම් කටයුතු ඔබගේ දැනට ඉදිකිරීම් සිදුකරන ශ්‍රම කොන්ත්‍රාත්කරුවකු ලවා සිදුකරගන්නාලෙස උපදෙස් ලබාදේ. කෙසේ වෙතත් අවශ්‍ය පෙරසවි උපාංග වල ප්‍රමාණ සහ මිනුම් ලබාගැනීම සදහා ඔවුන් ඔබට සහය වනුඇත.



2.       ආයතනය වානිජ පරමාර්ථ සහිතව ක්‍රියාත්මක වන්නක් බැවින් ඔවුන්ගේ පෙරසවි උපාංග අලෙවිකරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරඇතිබවක් පෙනේ. ඒ අනුව මෙහිදී ඔවුන් ගණනය කර ඔබට පෙන්වනු ලබන 30% ක වියදම් ඉතිරිය, ප්‍රායෝගිකව ඔබට අත්වනබවට සහතික කල නොහැකිබව සැලකිය යුතුය.



3.       වානිජ ගොඩනැගිලි සදහා යොදාගැනීමේදී මෙම ශිල්පක්‍රමයෙහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය වේ. (නිද. ලෙස ද්විත්ව වශයෙන් T- තලාඳ යෙදීම)  ඒ සදහා ආයතනයේ නිලධාරි මහතුන් ඔබට සහය වනුඇත.



4.       මෙවන් කොන්ක්‍රීට් තලයක්මත, එයට පහලින් බිත්තියක හෝ ව්‍යුහාත්මක තලාඳයක සහයක් නොමැතිව, පලමු මහලේ කාමර වෙන්කිරීමේ බිත්තියක් හෝ ඉදිකිරීම  නොකලයුතුය.



5.       T- තලාඳ ප්‍රවාහනය, බෑම සහ හැසරවීම පිලිබඳ ඔබේ ඉදිකිරීම් ශිල්පියාව දැනුවත් කරගත යුතුය. 



6.       බැල්කනි ඉදිකිරීම සදහා තට්ටුව පමණක් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන්නීමේ හැකියාවක් නැති අතර එවන් අවස්ථා වලදී ව්‍යුහාත්මක තලාඳයක සහය අවශ්‍ය වේ.


ආයතනය ගැන විස්තර




නැවතත් මෙවන් අඩුවියදම් ඉදිකිරීම් ශිල්පක්‍රමයක තොරතුරු සමගින් 2013 වසරේදී හමුවෙමු. ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා !

Tuesday, September 4, 2012

කොන්ක්‍රීට් ගැන වැඩියමක් - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (කොන්ක්‍රීට් -2)


නිවාස ඉදිකිරීමේදී හැමෝටම වැදගත්වෙන දෙයක් තමයි කොන්ක්‍රීට්. එහෙම වුනත් තමන්ගේ සිහින නිවාසය ඉදිකිරීමේදී කොන්ක්‍රීට් සම්බන්ධ කාරණා වලදී නොදැනුවත්කම නිසාම බොහෝදෙනකු අමාරුවේ වැටෙනවා. නිවාස ඉදිකිරීමේ පිරිමැසුම්දායක තාක්ෂණයන් ගැන සොයමින්යන අපගේ තාක්ෂණික චාරිකාවේ මීලඟ නවාතැන මහල් නිවාස සදහා කොන්ක්‍රිට් තලය (Concrete floor slab) ඉදිකිරීම වනනිසා, එයට කලින් මෙය කියවන ඔබ කොන්ක්‍රිට් පිලිබඳ මූලික දැනුවත්වීමක් ලබාසිටීම වැදගත්.  ඒ නිසා අද දවස කොන්ක්‍රීට් හා සම්බන්ධ නිවැරදි තාක්ෂණික කාරණා කිහිපයක් වෙනුවෙන් වෙන්කරන්න හිතුවා. හැබැයි ඉතින් මේක තාක්ෂණික පාඩමක් නොවන නිසාත්, විවිධ මට්ටම්වල උදවිය මේක කියවන නිසාත් අතු ඉති කපලා හැකිතරම් සරලව අවශ්‍ය දේවල් විතරක් කියන්නම්. වැඩි විස්තර උවමනා අයට කොමෙන්ටුවකින් හරි මගේ විද්‍යුත් ලිපිණයට විදි ඊයකින් හරි විමසන්න කියලා ආරාධනා කරනවා.

මේ වගේ යන්ත්‍රයක් තියෙනවනම් ගෙදර වැඩට ඉහටත් උඩින්

කාටත් තේරෙන විදිහට කිව්වොතින්,  කොන්ක්‍රීටයක් කියන්නේ සිමෙන්ති, වැලි, ජලය සහ කුඩාවට කඩාගන්නා ලද කළුගල් (මෙටල්) යම් නිෂ්චිත අනුපාතයකට මිශ්‍රකර සකස්කරගනු ලබන කෘත්‍රිම ගල්විශේෂයක්. ආරම්භක අවස්ථාවේදී එය තැන්පත් කරනු ලබන අච්චුවෙහි හැඩය ලැබගන්නා.., ගරාවැටෙනසුළු අර්ධ ඝණ තත්වයේ පැවතුනත්, යම් නිෂ්චිත කාල පරාසයකට පසුව ඉතා ශක්තිමත් ඝණ ද්‍රව්‍යයක් බවට මුළුමනින්ම පරිවර්ථනයවීම මෙහි එක් විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. සාපේක්ෂව මිලෙන් අඩු වීමත්, භාවිතයේ ඇති පහසුවත් ඒවගේම කාර්මික මට්ටමේ යෙදීම් වලදී  යම්යම් අමතර සංඝටක එකතුකිරීමෙන් කොන්ක්‍රීටයේ ආවේනික ගතිගුණ වෙනස්කරන්න එහෙමත් නැතිනම් වැඩිදියුණු කරන්න තියෙන හැකියාවත් නූතන ඉදිකිරීම් සදහා ජනප්‍රියම අමුද්‍රව්‍යයක් බවට එය ඔසවාතබන්නට හේතුවන්නට ඇති. 

මේකට කියන්නේ යාන්ත්‍රික ගිලුම් කම්පකය කියලායි

නිවසක් ඉදිකිරීමේදී යොදාගැනෙන කොන්ක්‍රීට් වර්ග අපට ප්‍රධාන වර්ග දෙකකින් දැකගන්න පුළුවන්. එනම් කම්බි යොදාගැනෙනු ලබන කොන්ක්‍රීට් සහ කම්බි යොදාගනු නොලබන කොන්ක්‍රීට් වශයෙනුයි. මේවා වඩා තාක්ෂණිකව හැදින්වුවහොත් වැරගැන්නුම් (reinforcement) භාවිතා කරන එනම් ව්‍යුහාත්මක (Structural) කොන්ක්‍රීට් සහ වැරගැන්නුම් භාවිතා නොකරන එනම් ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට දක්වන්න පුළුවන්.
නිවසක ගෙබිම සඳහා යොදන කොන්ක්‍රීටය, එතකොට මහල් නිවාස අත්තිවාරමක නම් පතුලට යොදන නිසරු කොන්ක්‍රීටය(Screed) මෙවන්  ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට හදුන්වන්න පුළුවන්. මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:3:6(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙහි වරහන් තුල දක්වා ඇත්තේ මෙටල් වල හරස්කඩ ප්‍රමාණයයි. මෙම මිශ්‍රණය G.15 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 15N/mm2   ක සම්පීඩන ශක්තියක් ලබාගන්නා බවයි. කොහොම වුනත් ඔබේ නිවස ඉදිකරණුලබන පෙදරේරු මහතා ඉහත කී මිශ්‍රණයට 1:3:5(3/4”) ලෙසින් මඳක් අඩු මෙටල් ප්‍රමාණයක් භාවිතා කලාට බරපතල හාණියක් සිදුනොවන බව සැලකීම වැදගත්.

අය්යලා දෙන්නා කොන්ක්‍රීට් දානවා

නිවසක කණුපාදම්(Column bases), කොන්ක්‍රීට් කණු(Column) , ලින්ටල(Lintels), කොන්ක්‍රීට් තලාඳ (Beam) සහ කොන්ක්‍රීට් තලය (Slab) ප්‍රධාන වශයෙන්ම ව්‍යුහාත්මක කොන්ක්‍රීට් භාවිතාවන අවස්ථා විදිහට හදුන්වන්න පුළුවන්. අපේරටේ නිවසක් ඉදිකිරීම බොහෝවිට කාර්මික ඉදිකිරීම් ඝණයට නොවැටෙන නිසා, මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:2:4(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙම මිශ්‍රණය G.20 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 20N/mm2   ක සම්පීඩන ශක්තියක් අවම වශයෙන් ලබාගන්නා බවයි. කොහොම වුනත් ගෘහස්තමය ඉදිකිරිම් වලදි අපේරටේ මෙම මිශ්‍රණය භාවිතා කෙරෙනුයේ සි:වැ:ගල් 1:2:3(3/4”) වශයෙනුයි. පෙදරේරු මහතුන් අතර මහත්සේ ජනප්‍රිය 1:2:3 මිශ්‍රණය කියන්නේත් මෙයටම තමයි.

ගිල්ලුම් කම්පකය යොදාගන්නේ මෙහෙමයි

මෙසේ වැරදි අනුපාතයකට අමුද්‍රව්‍ය යොදාගැනීම නිසාවෙන් මිශ්‍රණය සඳහා භාවිතාවන මෙටල් ප්‍රමාණය 25%කින් පමණ අඩුවීමක් සිදුවනබව හිතන්න පුළුවන්. ඉතින් ඒ හේතුකොටගෙන, ඉදිකරනු ලබන කොන්ක්‍රීට් ව්‍යුහයේ ශක්තිය අඩුවිමත්, සිමෙන්ති, වැලි ආදි අනෙකුත් අමුදුව්‍ය සදහා වන පිරිවැය වැඩිවිමත් යන අවාසි අත්විදින්න ඔබට සිදුවෙන්න පුළුවන්. කොහොමවුනත් තාක්ෂණිකව මෙවන් මිශ්‍රණ අනුපාතයන් සකස්කර ඇත්තේ හොදින් ඇසුරුණ රළුසමාහාරක (Coarse Aggregate (rock)මෙටල්) අතර හිදැස් සියල්ල සියුම් සමාහාරක(Fine Aggregate (sand)වැලි) සහ න්‍යාසය (Matrix සිමෙන්ති) අංශුන්ගෙන් පිරී සිදුරු රහිත ඝණයක් ඇතිවන ලෙසයි. ඒත් එහෙමය කියලා නියම අනුපාතයටම මෙටල් එකතුකරන්න බලකලොත්, යාන්ත්‍රික ගිලුම් කම්පක (Poker vibrator) නොමැතිව අතින් “කොන්ක්‍රීට්-කොටන“  ඔබේ පෙදරේරු මහතා, කොන්ක්‍රීට් ව්‍යුහයතුල මීවද ආකාරයේ සිදුරු (Honey comb) ඉතුරුකරමින් එය වඩාත් දුර්වලඑකක් බවට පත්කරගන්නවා නොඅනුමානයි.

කම්පනය කරනකොට මිශ්‍රණයේ හිරවෙලා උන්න හුලං බෝල පිටවෙන්නේ මෙන්න මෙහෙමයි.

කොහොම වුනත් කොන්ක්‍රීට් වල තත්වපාලනය ගැන ගොඩක්දේවල් අද කථාකරන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් බරපතල විෂයයක්. ඒ වගේම විචල්‍ය ගණනාවක් තියෙන නිසා යමෙකු ඒවා ගැන මතුපිටින් විතරක් දැනගෙන, තීන්දු තීරණ ගන්න යනඑක එච්චරම නුවනට හුරුදෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඇතැමිවිට බොහෝ භයානක ප්‍රතිපල ගෙනඑන්නත් එවන් තීරණයක් හේතුවෙන්න පුළුවන්.   කවුරුත් දන්න සරල උදාහරණයක් ගත්තොත් බොහෝ පෙදරේරු මහතුන් පවා විශ්වාස කරන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයකට කොපමණ ජලය එකතුවුනත් ගැටළුවක් නැතිය කියලයි. ඒත් සැබැවින්ම ඒක එහෙම නෙමෙයි. මොකද ඒසදහා ප්‍රශස්ථ ජල සිමෙන්ති අනුපාතයක් තියෙනවා. එයට වඩා වැඩිපුර එකතුවන ජලප්‍රමාණය වාෂ්පවීයාමෙන් අනතුරුව කොන්ක්‍රීටයක ඇසට නොපෙනෙන තරම් සියුම් සිදුරු ඉතුරුකරමින්, මිවද තත්වය ඇතිකරනු ලබනවා. මේ නිසාම මගේ අවවාදය, ඔබ ගමන්ගන්නේ ඔබ ඉතාහොදින් දන්නා මාර්ගයක නොවේනම්, මාර්ගෝපදේශකයකු සදහා ඔබ කරන වියදම, වියදමක් නොව සැබැවින්ම ආයෝජනයක්ය යන්නය. 

ඔන්න මීවද

ඊතල වලින් දැක්වෙන්නේ


මේ තියෙන්නේ බාස්ලාගේ වැඩ ?


පෝස්ටුව දිගවැඩියි. ඒ නිසා කොන්ක්‍රීට් පිලිබඳ තවත් තොරතුරු  බිඳක් සමගින් සත්දිනකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මෙතනින් සමුගන්නවා. ඔබ සැමට සුභ සතියක්.

ප.ලි.
මෙහි පලකරනලද ඡායාරූප සියල්ල අන්තර්ජාලය ඇසුරින් ලබාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න. 

ප.ප.ලි.
සිමෙන්තිත් ඔන්න වැඩිවෙලාලු !

Thursday, June 14, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -2)


අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්.  එහෙම වුනත් ඒ සදහා දැරීමට සිදුවන අධික පිරිවැයත්, හොද දැව සපයාගැනීමේ අපහසුතාවයත් යන කාරණා මත ඇතැම් නිර්මාණශිල්පීන් තම නිර්මාණ සදහා දැවමය දොර සහ ජනෙල් රාමු වෙනුවට යම් යම් විකල්පවෙත අවධානය යොමුකර තිබෙන අවස්ථා විරල නැහැ. මගේ පෞද්ගලික මතයනම් මේ ප්‍රවනතාවය, ඉතාම සාධනීය ලක්‍ෂණයක්ය කියනඑකයි. ඒමොකද ඒ මගින් තම සේවාදායකයන්ට මූල්‍යමය ඉතිරියක් සිදුකරනුලබන අතරම රටේ වනගහනය සුරැකීම සඳහාද යම් දායකත්වයක් එමගින් සැපයෙන නිසයි. නිර්මාණශිල්පීන් යොදාගන්නා විකල්ප අතරින්, කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඉතිං අද දවසේ අපේ අරමුණ, ‍ දැව සදහා විකල්පයක් විදිහට කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු කොතෙක්දුරට සාර්ථකද යන්න විමසා බැලීමයි.

යාපහුව රජමාලිගාවේ ගල් උළුවස්සක්

පෙරසවි කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු පලමුවරට හදුන්වාදුන්නේ දැනට අවුරුදු 30 කට විතර කලිනුයි.  ඒ එවකට ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) හි පලමු සභාපතිත්වය දරපු, ලංකාවේ හිටපු කීර්තිමත් ඉංජිනේරුවරයකුවූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හැබැයි රාමු විතරක් නෙමෙයි, ඒ කාලේ දොර සහ ජනෙල් පියන් පවා කොන්ක්‍රිට් වලින් සාදනු ලැබුවා. ඒත් අසමාන්‍ය ලෙස බරින්වැඩිවූ පෙරෝසිමෙන්තියෙන් තැනි දොර සහ ජනෙල් පියන්, ප්‍රායෝගික යෙදවීමක් විදිහට බොහෝදෙනෙක් පිලිගත්තේ නැහැ. ඒත් මේ ගැන විවේචනාත්මකව කථාකල හැමෝටම “දොර පියන බර වුනාට..., ඒක තමුසෙලා උස්සගෙන ඉන්න ඕන නැහැනේ... ඒකට තමයි සරනේරු තියෙන්නේ“ වාගේ තදබල ගෝරණාඩුවකට ලක්වන්නට නම් සිද්ධවුණා.


මේකත් යාපහුවේ


කොහොමවුනත් ක්‍ෂේත්‍රයේ විවිධ පරීක්ෂණ සහ වැඩිදියුණුකිරීම් රැසකට බඳුන්වූ කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදන ක්‍රියාවලිය, අද වනවිට ගුණාත්මක අතින් බොහෝදැවමය දොර සහ ජනෙල් රාමු හා සම මට්ටමකටම පත්වීමට හැකියාව ලබා තියෙනවා. ඒ නිසාම මුලදී අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන් තැනූ  අඩුවියදම් ගොඩනැගිලි සඳහා පමණක් යොදාගත් කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු, අද වනවිට බොහොමයක් මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම්වලදී සේම අර්ධ සුඛෝපභෝගී සහ ඇතැම් විට සුඛෝපභෝගී නිවාස සදහාද යොදාගැනෙනු දකින්න පුළුවන්. ඒ අනුව සැලකියයුතු දැව ප්‍රමාණයක් රටට ඉතිරිකරදෙන්නට මේ ගුණාත්මක පෙරලිය ඉවහල්වෙලා තියෙනවා.

ඔන්න කොන්ක්‍රීට් ජනේල


මුල් කාලේ ඉදන්ම කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න තිබුණ ප්‍රධාන දුර්වලතාවයක් වුනේ අසවු (සරනේරු) සවිවන ලී කට්ට (ප්ලග්) පසුකාලීනව ගැලවීයාමේ හැකියාවක් තිබීම සහ හාණිවූ එවැන්නක් ප්‍රතිස්ථාපනය කිරීමට තිබූ නොහැකියාවයි. ඒත් නුතන නිෂ්පාදනයන්හි මෙම ප්ලග් සියල්ල නොම්මර 1 කොස් දැවයෙන් යොදාගැනෙන බැවින් හාණිවීමේ හැකියාව අවමවීඇති අතර ගැලවීයාම වැලැක්වීමටද සුවිශේෂී උපක්‍රම යොදා තිබෙනු දකින්න පුළුවන්. එයට අමතරව යම් හෙයකින් ලී කට්ටයක් හාණියට පත්වුවහොත් එය ගලවා අළුත් කට්ටයක් මාරුකිරීමේ පහසුවද සලසාතිබේ.


මේක කොන්ක්‍රීට්


පළුදු පිලිසකර කිරීමේ අපහසුතාවය කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න ලැබුන තවත් දුර්වලතාවයක් විදිහට හදුන්වන්න පුළුවන්. ඒත් අද වනවිට ඒ සදහා යොදාගතහැකි විවිධ රසායන සහ පිරවුම් වර්ග විවෘත වෙලදපලෙහි පහසුවෙන් සපයාගතහැකි බැවින් ඒ තත්වය  දුර්වලතාවයක් විදිහට තවදුරටත් සැලකෙන්නේ නැහැ.



මුල් යුගයේදී දොර සහ ජනෙල් රාමු බරින් වැඩිවීම නිසා ප්‍රවාහනයේ සහ හැසිරවීමේ අපහසුතා පැවතියද නූතන නිෂ්පාදන බොහොමයක් කොටස් වශයෙන් නිෂ්පාදනය කර වැඩබිමෙහිදී එකලස් කිරීමේ පහසුකම සපයා ඇතිබැවින් ඒවා අපහසුතා ලෙස සැලකෙන්නේ නැහැ. දැවමය දොර සහ ජනෙල් රාමු මෙන් නොව කොන්ක්‍රිට් ප්‍රවාහණය සදහා බලපත්‍ර අවශ්‍ය නොවීම නාගරිකව සිදුවන ඉදිකිරීමකදී කැපීපෙනෙන වාසි අත්කරදෙන්නක්බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.


මේ උළුවස්සත් කොන්ක්‍රීට්

මුල් යුගයේදී නිෂ්පාදන බොහොමයක් රළු නිමාවකින් යුක්තවූ අතර වැඩබිමේදී අමතර පරිශ්‍රමයක් දරමින් පින්තාරු කිරීම සදහා සකසාගත යුතුවුණා. ඒත් නූතන නිෂ්පාදනයන් ඉතා උසස් නිමාවකින් වෙලදපලට නිකුත්කෙරෙන හෙයින් පින්තාරු කිරීම සඳහා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවන්නේ නැහැ.  අවශ්‍යනම් විසරි-තීන්ත ආලේපන (ස්ප්‍රේ) කිරීමේ හැකියාවද පවතිනබව තමයි කියන්න තියෙන්නේ. (තීන්ත ආලේපන සමග බැඳුන තාක්ෂණික කාරණා ගැන ඉදිරි පෝස්ටුවකින් කියන්නම්.)



මේවා හැරුණහම කොන්ක්‍රීට් දොර සහ ජනෙල් රාමු යොදාගැනීමේ වාසි ගැනත් යමක් කියන්න ඕන.

පලමුවැන්න, පිරිමැසුම්දායකබවයි. කෙටියෙන් කිව්වොත් නිවසක සම්ප්‍රදායික දැවමය දොර සහ ජනෙල් රාමු සදහා යන වියදමින් 40% ක ඉතිරියක් මෙමගින් ලබාගන්න පුළුවන්.

දෙවැන්න විදිහට බොහොමයක් අවස්ථා වලදී අදාල දොර/ජනෙල් කවුළුවට ඉහලින් කොන්ක්‍රිට් ලිංටලයක් ඉදිකිරීම අවශ්‍ය නොවීම දක්වන්න පුළුවන්.



තුන්වැන්න විදිහට ආර්ද්‍රතාවය කෙරෙහි දොර සහ ජනෙල් රාමුවෙහි ප්‍රතිචාරය අවම මට්ටමක පැවතීම පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොන්ක්‍රිට් රාමුවක වැසිකාලයට පියන් හිරවීමට හෝ වියලි කාලයට ඉඩයාමට තියෙන හැකියාව ඉතා අවම මට්ටමක තමයි පවතින්නේ. මේ හේතුවෙන් ආර්ද්‍රතාවය කෙරෙහි වැඩිසංවේදීතාවක් දක්වන මහෝගනීවැනි මිලෙන් අඩුදැවයක් වුනත් සාර්ථකව පියන් සදහා උපයෝගීකරගැනීමේ හැකියාව ලබාදීලා තියෙනවා.



සිව්වැන්න විදිහට තෙතමනය සදහා සාපේක්ෂව වැඩි ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කිරීම දක්වන්න පුළුවන්. බොහෝදුරට නිතර වැසිබිඳිති වලින් බැටකන ස්ථානයන් සදහා වායුහුවමාරුවට පහසුකම් (ලූවර) සහිත ස්ථිරව සවිකල වීදුරු (Fixed glass with louvers) සඳහා කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ලාබදායීම විකල්පය විදිහට හදුන්වන්න පුළුවන්. 



පස්වැන්න විදිහට දැඩි හිරුරැසට ඔරොත්තුදීමේ හැකියාව සලකන්න පුළුවන්. මේ හේතුව නිසාම ගොඩනැගිල්ලේ බිත්ති ඉදිකිරීමේදී කෙලින්ම දොර සහ ජනෙල් රාමු සවිකරමින්ම බිත්ති ඉදිකිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. 



සයවැන්න, (මගේ පෞද්ගලික මතයට අනුව වැදගත්ම වාසිය විදිහට) රටේ වනගහනය සුරැකීම සඳහා එමගින් ලැබෙන දායකත්වය දක්වන්න පුළුවන්.



කාරණා රැසක් ඔය විදිහට පෙලගැස්වූවාට මොකද කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදනයෙහි අදටත් විසදීනැති ගැටළුත් තියෙනවා. ඒවා ගැනත් යම් පමණකින් ඔබව දැනුවත් කිරීම මගේ යුතුකමක්නේ.  ඒ අතරින් ලොකුම ගැටළුව තමයි මෙම උපාංග නිෂ්පාදකයන් අතර ඒ ඒ රාමුවල ප්‍රමාණයන්(පලලXඋස), අවසන් නිමාව, ශක්තිය, සංයුතිය ආදී තත්වයන් පිළිබදව සම්මතයක් පවත්වාගෙන නොයෑම. කුඩා නිෂ්පාදකයන් අතර තාක්ෂණික අඩුලුහුඩුකම් නිසාත් මහා පරිමාණ නිෂ්පාදකයන් අතර වෙලදපල තරඟය නිසාත් මේ තත්වය ඇතිවෙලා තියෙනවා. ඒ හේතුවෙන් ඔබට එක් නිෂ්පාදකයකුගෙන් මිලටගත් කොන්ක්‍රිට් රාමුවකට (ජනේලයකට කියලා හිතමු) සරිලන අමතර උපාංගයක් (වා-කවුළුවක් කියලා හිතමු) ලබාගැනීම සදහා වෙනත් නිෂ්පාදකයකුවෙතට යාමට නොහැකිවනු ඇත. මේ තත්වය නිසාම අසවල් නිෂ්පාදකයා වෙතින්ම පමණක් ඔබේ දොර සහ ජනෙල් රාමු අවශ්‍යතාවය සපුරාගන්නටය කියා නම්කරන්නට උපදේශක වරුන්ටත් සිද්ධවෙනවා.

විවිධ ජනේල කවුළුවර්ග


හැමෝගේම යහපත තකා මම එවැනි උසස්යයි සම්මත නිෂ්පාදකයින් කිහිපදෙනකු ගැන සදහන් කරන්නම්. හැබැයි නම් කිව්වා කියලා මේසන්බාස් පක්‍ෂග්‍රාහී විදිහට කටයුතු කරනවාය කියලා හිතන්න එපා. මොකද ඔබව කොන්ක්‍රිට් නිෂ්පාදන වලට යොමුකලානම් උසස් තත්වයේ උපාංග මිලටගතහැකි ස්ථාන ගැන දැනුවත් කිරීමත් මගේ යුතුකමක් වෙන නිසා.

1.     ආම්ස්ට්‍රෝං කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - නුවරපාර, කිරිල්ලවල, කඩවත.
2.     රේඩියන්ට් කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - පල්ලිය පාර, කඳාන සහ කඩුවෙල
3.     වෙල්ගම එන්ටප්‍රයිසස් - පල්ලිය පාර, කඳාන (011 4031663)

මෙම නිෂ්පාදකයින් තිදෙනාම තම තමන්ට අනන්‍යවූ නමුත් තත්වයෙන් උසස් නිෂ්පාදන පෙලක් වෙලදපලට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ අතරින් කුඩාම නිෂ්පාදකයා වන වෙල්ගම එන්ටප්‍රයිසස් ආයතනයෙහි “Lahiru” යන වෙලද ලාංඡනය යටතේ සිදුකෙරෙන නිෂ්පාදන පිලිබඳව වසර බොහෝ ගනනක සිටම යහපත් අත්දැකීම් පවතින නිසා, ඒවාට වඩාත්ම සුදුසුය කියන ලේබලය අලවන්න මේසන්බාස්  පසුබට වෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ නිෂ්පාදනවල තත්වය අනර්ඝ වුනත්, අලෙවිකරණයෙහි ඔවුන් එතරම් දක්ෂ පිරිසක් නොවන බවයි මේසන්බාස්ගේ අදහස.  එහෙම කියන්නේ, මෑතකදී ආරම්භ කරනලද, ඒත් තමන්ගේ නිෂ්පාදන සුපිරිමට්ටමක පවත්වාගැනීමකුත් නැති, අළුත් නිෂ්පාදකයින් බොහෝදෙනෙකු ව්‍යාපාරික වශයෙන් මේවනවිට ඔවුන්ව පසුකර ගිහින්තියෙන නිසයි.
 




කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ගැන ඔබට තවදුරටත් ගැටළු තිබෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් හොද හෝ නරක අත්දැකීම් තිබෙන්නත් පුළුවන්. අනෙක් අයගේත් යහපත තකා ඒ ගැන ටිකක් කථාකරමු. කොමෙන්ටුවකින් හෝ techconco@gmail හෝ pedareruwa@yahoo.com යන ලිපිනයකට විදි ඊයකින් විමසන්න.

ප/ලි
උළුවහු සහ ජනේල රාමු පිළිබදව ලියවුන අපගේ පලමු ලිපිය කියවන්න කැමති කෙනෙකුට ඒ සඳහා මෙතනින් පිවිසෙන්න පුළුවන්.