Friday, December 21, 2012

කොන්ක්‍රීට් තලයක් ඉදිකිරීමේ ICC ශිල්පක්‍රම



දෙසැම්බර් මාසයත් ඉවරයි. අළුත් පෝස්ටුවක් ඉක්මනින් දෙන්න උවමනාව තිබ්බත්, සුපුරුදු විදිහටම වැඩේ කල්ගියා. කොහොම වුනත් “අද නම් මේවැඩේ අහවරකර මිස නොනැගිටිමි“ යන තදබල සිතුවිල්ලකින් ලිවීම ආරම්භකලා ඔන්න.


පසුගිය පෝස්ටු ගනනාවක් තිස්සේම අපේ කථාබහට ලක්වුනේ, අද දවසේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අසමසම ඉදිකිරීම් ද්‍රව්‍ය විදිහට අවිවාදයෙන් පිලිගැනෙන කොන්ක්‍රීට් පිලිබදවයි. කොන්ක්‍රීට් වල සංයුතිය සහ ශක්තිය පිලිබදව සාකච්ඡාවට ලක්වියයුතු තාක්ෂණික කාරණා බොහොමයක් තවදුරටත් ඉතිරිව තිබුනත්, නිවාස සදහා ඉදිකෙරෙන කොන්ක්‍රීට් තලයන් (slab ) පිලිබදව දැනුම ලබාදෙන ලිපියක් පලවනතෙක් බලාසිටින හිතවතුන්ගේ ඉල්ලීමක් සපුරමින් අද දවසේ ලිපිය ICC   අයතනයේ SBS pre-pressed slab ක්‍රමය ගැන කථාකරන්න හිතුවා.


ICC කිව්ව ගමන් හැමෝටම මතක්වෙන්නේ ක්‍රිකට් නොවැ. ඒත් මේ ICC එක එයට වෙනස්. මෙතනදී ICC කියන්නේ International Construction Consortium (Pvt) Ltd කියන ආයතනයයි. මේක ලංකාවේ ප්‍රමුඛපෙලේ ඉදිකිරීම් සමාගමක්. ඔවුන් විසින් ලාංකීය ජනතාවට හදුන්වාදුන් කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ අඩුවියදම් ශිල්පක්‍රමය පිලිබදව, ඔබගේ දැනුමට අමතර යමක් එකතුකරන්නයි මේසන්බාස්ගේ අද දවසේ බලාපොරොත්තුව.




කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ  ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙකක් හදුනාගන්න පුළුවන්. හැමෝටම පහසුවෙන්න ඒ ආකාර දෙක, බාහිර පෙනුම පදනම්කරගෙන පැහැදිලි කරන්නම්. ඒ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත (දලඹ / soffit ) සමතලව පිහිටන SBS (Suspended Beam Slab) ආකාරය සහ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත සමතලව නොපිහිටන  ESS (Easy Slab System) ආකාරයයි.



අවශ්‍ය ද්‍රව්‍ය :


1.       මේ ආකාර දෙකේදීම යටිකුරු කරනලද ඉංග්‍රිසි T අක්ෂරයේ  හැඩයට සමාන ආකාරයෙන් විශේෂ කොන්ක්‍රීට් අංගන තුල සකස්කරනලද පෙර-ආතතීකරිත කොන්ක්‍රීට් තලාඳ භාවිතා කෙරේ.  මේවා G.40  ප්‍රමාණයේ ශක්තියක් දරන බවද කියැවේ.
 
T තලාද සහ Soffit block

 

2.       තලාඳ අතර හිදැස පිරවීම සඳහා Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්)  විශේෂයක් යොදාගැනේ. ඒවා G.10  ප්‍රමාණයේ ශක්තියක් දරන බව කියැවෙන අතර කුහරයන් විදුලි තත් ඇදීම කටයුතු සදහා යොදාගත හැකිවේ.

 


3.       බෙදාහැරීමේ වැරගැන්නුම් වශයෙන්  10 SWG,  2”x2” කොටුදැල් ( GI welded mesh) භාවිතා කෙරේ.

 

4.       මතුපිට යොදනුලබන ව්‍යුහාත්මක කොන්ක්‍රීටය වශයෙන් 2” ඝණකම G. 20 කොන්ක්‍රීටයක් යොදාගැනේ.

 

ඉදිකොටඇති නිවසකට කොන්ක්‍රීට් තලයක් අළුතින් එකතුකිරීම


කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ  ICC ශිල්පක්‍රම


මෙවන් කොන්ක්‍රීට් තලයක්, ශක්තිමත් අත්තිවාරමක් මත නිසිලෙස ඉදිකරනලද,  9“ ගඩොල්බිත්ති ආධාරකොටගෙන පමණක්වුව (කොන්ක්‍රීට් කණු රහිතව) ඉදිකලහැකිය. එහිදී 9“ ගඩොල්බිත්ති මත ඉදිකරනලද  9”x4” තුනී කොන්ක්‍රීට් tie beam එකක් මත, 23” (හරියටම කිව්වොත් 572mm) පරතරයට  T තලාඳ  එලනු ලැබේ. අනතුරුව T තලාඳ  සියල්ල සඳහා, යටින් යොදනලද හරස් තලාදයක් සහ මුක්කු පෙලකින් ආධාරක සපයනුලබයි. 

වැදගත් තොරතුරු


එලනලද T- තලාඳ අතර හිදැස පිරවීම සඳහා යොදාගැනෙන ද්‍රව්‍ය අනුව  ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙක තීරණයවේ. 


SBS (Suspended Beam Slab) ආකාරය


පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්)  විශේෂයවේ

Soffit block ඇතිරීමෙන් පසු




ESS (Easy Slab System) ආකාරය


පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit planks නමින් හදුන්වනු ලබන සිමෙන්ති බදාමයෙන් සහ තුනී යකඩ දැලක් ඇසුරින් සකස්කරනලද විශේෂ හැඩයකින් යුතු පනේල(ලෑලි)  විශේෂයකි








මෙසේ සකස්කරගත් මතුපිට මත  2”x2” කොටුදැල් එලා, ඒ මත 2” ඝණකම 1:2:4 (3/4”)කොන්ක්‍රීටයක් (G. 20) යොදා කොන්ක්‍රීට් තලයෙහි ඉදිකිරීම් අවසන්කරනු ලැබේ.





වාසි.

1.       නිෂ්පාදකයා පවසන ආකාරයට සම්ප්‍රදායික ක්‍රමයට සාපේක්ෂව මෙහි 30% ක වියදම් ඉතිරියක් පවතී.  (මෙම අගය ලබාගැනීම සදහා, බිත්ති ඉදිකිරීමේදී ව්‍යුහාත්මක කණු භාවිතා නොකිරීමෙන් ඉතිරිකරගතහැකි මුදලත් ඇතුලත්කර ඇතිබව ඇතිබව පෙනේ)



2.       පුහුණු ශ්‍රමිකයන් වඩා අඩුවෙන් භාවිතාකලහැකි වීම. (පුහුණු ශ්‍රමිකයන්ගේ සේවය මිල අධිකය)



3.       හැඩයම් (shuttering ) භාවිතයක් සිදුනොවීමත්, පෙරසවි උපාංග කල්තබා ඇණවුම්කර සාදාගතහැකිවිමත් හේතුවෙන් ඉදිකිරීම් සදහා ගතවන කාලය සාපේක්ෂව අඩුවීම.



4.       සමස්ථ කොන්ක්‍රීට් තලයම සාපේක්‍ෂව බරින් අඩුවීම.



5.       දලඹ කපරාරුවක් අනවශ්‍ය වීම.








සැලකිය යුතුයි



1.       මෙම ශිල්පක්‍රමය හදුන්වා දුන් International Construction Consortium (Pvt) Ltd ආයතනය, අදාල ශිල්පක්‍රමය යටතේ කුඩාපරිමාණ ඉදිකිරීම් භාරනොගන්නා අතර උපාංග සපයාදීම පමණක් සිදුකෙරේ. ඉදිකිරීම් කටයුතු ඔබගේ දැනට ඉදිකිරීම් සිදුකරන ශ්‍රම කොන්ත්‍රාත්කරුවකු ලවා සිදුකරගන්නාලෙස උපදෙස් ලබාදේ. කෙසේ වෙතත් අවශ්‍ය පෙරසවි උපාංග වල ප්‍රමාණ සහ මිනුම් ලබාගැනීම සදහා ඔවුන් ඔබට සහය වනුඇත.



2.       ආයතනය වානිජ පරමාර්ථ සහිතව ක්‍රියාත්මක වන්නක් බැවින් ඔවුන්ගේ පෙරසවි උපාංග අලෙවිකරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරඇතිබවක් පෙනේ. ඒ අනුව මෙහිදී ඔවුන් ගණනය කර ඔබට පෙන්වනු ලබන 30% ක වියදම් ඉතිරිය, ප්‍රායෝගිකව ඔබට අත්වනබවට සහතික කල නොහැකිබව සැලකිය යුතුය.



3.       වානිජ ගොඩනැගිලි සදහා යොදාගැනීමේදී මෙම ශිල්පක්‍රමයෙහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය වේ. (නිද. ලෙස ද්විත්ව වශයෙන් T- තලාඳ යෙදීම)  ඒ සදහා ආයතනයේ නිලධාරි මහතුන් ඔබට සහය වනුඇත.



4.       මෙවන් කොන්ක්‍රීට් තලයක්මත, එයට පහලින් බිත්තියක හෝ ව්‍යුහාත්මක තලාඳයක සහයක් නොමැතිව, පලමු මහලේ කාමර වෙන්කිරීමේ බිත්තියක් හෝ ඉදිකිරීම  නොකලයුතුය.



5.       T- තලාඳ ප්‍රවාහනය, බෑම සහ හැසරවීම පිලිබඳ ඔබේ ඉදිකිරීම් ශිල්පියාව දැනුවත් කරගත යුතුය. 



6.       බැල්කනි ඉදිකිරීම සදහා තට්ටුව පමණක් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන්නීමේ හැකියාවක් නැති අතර එවන් අවස්ථා වලදී ව්‍යුහාත්මක තලාඳයක සහය අවශ්‍ය වේ.


ආයතනය ගැන විස්තර




නැවතත් මෙවන් අඩුවියදම් ඉදිකිරීම් ශිල්පක්‍රමයක තොරතුරු සමගින් 2013 වසරේදී හමුවෙමු. ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා !