Tuesday, September 4, 2012

කොන්ක්‍රීට් ගැන වැඩියමක් - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (කොන්ක්‍රීට් -2)


නිවාස ඉදිකිරීමේදී හැමෝටම වැදගත්වෙන දෙයක් තමයි කොන්ක්‍රීට්. එහෙම වුනත් තමන්ගේ සිහින නිවාසය ඉදිකිරීමේදී කොන්ක්‍රීට් සම්බන්ධ කාරණා වලදී නොදැනුවත්කම නිසාම බොහෝදෙනකු අමාරුවේ වැටෙනවා. නිවාස ඉදිකිරීමේ පිරිමැසුම්දායක තාක්ෂණයන් ගැන සොයමින්යන අපගේ තාක්ෂණික චාරිකාවේ මීලඟ නවාතැන මහල් නිවාස සදහා කොන්ක්‍රිට් තලය (Concrete floor slab) ඉදිකිරීම වනනිසා, එයට කලින් මෙය කියවන ඔබ කොන්ක්‍රිට් පිලිබඳ මූලික දැනුවත්වීමක් ලබාසිටීම වැදගත්.  ඒ නිසා අද දවස කොන්ක්‍රීට් හා සම්බන්ධ නිවැරදි තාක්ෂණික කාරණා කිහිපයක් වෙනුවෙන් වෙන්කරන්න හිතුවා. හැබැයි ඉතින් මේක තාක්ෂණික පාඩමක් නොවන නිසාත්, විවිධ මට්ටම්වල උදවිය මේක කියවන නිසාත් අතු ඉති කපලා හැකිතරම් සරලව අවශ්‍ය දේවල් විතරක් කියන්නම්. වැඩි විස්තර උවමනා අයට කොමෙන්ටුවකින් හරි මගේ විද්‍යුත් ලිපිණයට විදි ඊයකින් හරි විමසන්න කියලා ආරාධනා කරනවා.

මේ වගේ යන්ත්‍රයක් තියෙනවනම් ගෙදර වැඩට ඉහටත් උඩින්

කාටත් තේරෙන විදිහට කිව්වොතින්,  කොන්ක්‍රීටයක් කියන්නේ සිමෙන්ති, වැලි, ජලය සහ කුඩාවට කඩාගන්නා ලද කළුගල් (මෙටල්) යම් නිෂ්චිත අනුපාතයකට මිශ්‍රකර සකස්කරගනු ලබන කෘත්‍රිම ගල්විශේෂයක්. ආරම්භක අවස්ථාවේදී එය තැන්පත් කරනු ලබන අච්චුවෙහි හැඩය ලැබගන්නා.., ගරාවැටෙනසුළු අර්ධ ඝණ තත්වයේ පැවතුනත්, යම් නිෂ්චිත කාල පරාසයකට පසුව ඉතා ශක්තිමත් ඝණ ද්‍රව්‍යයක් බවට මුළුමනින්ම පරිවර්ථනයවීම මෙහි එක් විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. සාපේක්ෂව මිලෙන් අඩු වීමත්, භාවිතයේ ඇති පහසුවත් ඒවගේම කාර්මික මට්ටමේ යෙදීම් වලදී  යම්යම් අමතර සංඝටක එකතුකිරීමෙන් කොන්ක්‍රීටයේ ආවේනික ගතිගුණ වෙනස්කරන්න එහෙමත් නැතිනම් වැඩිදියුණු කරන්න තියෙන හැකියාවත් නූතන ඉදිකිරීම් සදහා ජනප්‍රියම අමුද්‍රව්‍යයක් බවට එය ඔසවාතබන්නට හේතුවන්නට ඇති. 

මේකට කියන්නේ යාන්ත්‍රික ගිලුම් කම්පකය කියලායි

නිවසක් ඉදිකිරීමේදී යොදාගැනෙන කොන්ක්‍රීට් වර්ග අපට ප්‍රධාන වර්ග දෙකකින් දැකගන්න පුළුවන්. එනම් කම්බි යොදාගැනෙනු ලබන කොන්ක්‍රීට් සහ කම්බි යොදාගනු නොලබන කොන්ක්‍රීට් වශයෙනුයි. මේවා වඩා තාක්ෂණිකව හැදින්වුවහොත් වැරගැන්නුම් (reinforcement) භාවිතා කරන එනම් ව්‍යුහාත්මක (Structural) කොන්ක්‍රීට් සහ වැරගැන්නුම් භාවිතා නොකරන එනම් ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට දක්වන්න පුළුවන්.
නිවසක ගෙබිම සඳහා යොදන කොන්ක්‍රීටය, එතකොට මහල් නිවාස අත්තිවාරමක නම් පතුලට යොදන නිසරු කොන්ක්‍රීටය(Screed) මෙවන්  ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට හදුන්වන්න පුළුවන්. මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:3:6(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙහි වරහන් තුල දක්වා ඇත්තේ මෙටල් වල හරස්කඩ ප්‍රමාණයයි. මෙම මිශ්‍රණය G.15 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 15N/mm2   ක සම්පීඩන ශක්තියක් ලබාගන්නා බවයි. කොහොම වුනත් ඔබේ නිවස ඉදිකරණුලබන පෙදරේරු මහතා ඉහත කී මිශ්‍රණයට 1:3:5(3/4”) ලෙසින් මඳක් අඩු මෙටල් ප්‍රමාණයක් භාවිතා කලාට බරපතල හාණියක් සිදුනොවන බව සැලකීම වැදගත්.

අය්යලා දෙන්නා කොන්ක්‍රීට් දානවා

නිවසක කණුපාදම්(Column bases), කොන්ක්‍රීට් කණු(Column) , ලින්ටල(Lintels), කොන්ක්‍රීට් තලාඳ (Beam) සහ කොන්ක්‍රීට් තලය (Slab) ප්‍රධාන වශයෙන්ම ව්‍යුහාත්මක කොන්ක්‍රීට් භාවිතාවන අවස්ථා විදිහට හදුන්වන්න පුළුවන්. අපේරටේ නිවසක් ඉදිකිරීම බොහෝවිට කාර්මික ඉදිකිරීම් ඝණයට නොවැටෙන නිසා, මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:2:4(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙම මිශ්‍රණය G.20 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 20N/mm2   ක සම්පීඩන ශක්තියක් අවම වශයෙන් ලබාගන්නා බවයි. කොහොම වුනත් ගෘහස්තමය ඉදිකිරිම් වලදි අපේරටේ මෙම මිශ්‍රණය භාවිතා කෙරෙනුයේ සි:වැ:ගල් 1:2:3(3/4”) වශයෙනුයි. පෙදරේරු මහතුන් අතර මහත්සේ ජනප්‍රිය 1:2:3 මිශ්‍රණය කියන්නේත් මෙයටම තමයි.

ගිල්ලුම් කම්පකය යොදාගන්නේ මෙහෙමයි

මෙසේ වැරදි අනුපාතයකට අමුද්‍රව්‍ය යොදාගැනීම නිසාවෙන් මිශ්‍රණය සඳහා භාවිතාවන මෙටල් ප්‍රමාණය 25%කින් පමණ අඩුවීමක් සිදුවනබව හිතන්න පුළුවන්. ඉතින් ඒ හේතුකොටගෙන, ඉදිකරනු ලබන කොන්ක්‍රීට් ව්‍යුහයේ ශක්තිය අඩුවිමත්, සිමෙන්ති, වැලි ආදි අනෙකුත් අමුදුව්‍ය සදහා වන පිරිවැය වැඩිවිමත් යන අවාසි අත්විදින්න ඔබට සිදුවෙන්න පුළුවන්. කොහොමවුනත් තාක්ෂණිකව මෙවන් මිශ්‍රණ අනුපාතයන් සකස්කර ඇත්තේ හොදින් ඇසුරුණ රළුසමාහාරක (Coarse Aggregate (rock)මෙටල්) අතර හිදැස් සියල්ල සියුම් සමාහාරක(Fine Aggregate (sand)වැලි) සහ න්‍යාසය (Matrix සිමෙන්ති) අංශුන්ගෙන් පිරී සිදුරු රහිත ඝණයක් ඇතිවන ලෙසයි. ඒත් එහෙමය කියලා නියම අනුපාතයටම මෙටල් එකතුකරන්න බලකලොත්, යාන්ත්‍රික ගිලුම් කම්පක (Poker vibrator) නොමැතිව අතින් “කොන්ක්‍රීට්-කොටන“  ඔබේ පෙදරේරු මහතා, කොන්ක්‍රීට් ව්‍යුහයතුල මීවද ආකාරයේ සිදුරු (Honey comb) ඉතුරුකරමින් එය වඩාත් දුර්වලඑකක් බවට පත්කරගන්නවා නොඅනුමානයි.

කම්පනය කරනකොට මිශ්‍රණයේ හිරවෙලා උන්න හුලං බෝල පිටවෙන්නේ මෙන්න මෙහෙමයි.

කොහොම වුනත් කොන්ක්‍රීට් වල තත්වපාලනය ගැන ගොඩක්දේවල් අද කථාකරන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් බරපතල විෂයයක්. ඒ වගේම විචල්‍ය ගණනාවක් තියෙන නිසා යමෙකු ඒවා ගැන මතුපිටින් විතරක් දැනගෙන, තීන්දු තීරණ ගන්න යනඑක එච්චරම නුවනට හුරුදෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඇතැමිවිට බොහෝ භයානක ප්‍රතිපල ගෙනඑන්නත් එවන් තීරණයක් හේතුවෙන්න පුළුවන්.   කවුරුත් දන්න සරල උදාහරණයක් ගත්තොත් බොහෝ පෙදරේරු මහතුන් පවා විශ්වාස කරන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයකට කොපමණ ජලය එකතුවුනත් ගැටළුවක් නැතිය කියලයි. ඒත් සැබැවින්ම ඒක එහෙම නෙමෙයි. මොකද ඒසදහා ප්‍රශස්ථ ජල සිමෙන්ති අනුපාතයක් තියෙනවා. එයට වඩා වැඩිපුර එකතුවන ජලප්‍රමාණය වාෂ්පවීයාමෙන් අනතුරුව කොන්ක්‍රීටයක ඇසට නොපෙනෙන තරම් සියුම් සිදුරු ඉතුරුකරමින්, මිවද තත්වය ඇතිකරනු ලබනවා. මේ නිසාම මගේ අවවාදය, ඔබ ගමන්ගන්නේ ඔබ ඉතාහොදින් දන්නා මාර්ගයක නොවේනම්, මාර්ගෝපදේශකයකු සදහා ඔබ කරන වියදම, වියදමක් නොව සැබැවින්ම ආයෝජනයක්ය යන්නය. 

ඔන්න මීවද

ඊතල වලින් දැක්වෙන්නේ


මේ තියෙන්නේ බාස්ලාගේ වැඩ ?


පෝස්ටුව දිගවැඩියි. ඒ නිසා කොන්ක්‍රීට් පිලිබඳ තවත් තොරතුරු  බිඳක් සමගින් සත්දිනකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මෙතනින් සමුගන්නවා. ඔබ සැමට සුභ සතියක්.

ප.ලි.
මෙහි පලකරනලද ඡායාරූප සියල්ල අන්තර්ජාලය ඇසුරින් ලබාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න. 

ප.ප.ලි.
සිමෙන්තිත් ඔන්න වැඩිවෙලාලු !

Monday, July 23, 2012

කොන්ක්‍රීට් ලින්ටල - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (කොන්ක්‍රීට් -1)

නිවාස ඉදිකිරීමේ පිරිමැසුම්දායක තාක්ෂණයන් ගැන සොයමින්යන අපගේ තාක්ෂණික චාරිකාවේ පසුගිය ලිපි ගනනාවක්ම වෙන්වුනේ උළුවසු සහ ජනෙල් හරහා ගොඩනැගිල්ලක ඇතුලත පරිසරයට ස්වාභාවිකව ආලෝකය සහ වාතාශ්‍රය සැපයීම සම්බන්ධයෙනුයි. ඒ අතරින් අවසානයට අප අවධානය යොමුවුනේ ගොඩනැගිලි සදහා කොන්ක්‍රිට් උළුවසු සහ ජනෙල් රාමු භාවිතාකිරීම පිලිබදවයි. මේ මාතෘකාවෙන් පියවරක් ඉදිරියට තබමින් අද දවසේ අපගේ බලාපොරොත්තුව, උළුවසු තැබීමෙන් අනතුරුව එලබෙන තවත් වැදගත් ව්‍යුහයක් ලෙස සැලකෙන කොන්ක්‍රිට් ලිංටල ගැන වැඩියමක් කථාකරන්නයි.






සුද්දාගේ ඉදිකිරීම් තාක්ෂණයට අනුගතවෙමින් බිත්ති බැදීමේ අමුද්‍රව්‍යයක් ලෙස ඉංජිනේරුගල් (සම්මත ගඩොල්) භාවිතය ආරම්භවන තෙක්ම අපගේ නිවාස බොහොමයක් ඉදිකෙරුණේ, පරිසරයේ සුලභව සොයාගතහැකි අමුද්‍රව්‍ය භාවිතාකරමිනුයි. ඒ අතරින් බිත්ති බැඳීම සදහා මැටි හෝ හුණු-වැලි බදාමයක් සමග කබොක් හෝ නොපිලිස්සු ගඩොල්(මෝඩගල්) උපයෝගීකරගැනීම බොහෝවිට ප්‍රභූනිවාස ඉදිකිරීමේදී යොදාගනු ලැබූවා. බොහෝ සාමාන්‍ය නිවාස අනා-පදම්කරගත් මැටි බෝල භාවිතා කරමින් තාප්ප හෝ වරිච්චි බිත්ති ලෙසින් බැඳීම සිදුකෙරුණා. පසුව මෙම බිත්ති ඒ ඒ පුද්ගලයාගේ වත්පොහොසත්කම් අනුව මැටි/හුණු/සිමෙන්ති යොදාගනිමින් කපරාරු කරගැනීම සිදුවුනා.


මැටි කපරාරුවක්


මෙම බිත්ති සියල්ල අද අපි දකින සාමාන්‍ය ගඩොල් බිත්ති වලට වඩා වැඩි පලලකින් යුක්තවුනත්, එවන් බිත්තියක සකසනලද දොර/ජනෙල් කවුළුවක ඉහලින්වන බිත්ති කොටසේ බර දරාගැනීම සඳහා ලින්ටල භාවිතාකිරීමක් සිදුවුණේ නැහැ. එයට හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. ස්වභාවයෙන්ම වැරගැන්නුමක් අන්තර්ගත බැවින් වරිච්චි බිත්ති වලටනම් ලින්ටල අවශ්‍ය නැතිය කියන්න පුළුවන්. අනෙක් බිත්ති වර්ග සැලකූ විටත්, අදට සාපේක්ෂව පලලින් අඩු (පටු) දොර-ජනෙල් මෝස්තර භාවිතා කිරීමත්, ඉහල බිත්ති කොටසේ බර දරාගැනීමට හැකි තරමේ ශක්තිමත් දැව වර්ග වලින් තැනි දොර-ජනෙල් රාමු භාවිතා කිරීමත්,  යන කාරණා නිසා ලින්ටල් යෙදීමක් සිදුනොවන්න ඇති. හැබැයි ඒ නිසාම “දොර/ජනේල කවුළුවකට ඉහලින් වහලයේ බර දරනා යටලී/තලාඳ නොතිබිය යුතුය“ යන ජෝතිෂ්‍ය නියමය මෙවන් ගෘහයන් සඳහා මුළුමනින්ම අදාලවූවා. ඒ මොකද එවන් අතිරේක භාරයක් ලින්ටලක් රහිත කවුළුවකට දරාගත නොහැකිවන නිසයි.



කොහොම වුනත් පසුකාලීනව ඉදිකෙරුන ඉහතින් සදහන් කරාපු බිත්තිවර්ග බොහොමයක, දොර ජනෙල් කවුළු සඳහා ලින්ටලයක් ලෙසින් කටයුතු කිරීමට, ඉංජිනේරු ගලින් සකසනලද ආරුක්කුවක මුදුවරියක් භාවිතාකරතිබෙනු දකින්න පුළුවන්. ඒත් අද ඔබ දකින ආකාරයේ කොන්ක්‍රිට් ලින්ටල මුලින්ම යොදාගැනුනේ ගඩොල් (ඉංජිනේරුගල්) බිත්ති සදහායි. මොකද පසුකාලීනව වැඩි පියන් ගනනකින් යුතු පලලින් වැඩි ජනේල භාවිතය ජනප්‍රියවීමත් සමගම ලින්ටල රහිතව ඉදිකරන බිත්ති අස්ථාවරවූ නිසයි. කොහොමවුනත් ඒකාලේ භාවිතාවුනේ කවුළුවෙන් කවුළුවට වෙන් වෙන්ව යොදනලද ලින්ටලයි (Isolated lintels). පසුකාලීනව බිත්ති බැඳීමේ අමුද්‍රව්‍යක් විදිහට සිමෙන්ති බ්ලොක්ස් ජනප්‍රිය විමත් සමග එහි ආවේනික දුර්වලතාවන් සමහරක් ජයගැනීම සදහා අඛණ්ඩ ලින්ටල  (Continuous lintels) භාවිතය ආරම්භ වුණා.

ලින්ටලයක් වෙනුවට ආරුක්කු මුදුවරියක්

අද දවසේ බෙහෙවින් ජනප්‍රියව ඇති අඛණ්ඩ ලින්ටල, තනිතට්ටුවේ ගොඩනැගිල්ලක හෝ මහල් ගොඩනැගිල්ලකනම් අවසන් මහල සදහා යොදාගනු ලබනවා. එවැන්නක් කවුළු සහිත ස්ථානයන්හි ඉහල බිත්තිවල භාරයන් පහලට සම්ප්‍රේෂණය කිරීමට අමතරව, ගොඩනැගිල්ලේ ඉහල ස්ථරයකදී  tie beam එකක් විලසින් සියළු බිත්ති ඒකාබද්ධ කිරීමටද දායකවෙනවා. ලින්ටලයක හරස්කඩ, එය යොදාගනුලබන කවුළුවේ පරාසය (span) සහ කවුළුව ඉහලින්වන බිත්තියේ උස ආදී සාධකමත වෙනස්වුවත්, සාමාන්‍ය අවස්ථාවකදී 10mm දඟරවානේ (tor steel) කම්බි දෙකක් සහිතව බිත්තියේ පලලට සහ 6“ක උසක් සහිතව යොදාගැනීම සෑහෙනබවයි කියන්න තියෙන්නේ. හැබැයි මේ දඟරවානේ කම්බි,  ලින්ටලයේ පතුලට ආසන්නව 1“ක් උසින් යෙදියයුතුවේ. (මෙම අගයට කියන්නේ කොන්ක්‍රීටයේ “වැස්ම“ (Cover) කියලායි. එහෙම යෙදියයුත්තේ ඇයි කියනකාරණය ඉදිරි පෝස්ටුවකින් විස්තර කරන්නම්)

ලින්ටල් බ්ලොක්ස්

මහල් ගොඩනැගිල්ලක පහත මහල්වල බිත්තිවලට ඉහලින් කොන්ක්‍රිට් තලාඳ (floor beam) යෙදෙන බැවින් දොර ජනෙල්මත පැටවෙන භාරය අවම වේ. එබැවින් ඒ ඒ කවුළුවෙහි පරාසය (span) සහ කවුළුව ඉහලින් කොන්ක්‍රිට් තට්ටුව දක්වා වන බිත්තියේ උස අනුව ලින්ටල භාවිතා කිරීම හෝ නොකිරීම තීරණයකල හැකිය. කෙසේ වුවද එවන් විටක යොදාගනු ලබන්නේ තනි තනිව යොදනලද ලින්ටල (Isolated lintels) වර්ගයයි. මෙම Isolated lintels පෙරසවි (Pre cast) ආකාරයෙන් හෝ භාවිතාකරන තැනම ඉදිකෙරෙන (In situ) ලෙස ආකාර දෙකකට නිර්මාණය කරගැනීමේ පහසුව ඇති නමුදු Continuous lintels බොහෝවිටදී භාවිතාකරන තැනම ඉදිකෙරෙන වර්ගයට අයත්වෙනවා. 


කෙසේවෙතත් ඔබගේ ඉදිකිරීම සඳහා ලින්ටල වශයෙන් අඩු හරස්කඩක් සහිතව වැඩි ශක්තියක් ලබාදෙන පෙර ආතතීකරණය කරනලද කොන්ක්‍රිට් තලාඳ (Pre Stressed Concrete beams) භාවිතාකල හැකිනම් ඔබගේ ඉදිකිරීම් වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගත හැකිවනු ඇත. අවසාන වශයෙන් ඔබගේ නිවස ඉදිකරනු ලබන්නේ කපරාරු නොකරන ආකාරයටනම් එවන් විශේෂ බිත්ති සඳහා ලින්ටල සකස්කරගැනීමට එයටම ආවේනික ලෙස සකස්කල ලින්ටල් බ්ලොක්ස් පවතින බව දැනසිටීමද වැදගත්වනු ඇත.


(ප.ලි. සියළු ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙන් ලබාගත්ඒවා බව කරුණාවෙන් සලකන්න)

Thursday, June 14, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -2)


අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්.  එහෙම වුනත් ඒ සදහා දැරීමට සිදුවන අධික පිරිවැයත්, හොද දැව සපයාගැනීමේ අපහසුතාවයත් යන කාරණා මත ඇතැම් නිර්මාණශිල්පීන් තම නිර්මාණ සදහා දැවමය දොර සහ ජනෙල් රාමු වෙනුවට යම් යම් විකල්පවෙත අවධානය යොමුකර තිබෙන අවස්ථා විරල නැහැ. මගේ පෞද්ගලික මතයනම් මේ ප්‍රවනතාවය, ඉතාම සාධනීය ලක්‍ෂණයක්ය කියනඑකයි. ඒමොකද ඒ මගින් තම සේවාදායකයන්ට මූල්‍යමය ඉතිරියක් සිදුකරනුලබන අතරම රටේ වනගහනය සුරැකීම සඳහාද යම් දායකත්වයක් එමගින් සැපයෙන නිසයි. නිර්මාණශිල්පීන් යොදාගන්නා විකල්ප අතරින්, කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඉතිං අද දවසේ අපේ අරමුණ, ‍ දැව සදහා විකල්පයක් විදිහට කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු කොතෙක්දුරට සාර්ථකද යන්න විමසා බැලීමයි.

යාපහුව රජමාලිගාවේ ගල් උළුවස්සක්

පෙරසවි කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු පලමුවරට හදුන්වාදුන්නේ දැනට අවුරුදු 30 කට විතර කලිනුයි.  ඒ එවකට ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) හි පලමු සභාපතිත්වය දරපු, ලංකාවේ හිටපු කීර්තිමත් ඉංජිනේරුවරයකුවූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හැබැයි රාමු විතරක් නෙමෙයි, ඒ කාලේ දොර සහ ජනෙල් පියන් පවා කොන්ක්‍රිට් වලින් සාදනු ලැබුවා. ඒත් අසමාන්‍ය ලෙස බරින්වැඩිවූ පෙරෝසිමෙන්තියෙන් තැනි දොර සහ ජනෙල් පියන්, ප්‍රායෝගික යෙදවීමක් විදිහට බොහෝදෙනෙක් පිලිගත්තේ නැහැ. ඒත් මේ ගැන විවේචනාත්මකව කථාකල හැමෝටම “දොර පියන බර වුනාට..., ඒක තමුසෙලා උස්සගෙන ඉන්න ඕන නැහැනේ... ඒකට තමයි සරනේරු තියෙන්නේ“ වාගේ තදබල ගෝරණාඩුවකට ලක්වන්නට නම් සිද්ධවුණා.


මේකත් යාපහුවේ


කොහොමවුනත් ක්‍ෂේත්‍රයේ විවිධ පරීක්ෂණ සහ වැඩිදියුණුකිරීම් රැසකට බඳුන්වූ කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදන ක්‍රියාවලිය, අද වනවිට ගුණාත්මක අතින් බොහෝදැවමය දොර සහ ජනෙල් රාමු හා සම මට්ටමකටම පත්වීමට හැකියාව ලබා තියෙනවා. ඒ නිසාම මුලදී අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන් තැනූ  අඩුවියදම් ගොඩනැගිලි සඳහා පමණක් යොදාගත් කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු, අද වනවිට බොහොමයක් මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම්වලදී සේම අර්ධ සුඛෝපභෝගී සහ ඇතැම් විට සුඛෝපභෝගී නිවාස සදහාද යොදාගැනෙනු දකින්න පුළුවන්. ඒ අනුව සැලකියයුතු දැව ප්‍රමාණයක් රටට ඉතිරිකරදෙන්නට මේ ගුණාත්මක පෙරලිය ඉවහල්වෙලා තියෙනවා.

ඔන්න කොන්ක්‍රීට් ජනේල


මුල් කාලේ ඉදන්ම කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න තිබුණ ප්‍රධාන දුර්වලතාවයක් වුනේ අසවු (සරනේරු) සවිවන ලී කට්ට (ප්ලග්) පසුකාලීනව ගැලවීයාමේ හැකියාවක් තිබීම සහ හාණිවූ එවැන්නක් ප්‍රතිස්ථාපනය කිරීමට තිබූ නොහැකියාවයි. ඒත් නුතන නිෂ්පාදනයන්හි මෙම ප්ලග් සියල්ල නොම්මර 1 කොස් දැවයෙන් යොදාගැනෙන බැවින් හාණිවීමේ හැකියාව අවමවීඇති අතර ගැලවීයාම වැලැක්වීමටද සුවිශේෂී උපක්‍රම යොදා තිබෙනු දකින්න පුළුවන්. එයට අමතරව යම් හෙයකින් ලී කට්ටයක් හාණියට පත්වුවහොත් එය ගලවා අළුත් කට්ටයක් මාරුකිරීමේ පහසුවද සලසාතිබේ.


මේක කොන්ක්‍රීට්


පළුදු පිලිසකර කිරීමේ අපහසුතාවය කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වල දකින්න ලැබුන තවත් දුර්වලතාවයක් විදිහට හදුන්වන්න පුළුවන්. ඒත් අද වනවිට ඒ සදහා යොදාගතහැකි විවිධ රසායන සහ පිරවුම් වර්ග විවෘත වෙලදපලෙහි පහසුවෙන් සපයාගතහැකි බැවින් ඒ තත්වය  දුර්වලතාවයක් විදිහට තවදුරටත් සැලකෙන්නේ නැහැ.



මුල් යුගයේදී දොර සහ ජනෙල් රාමු බරින් වැඩිවීම නිසා ප්‍රවාහනයේ සහ හැසිරවීමේ අපහසුතා පැවතියද නූතන නිෂ්පාදන බොහොමයක් කොටස් වශයෙන් නිෂ්පාදනය කර වැඩබිමෙහිදී එකලස් කිරීමේ පහසුකම සපයා ඇතිබැවින් ඒවා අපහසුතා ලෙස සැලකෙන්නේ නැහැ. දැවමය දොර සහ ජනෙල් රාමු මෙන් නොව කොන්ක්‍රිට් ප්‍රවාහණය සදහා බලපත්‍ර අවශ්‍ය නොවීම නාගරිකව සිදුවන ඉදිකිරීමකදී කැපීපෙනෙන වාසි අත්කරදෙන්නක්බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.


මේ උළුවස්සත් කොන්ක්‍රීට්

මුල් යුගයේදී නිෂ්පාදන බොහොමයක් රළු නිමාවකින් යුක්තවූ අතර වැඩබිමේදී අමතර පරිශ්‍රමයක් දරමින් පින්තාරු කිරීම සදහා සකසාගත යුතුවුණා. ඒත් නූතන නිෂ්පාදනයන් ඉතා උසස් නිමාවකින් වෙලදපලට නිකුත්කෙරෙන හෙයින් පින්තාරු කිරීම සඳහා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවන්නේ නැහැ.  අවශ්‍යනම් විසරි-තීන්ත ආලේපන (ස්ප්‍රේ) කිරීමේ හැකියාවද පවතිනබව තමයි කියන්න තියෙන්නේ. (තීන්ත ආලේපන සමග බැඳුන තාක්ෂණික කාරණා ගැන ඉදිරි පෝස්ටුවකින් කියන්නම්.)



මේවා හැරුණහම කොන්ක්‍රීට් දොර සහ ජනෙල් රාමු යොදාගැනීමේ වාසි ගැනත් යමක් කියන්න ඕන.

පලමුවැන්න, පිරිමැසුම්දායකබවයි. කෙටියෙන් කිව්වොත් නිවසක සම්ප්‍රදායික දැවමය දොර සහ ජනෙල් රාමු සදහා යන වියදමින් 40% ක ඉතිරියක් මෙමගින් ලබාගන්න පුළුවන්.

දෙවැන්න විදිහට බොහොමයක් අවස්ථා වලදී අදාල දොර/ජනෙල් කවුළුවට ඉහලින් කොන්ක්‍රිට් ලිංටලයක් ඉදිකිරීම අවශ්‍ය නොවීම දක්වන්න පුළුවන්.



තුන්වැන්න විදිහට ආර්ද්‍රතාවය කෙරෙහි දොර සහ ජනෙල් රාමුවෙහි ප්‍රතිචාරය අවම මට්ටමක පැවතීම පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොන්ක්‍රිට් රාමුවක වැසිකාලයට පියන් හිරවීමට හෝ වියලි කාලයට ඉඩයාමට තියෙන හැකියාව ඉතා අවම මට්ටමක තමයි පවතින්නේ. මේ හේතුවෙන් ආර්ද්‍රතාවය කෙරෙහි වැඩිසංවේදීතාවක් දක්වන මහෝගනීවැනි මිලෙන් අඩුදැවයක් වුනත් සාර්ථකව පියන් සදහා උපයෝගීකරගැනීමේ හැකියාව ලබාදීලා තියෙනවා.



සිව්වැන්න විදිහට තෙතමනය සදහා සාපේක්ෂව වැඩි ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කිරීම දක්වන්න පුළුවන්. බොහෝදුරට නිතර වැසිබිඳිති වලින් බැටකන ස්ථානයන් සදහා වායුහුවමාරුවට පහසුකම් (ලූවර) සහිත ස්ථිරව සවිකල වීදුරු (Fixed glass with louvers) සඳහා කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ලාබදායීම විකල්පය විදිහට හදුන්වන්න පුළුවන්. 



පස්වැන්න විදිහට දැඩි හිරුරැසට ඔරොත්තුදීමේ හැකියාව සලකන්න පුළුවන්. මේ හේතුව නිසාම ගොඩනැගිල්ලේ බිත්ති ඉදිකිරීමේදී කෙලින්ම දොර සහ ජනෙල් රාමු සවිකරමින්ම බිත්ති ඉදිකිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. 



සයවැන්න, (මගේ පෞද්ගලික මතයට අනුව වැදගත්ම වාසිය විදිහට) රටේ වනගහනය සුරැකීම සඳහා එමගින් ලැබෙන දායකත්වය දක්වන්න පුළුවන්.



කාරණා රැසක් ඔය විදිහට පෙලගැස්වූවාට මොකද කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු නිෂ්පාදනයෙහි අදටත් විසදීනැති ගැටළුත් තියෙනවා. ඒවා ගැනත් යම් පමණකින් ඔබව දැනුවත් කිරීම මගේ යුතුකමක්නේ.  ඒ අතරින් ලොකුම ගැටළුව තමයි මෙම උපාංග නිෂ්පාදකයන් අතර ඒ ඒ රාමුවල ප්‍රමාණයන්(පලලXඋස), අවසන් නිමාව, ශක්තිය, සංයුතිය ආදී තත්වයන් පිළිබදව සම්මතයක් පවත්වාගෙන නොයෑම. කුඩා නිෂ්පාදකයන් අතර තාක්ෂණික අඩුලුහුඩුකම් නිසාත් මහා පරිමාණ නිෂ්පාදකයන් අතර වෙලදපල තරඟය නිසාත් මේ තත්වය ඇතිවෙලා තියෙනවා. ඒ හේතුවෙන් ඔබට එක් නිෂ්පාදකයකුගෙන් මිලටගත් කොන්ක්‍රිට් රාමුවකට (ජනේලයකට කියලා හිතමු) සරිලන අමතර උපාංගයක් (වා-කවුළුවක් කියලා හිතමු) ලබාගැනීම සදහා වෙනත් නිෂ්පාදකයකුවෙතට යාමට නොහැකිවනු ඇත. මේ තත්වය නිසාම අසවල් නිෂ්පාදකයා වෙතින්ම පමණක් ඔබේ දොර සහ ජනෙල් රාමු අවශ්‍යතාවය සපුරාගන්නටය කියා නම්කරන්නට උපදේශක වරුන්ටත් සිද්ධවෙනවා.

විවිධ ජනේල කවුළුවර්ග


හැමෝගේම යහපත තකා මම එවැනි උසස්යයි සම්මත නිෂ්පාදකයින් කිහිපදෙනකු ගැන සදහන් කරන්නම්. හැබැයි නම් කිව්වා කියලා මේසන්බාස් පක්‍ෂග්‍රාහී විදිහට කටයුතු කරනවාය කියලා හිතන්න එපා. මොකද ඔබව කොන්ක්‍රිට් නිෂ්පාදන වලට යොමුකලානම් උසස් තත්වයේ උපාංග මිලටගතහැකි ස්ථාන ගැන දැනුවත් කිරීමත් මගේ යුතුකමක් වෙන නිසා.

1.     ආම්ස්ට්‍රෝං කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - නුවරපාර, කිරිල්ලවල, කඩවත.
2.     රේඩියන්ට් කොන්ක්‍රිට් නිෂ්පාදනාගාරය - පල්ලිය පාර, කඳාන සහ කඩුවෙල
3.     වෙල්ගම එන්ටප්‍රයිසස් - පල්ලිය පාර, කඳාන (011 4031663)

මෙම නිෂ්පාදකයින් තිදෙනාම තම තමන්ට අනන්‍යවූ නමුත් තත්වයෙන් උසස් නිෂ්පාදන පෙලක් වෙලදපලට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ අතරින් කුඩාම නිෂ්පාදකයා වන වෙල්ගම එන්ටප්‍රයිසස් ආයතනයෙහි “Lahiru” යන වෙලද ලාංඡනය යටතේ සිදුකෙරෙන නිෂ්පාදන පිලිබඳව වසර බොහෝ ගනනක සිටම යහපත් අත්දැකීම් පවතින නිසා, ඒවාට වඩාත්ම සුදුසුය කියන ලේබලය අලවන්න මේසන්බාස්  පසුබට වෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ නිෂ්පාදනවල තත්වය අනර්ඝ වුනත්, අලෙවිකරණයෙහි ඔවුන් එතරම් දක්ෂ පිරිසක් නොවන බවයි මේසන්බාස්ගේ අදහස.  එහෙම කියන්නේ, මෑතකදී ආරම්භ කරනලද, ඒත් තමන්ගේ නිෂ්පාදන සුපිරිමට්ටමක පවත්වාගැනීමකුත් නැති, අළුත් නිෂ්පාදකයින් බොහෝදෙනෙකු ව්‍යාපාරික වශයෙන් මේවනවිට ඔවුන්ව පසුකර ගිහින්තියෙන නිසයි.
 




කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු ගැන ඔබට තවදුරටත් ගැටළු තිබෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් හොද හෝ නරක අත්දැකීම් තිබෙන්නත් පුළුවන්. අනෙක් අයගේත් යහපත තකා ඒ ගැන ටිකක් කථාකරමු. කොමෙන්ටුවකින් හෝ techconco@gmail හෝ pedareruwa@yahoo.com යන ලිපිනයකට විදි ඊයකින් විමසන්න.

ප/ලි
උළුවහු සහ ජනේල රාමු පිළිබදව ලියවුන අපගේ පලමු ලිපිය කියවන්න කැමති කෙනෙකුට ඒ සඳහා මෙතනින් පිවිසෙන්න පුළුවන්.

Wednesday, May 23, 2012

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු


අපගේ පසුගිය ලිපිය වෙන්වුයේ, සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී යොදාගැනෙන දැවමය දොර සහ ජනෙල් රාමු පිළිබඳවයි. ඔන්න දොර සහ ජනෙල් රාමු ගැන වැඩියමක් දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් ඒ පෝස්ටුවත් බලන්න පුළුවන්. ඉතිං පසුගිය ලිපියෙන් පොරොන්දුවූ ආකාරයටම, උළුවසු/ජනෙල් සම්බන්ධ පලාත්පාලන ආයතනික (නගරසභා) නීති රීති ගැන යමක් කථාකරන්නයි අද අපේ බලාපොරොත්තුව.



ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නගරසභා නීති මගින් අදාල පලාත් පාලන බල ප්‍රදේශයතුල ඉදිකෙරෙන සියළු ස්ථිර ගොඩනැගිලි යම් ආකාරයක ප්‍රමිතිගත කිරීමක් සිදුවෙනවා. ඒ වගේම එම ගොඩනැගිලි වල නිවැසියන්ගේ සේම ඒවායේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමත් පරිසරය සුරැකීමත්, ආරවුල් ඇතිවීම අවමකිරීමත්, අනාගත වැඩිදියුණුකිරීම් සදහා ඉඩප්‍රස්තාව ඇතිකිරීමත් ආදී බොහෝ යහපත් පරමාර්ථ මේවාතුල දකින්න පුළුවන්. ඒ නිසාම, පුරවැසියන් විදිහට මේ පුංචි ආණ්ඩු (Local Authorities) වල ඉදිකිරීම් නීති ගැන පරිපූර්ණ දැනුමක් කොහොමවුනත් යම් වැටහීමක් හෝ ලබා සිටීම, අපතේයන්නක් නොවනබව තමයි වි‍ශේෂයෙන් කියන්න තියෙන්නේ.



මේ නීති රීතීන් ගැන ඔබට ඔබේ සිහින නිවස සැලසුම්කරදෙන නිර්මාණශිල්පීයා (ඔහු ගෘහනිර්මාණ ශිල්පියකු, ඉංජිනේරුවරයකු හෝ අත්දැකීම් බහුල  සැලසුම් ශිල්පියකු යන අය අතුරින් කවරකු හෝ වියහැකියි) සැලකිලිමත් නොවුනහොත් සැලැසුම අනුමත කරගැනීමට යාමේදී විවිධ ගැටළු වලට මුහුණදෙන්නට අනිවාර්යයෙන් ඔබට සිදුවේවි. මෙන්න මේ තත්වය බොරදියේ මාළුබෑමේ අවස්ථාවක්, මෙම අනුමත කිරීමේ දාමයට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ට උදාකරදී ඇතිබවක් තමයි පෙනෙන්න තියෙන්නේ. මම මේ කියන්නේ මොකද්ද කියලා, කවදාහරි දවසක පලාත්පාලන ආයතනයකින් නිවාස සැලැසුමක් අනුමතකරගත්ත ඕනම කෙනෙකුට වැටහෙනවා ඇති. 



තවත් සමහරු මෙයට වඩා තවත් පියවරක් ඔබ්බට තබමින්, (තම සැලැසුම අනුමත කරගැනීමට ඇති පහසුව නිසාම) මෙම අනුමත කිරීමේ දාමයට සම්බන්ධ  නිලධාරීන්ලවාම තම නිවාස සැලසුම සකසාගැනීමට කටයුතු කරන අවස්ථාද දකින්න පුළුවන්. ඉදිකිරීම් ව්‍යාපෘතියේ මුල් අදියරයන්හිදී  (සැලසුම අනුමත කරගැනීමේදී) එය ඉතා සාර්ථක බව තමයි වැඩිදෙනෙකුට හැඟීයන්නේ. ඒත්,  පසුව එලඹෙන ඔබේ සිහින නිවසෙහි නිර්මාණාත්මක සහ ගුණානාත්මකභාවය හා සම්බන්ධ කාරණාවලදී බොහෝවිට ඔබට පසුතැවිලිවීමට තරම් ඔබගත් එම වැරදි තීරණය හේතු වනබව තමයි කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ. ඒ මොකද මෙවැන්නක් බෙහෙත් පිලියෙල කරන්නකු (dispenser) ලවා ‍රෝගීප්‍රතිකාරයක් ලබාගැනීමකට සමානකලහැකි අවස්ථාවක් වන නිසයි. 



මේවා එහෙම සිද්ධවෙන්නේ නැතිය කියලා සරම උස්සගෙන චන්ඩිපාට් දාන්න කවුරුවත් සූදානම්වෙන්න එපා. මොකද මම ඔය කිව්වේ, අනික්අයගේ හරිවැරදි බලන්න වැඩබිම් නිරීක්ෂණ චාරිකාවල යෙදෙනකොට, මට හමුවන බොහොමයක්  නිවාස හිමියන් ලබාතියෙන කටුක අත්දැකීම් වලින් සමහරක් ගැන පමණක් වන නිසා. මේ අතරින් බරපතල විදිහට අමාරුවේ වැටුන අයව “ගොඩදාලා දෙන්න“ යන වැඩබිම් නිරීක්ෂණ චාරිකාවලට අපි කියන්නේ Mission of Rescue (කරදරේ වැටුනවුන් ගලවාදෙන මෙහෙයුම්) කියලා. ඒත් සමහර නිවාස තනන්නන් කරගෙන තියෙන මෝඩකම්වල ප්‍රමාණයේ හැටියට ඒ නමත් බරමදිය කියලා තමයි කියන්න වෙන්නේ. 




 

කියන්නට කාරණා බොහොමයක් තිබුනත් අපේ අදදවසේ මාතෘකාවෙන් පිටපනින නිසා,  මේගැන වැඩිදුර කථාකරනඑක අපි ඉදිරි පෝස්ටුවකට බාරකරමු.


කොහොම වුනත් මේ විදිහට වැල්බයිලා ටිකක් කිව්වේ, මේක බලන්න ආව අයගේ කම්මැලිකම පොඩ්ඩක් විතර අඩුකරලා කියවීමේ රුචිය ඇතිකරන්නත් එක්කයි. මොකද කාටහරි බණිනවානම් අපේ අය්යලාට අක්කලාට ඊටවඩා දෙයක් නැහැනොවැ. හරි, ඒ කථා නවත්වලා ඔන්න ඔහේ එහෙනම් අපි නගරසභා නීතිටිකත් මේ ගමන්ම කියවලාම හිටිමුකෝ.

1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)

ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි  වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

2.නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.

ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව  වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.



3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය. 

මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 23/4  ක් (මීටර 0.9) ලෙසද සැලකේ.


4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.

5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.

6. බිම් මට්ටමේ සිට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩුතැන් නොවිය යුතුය.

7. මනුෂ්‍ය වාසයට තැනූ ඕනෑම කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට (සම්මත ආලෝක තලයකට) විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.
 
ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර+ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවනලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය. ආලින්දයක සම්පූර්ණ දිගට අඩි 3 කට වඩා උසින්යුතු කෙටි බැම්මක්/ අත්වැටක් ඇතිවිටකදී එය විවෘත ආලින්දයක් ලෙස සැලකෙන්නේ නැත.

වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.



8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි  71/2  දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය. (සම්මත ආලෝක තලය)

නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 71/2  ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා. එයට වඩා අඩු දුරකින් පිහිටුවන කිසිවක් නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබාදෙන්නක් ලෙසින් සැලකෙන්නේ නැහැ


9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ. 

මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර  වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය.  කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල  බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී  මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.

10.ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.

මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.

 

11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.




නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට අනුකූලව පනවා ඇති මෙම නීතීන්, ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පලාත් පාලන ආයතන වල සුළු සුළු වෙනස්කම් දකින්න තිබුනත් මූලික හරය වෙනස්වෙලා නැහැ.  ඉතිං ගෙයක් හදාගන්න හිතාගෙන ඔබේ පලාත්පාලන ආයතනයේ අනුමැතිය ඒකට ලබාගැනීම උදෙසා ඔබ අයදුම්පතක් ඉදිරිපත්කලවිට, අදාල පලාත්පාලන ආයතනයට අනුයුක්ත කාර්මික නිලධාරි වරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් ඉහතදී සදහන් කරපු කරුණු කාරණා පරීක්ෂාකරනු ලබනවා. මෙයට අමතරව ඔබේ ලිඳ සහ වැසිකිලි වලෙහි පිහිටීම, වැසිජලය සහ විශේෂයෙන් අපවිත්‍ර ජලය බැහැරකිරීමේ ක්‍රමවේදය සහ අසල්වැසියන්ට ඒවායින් වන බලපෑමත් ඔහුගේ සැලකිල්ලට බදුන්වෙනවා.




 මම මුලින්ම කිව්වා වාගේම මේ නීතිරීති නිසියාකාරව ක්‍රියාත්මක වේ නම් ඔබේ මෙන්ම ඔබගේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමට එය මනා පිටුවහලක්. ඒ නිසාම මේ නීති වලින් රිංගා යාමට උත්සහ කරනවා‍ට වඩා, ඒවා අනුගමනය කරමින් වාසයකිරීමට වඩා යෝග්‍ය පරිසරයක් පවතවාගෙන යාමට මේ පුංචි ආණ්ඩු වලට සහාය දැක්වීම යහපත් පුරවැසියන් විදිහ‍ට ඔබේ යුතුකම බව මතක්කරන්න කැමතියි. 


 


ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙහි ඔබට හුරුපුරුදු නොවූ තවත් ඉසව්වක් කරා ඔබව රැගෙන යන බලාපොරොත්තුවෙන් සත් දිනකින් නැවතත් හමුවෙමු.

එතෙක්,
ඔබසැමට සුභ සතියක් !

ප/ලි  වැඩි විස්තර මොකුත් උවමනාවේනම්, කොමෙන්ටුවකින් හෝ මගේ විද්‍යුත් ලිපිනයට විදි ඊයකින් විමසීමක් කරන්න.

(මෙහි ඇතුලත්කරඇති සියළු ඡායාරූප, අන්තර්ජාලය ඇසුරින් ලබාගෙන ඇතිබව කරුණාවෙන් සලකන්න)