Wednesday, April 25, 2012

උළුවහු සහ ජනේල රාමු - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (උළුවහු සහ ජනේල රාමු -1)


අපේ පසුගිය ලිපි ගණනාවම වෙන්වූයේ  විවිධ ආකාරයේ සම්ප්‍රදායික සහ නුතන බිත්ති බැදීම් ක්‍රමවේද පිලිඹදවයි. අප දන්නා ඉතිහාසයේ ආරම්භයේ ඉදන්ම නිවාස ඉදිකිරීමේදී අ‍පේරටේ අපට හුරුපුරුදු ක්‍රමවේදය වුනේ සුවිශාල ව්‍යුහයන් ඉදිකිරීමයි. ඒනිසාම ඇතැම් රටවල භාවිතා වන ආකාරයේ සරල ව්‍යුහමය සැකිල්ලකට සැහැල්ලු වෙන්කිරීමේ පනේල සවිකිරීම (බිත්ති ඉදිකිරීම වෙනුවට) ආදී ක්‍රමවේද ගැන කථාකරන්නට ගිහිල්ලා, මේ නීරස කාරණා බොහොම අමාරුවෙන් කියවන ඔබගේ ඔළුව තවදුරටත් අවුල්කරන්නේ නැතිව, සති ගණනාවක් තිස්සේ ඇදගෙනආව බිත්ති ඉදිකිරීම කියන මාතෘකාව මේ විදිහට අවසන් කරන්නට හිතුවා. 



බිත්ති වලින් පස්සේ, මිලඟට එලඹෙන වැදගත් අයිතමයක් තමයි දොර සහ ජනෙල් රාමු සවිකිරීම. අපේරටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්. ඒවා ගොඩනැගිල්ලට සවිකිරීම, සාමාන්‍ය ව්‍යවහාරයේදී උළුවහු තැබීම/පැනීම විදිහට හදුන්වනු ලබනවා.  මේ කාරණය හා බැඳුණ සංස්කෘතිකාංගත්  තියෙනවාය කියනඑක හැමෝම දන්න කාරණයක් නේ. නිවසක් ඉදිකිරීම, තවත් එක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් පමණක්ම නොවන නිසා, ඒහා බැඳුන යම්යම් සංස්කෘතිකාංග රැසක්ද සමාජගතවෙලා තියෙනවා. පෞද්ගලිකව මම පිලිනොපැද්දත්,  වෘත්තීමය ජීවිතයේදී මෙවන් සංස්කෘතිකාංග ගැන මම නම් දරන්නේ මැදහත් බවක්. මොකද බොහෝදෙනෙක් විශ්වාසකරන ජෝතිෂ්‍ය හාබැඳුන මෙවන් සමහර කාරණා වලට අවශ්‍යනම් යම්තාක්දුරකට විද්‍යාත්මක පැහැදිලිකිරීම්ද දක්වන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම වුනත්  මේවාපිලිඹද අන්ධභක්තියෙන් කටයුතු නොකොට, සංස්කෘතිකාංග විදිහට පමණක් සලකා, එවැනි දෑ අනුගමනය කරනවානම් තමයි වඩාත්ම සුදුසු. මේ සංස්කෘතිකාංග ගැනත් ඉදිරියේදී,  (වැඩිදුර සංවාදයට විවෘතකරපු) පෝස්ටුවක් ඉදිරිපත් තරන්නත් මේසන්බාස් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  බිත්ති බැඳීම සිදුවන අතරතුරඋළුවහු බිත්තියට සවිකිරීම

නිවසක් ඉදිකිරීමේදි මුල්ගල්තැබීමට පසුව එලඹෙන නැකතකට වැඩ ආරම්භවන ප්‍රධාන සංස්කෘතිකාංගය විදිහට උළුවහු තැබීම සැලකෙනවා. සාමාන්‍යයෙන් නිවසක් ඉදිකිරීම හා බැඳුන මෙවන් ප්‍රධාන සංස්කෘතිකාංගය වලදී,  අදාල ශිල්පීන්ට ත්‍යාග පිරිනමා ඔවුන් සතුටුකිරීම (ඔවුන් ඔබට සේවය කරන්නේ කොන්ත්‍රාත් පදනමට වුවත්) සිරිතක්. මෙයට අමතරව අදාල සංස්කෘතිකාංගය සදහා අවශ්‍ය “අඩුමකුඩුම“  සියල්ල සපයාදීමටත් ඔබට සිදුවනවා ඇති. ඒනිසා මේ අඩුමකුඩුම මොනවාද කියලා කල්තියා විමසා දැනගන්නඑක ඔබට බාරයි. මොකද හැමදාම ගල්වැලි සිමෙන්ති එක්කලා ඔට්ටුවෙන මේසන්බාස්ලාට, වරුවෙන් වැඩ නවත්වලා පොඩ්ඩක් විනෝදවෙන්න තියෙන්නේ ඔහොම දවසක් තමයි. (මම මේ ටික විශේෂයෙන් සදහන්කලේ ඔබේ නිවසේ ඉදිකිරීම් අතරතුර මෙවන්නක් අත්දැක්කොත්, එය අසාමාන්‍ය තත්වයක් නොවනබව වටහාගන්නටයි). 

 ආදිකාලේ ගල් උළුවස්සක්


හරි..... දැන් පඳුර වටේ තැළුවා ඇති. අපි ආපසු අපේ මාතෘකාවට එමු.

සාමාන්‍යයෙන් ලී උළුවස්සක් හෝ ජනේලයක්, හරස්කඩ  3”x4” ප්‍රමාණයේ ලී භාවිතාකර නිර්මාණය කරගනු ලබනවා. වියලි කලාපයේ කොහොඹ. තේක්ක ආදී  ශක්තිමත් දැව වර්ග භාවිතා කලද තෙත් කලාපයේදීනම් බහුලව භාවිතාකරන්නේ ප්‍රාදේශීයව සපයාගතහැකි කොස් දැව හෝ ආනයනික කෙම්පස් / බලව් යන දැව වර්ගයි. මෙයට අමතරව උඩරට ප්‍රදේශ වල වැවෙන යුකැලිප්ටස්(ටර්පන්ටයින්) වර්ග වන මෛක්‍රෝ, ගාන්ධීස් ආදියද වර්ණයෙන් පොහොසත් නොවූවත්, ශක්තියෙන් සහ කල්පැවැත්මෙන්(කෘමි හාණි වලට ප්‍රතිරෝධී) ඉතා අගනා විකල්ප දැව විදිහට හදුනාගන්න පුළුවන්. මේ මොන දැවය භාවිතා කලත් අපට අවශ්‍ය විදිහට වර්ණගන්වා, එකම විදිහේ නිමාවක් ලබාදෙන්න පුළුවන් බව මෙහිදී මතක්කරන්නම ඕන. මොකද සමහර විට ඔබ භාවිතා කලේ මිල අධික දැව වර්ගයක් වුවත්, ඔබේ නිවාසයේ තේමාවට අනුකූලව, සියළු දැව කොටස් අවසානයේදී මහෝගනී වර්ණයෙන් වර්ණගන්වන්නට (මහෝගනී යනු සාපේක්ෂව මිල අඩු දැව වර්ගයකි) ඔබට සිද්ධවෙන්න පුළුවන්. එහෙම වෙලාවට, මම මේ ජනේල හැදුවේ අසවල් ලීවර්ගයෙන්ය කියලා බෝඩ් එකක් එල්ලනවා හැරෙන්නට, අතිරේකව වියදම්වූ ලක්ෂ ගණනක මුදල වෙනුවෙන් ඔබට කරන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ.



 මේවා හැබැයි බටහිර රටවල උළුවසු
සාමාන්‍ය යෙන් අපේ රටේ භාවිතා කෙරෙන දොර-උළුවස්සක්, දෙපස කණුදෙකකින් සහ උඩ පඩිකඳකින් සමන්විත වෙනවා. කණුදෙකට වඩා පිටතට නෙරායන උඩපඩිකඳට අයත් කොටස “කණ“ විදිහට හදුන්වනු ලබනවා. උළුවස්ස බිත්තියට හොදින් සවිවීමත්, ඉහල බිත්ති කොටස් වල බර දෙපස බිත්ති දෙකට පැවරීමත් මේ ක‍ණ් දෙකෙහි රාජකාරිය වෙනවා. උළුවස්සේ ඉහලින් වාතාශ්‍ර කවුළුවක් පවතින විට, මැද පඩිකදක් දැකිය හැකිවන අතරම, අපේ ඉපැරණි උළුවස්සක යටපඩිකඳක්ද පැවතිබව කියැවෙනවා( ඇම්බැක්ක දේවාලයේ මෙවැන්නක් අදත් දැකිය හැකිය). සාමාන්‍යයෙන් නිවසක සියළුම දොර සහ ජනෙල් උළුවසු වල මැද පඩිකඳන් එකම මට්ටමින් පැවතිය යුතු වීම රීතියක්. ඒත් ගෙබිමෙහි විවිධ උස මට්ටම් පවතින අවස්ථාවකදී යම් බිත්තියකට අදාල ගෙබිම් (හෝ DPC) මට්ටමේ සිට සමාන උසකින් පවතින ලෙසින් මැද පඩිකදෙහි මට්ටම ඒ ඒ බිත්තියට අදාලව සකසාගත යුතුවෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් ඔබ නිවසතුල කවර ස්ථානයක හිටියත් ඔබට ආසන්න දොරෙහි හෝ ජනේලයේ මැදපඩිකඳ (මැද පඩිකඳක්/වා කවුළුවක් නොමැති අවස්ථාවකදී නම් උඩපඩිකඳ) ඔබේ හිසෙහි මට්ටමෙහි සිට යම් නිශ්චිත උසකින් පැවතිය යුතුය. 

 දොරෙහි හෝ ජනේලයේ මැදපඩිකඳ ඔබේ හිසෙහි  සිට යම් නිශ්චිත උසකින් පැවතිය යුතුය


නිවස අභ්‍යන්තර පරිසරයේ සිසිල් බව රැකදෙන වා කවුළු, බීරළු, ලැටිස්, ආරුක්කු, ට්‍රෙලිස්, ලුවර, කැටයම් ලෑලි  ආදී විවිධ මෝස්තර වලින් නිර්මාණය කෙරෙන අතර කාලානුරූපව ජනප්‍රියතාව උස්පහත් වෙමින්, නිවසේ බාහිර පෙනුම වැඩිකිරීමටත් යම් දායකත්වයක් ලබාදනවා. මේවායින් කවර වර්ගය වඩා සුදුසුද කියන පැණය අපෙන් අහන්නේ නැතිනම් තමා වඩා සුදුසු. මොකද ඒවායේ සඵලතාවයෙන් ස්වායක්තව කාලාණුරූපව මේ මෝස්තර (සාධාරණ නොවන හේතූන් මත පවා) වෙනස්වන නිසාමයි. කොහොම වුනත් නිර්මාපකයන් අතර “ලූවර“,  සදාකාලික වාකවුළු මෝස්තරය ලෙස සැලකෙනවා. (ඒත් ලූවර වල ස්වරූපයෙහි, කාලීනව සිදුවන වෙනස්කම් දැකිය හැකියි)

“ලූවර“,  සහිත වාකවුළු මෝස්තරයක්


සාමාන්‍යයෙන් නිවසක බාහිර බිත්ති වලට සවිවන උළුවසු සදහා වාතාශ්‍ර කවුළු පවතින බැවින් මැදපඩිකඳක් පැවතියද අභ්‍යන්තර බිත්ති සඳහා සවිවන උළුවසු සදහා මැදපඩිකඳක් නොපවතී. ඒ අභ්‍යන්තර උළුවසු, වාතාශ්‍ර කවුළු නොදරන බැවිණි. එහෙත් ගොඩනැගිල්ල සඳහා යොදාගත් තේමාව අනුව, එහෙමත් නැතිනම් ඔබගේ ගෘහනිර්මාණ ශිල්පියා විසින් හදුනාගන්නා ලද විශේෂ අවශ්‍යතා මත අභ්‍යන්තර බිත්ති සඳහා සවිවන උළුවසු සදහාද මැදපඩිකඳන්(සහ වාතාශ්‍ර කවුළු) යොදාගැනීමට සමහරවිට ඔබට සිදුවිය හැක. මා මේකාරණය සඳහන්කලේ, නිවාස ඉදිකිරීමේදී ඒහා සම්බන්ධ විශේෂඥයන්ට, යම්යම් රීතීන් අතික්‍රමණය කලහැකිබව පෙන්වා දෙන්නටයි. (තවත් විදිහකින් කිව්වොත්, සමහර වෙලාවට, විෂය නොදන්නාකෙනෙකුගේ ග්‍රාම්‍ය ඉදිකිරීමක් සහ විශේෂඥයකුගේ ප්‍රශස්ථ නිර්මාණයක් අතර ඇත්තේ බොහොම පුංචි වෙනසක් බව ඔබට පැහැදිලි කරන්නයි. හැබැයි ඉතින් එහෙමය කියලා ඉංජිනේරුවෝ උවමනා නැතිය, මේසන් බාස්ලා විතරක් හිටියාම ඇතිය කියලා හිතන මෝඩ දේසපාලුවන්ගේ ගානට මේක කියවන ඔයගොල්ලෝ පත් නොවේවිය කියලා මංතුමා - (මේසන් බාස් කෙනෙක් වුනත්, විෂයත් පොඩ්ඩක් දන්න නිසා) - විශ්වාස කරණවා)

 
 විශේෂඥයන්ට, යම්යම් රීතීන් අතික්‍රමණය කලහැක


උළුවහු බිත්තියට සවිකිරීම ඉදිකිරීම් අදියර දෙකකදී සිදුකරන්නට පුළුවන්. ඒ බිත්ති බැඳීම සිදුවන අතරතුර එයට සමාන්තර ලෙස හෝ සුදුසු පරිදි කවුළු ඉතිරිකරමින් බිත්ති බැදීම සිදුකර පසුව උළුවසු තබා හිරකිරීම වශයෙනි. සවිවීම අතින් පලමුවැන්න වඩා හොද වනවිට උළුවසු වල පැවැත්ම සම්බන්ධයෙන් දෙවැන්න වඩා හිතකර වෙනවා. මේ කවර ආකාරයට සිදුකලද ලී උළුවසු සදහා පලමුව දැව ආරක්ෂක ආලේප ද්විත්වයක් සහ සීලර් ආලේපනයක් සිදුකර උළුවසු තැබීම ඒවායේ කල්පැවැත්මටත්, මනා පෙනුම රැකගැනීමටත් අනිවාර්යයෙන් හේතු වෙනවා. ඒ වගේම අවශ්‍යතාව පරිදි අවුල්පාසු සවිකිරීමත් ඉතාමවැදගත්. විශේෂයෙන් බ්ලොක්ගල් බිත්ති සදහා අවුල්පාසු සවිකිරීම, උළුවස්ස (හෝ ජනේල රාමුව) බිත්තියට හොදින් සවිවීමට ලොකු මෙහෙයක් ඉටුකරනවා. අවුල්පාසුවක් (Hold pass) කියන්නේ උළුවස්සක් බිත්තියකට සවිකිරීම උදෙසා සකස්කර තිබෙන අවයවයකටයි. මෙවැන්නක් තහඩු පතුරක් හෝ කම්බියක් විය හැකියි. එතරම් සාර්ථක නැතත් සමහරු මේකට කටුකම්බිත් යොදාගන්නවා. විශේෂයෙන් සුලං පවතින ප්‍රදේශවල, ජනේල හෝ දොරපියන් වේගයෙන් වැසීමෙන්/ඇරීමෙන් ඇතිවන බලපෑම(Impact) සමනය කරගැනීමට මෙම අවුල්පාසු දායක වෙනවා. ඕනෑම ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසලකින් මිලට ගතහැකි අවුල්පාසු, එතරම් මිලැති අයිතමයක් නොවනබවත් දැනසිටීම වැදගත්.

 විවිධ වාකවුළු මෝස්තර එකම නිවසට යොදාඇති අවස්ථාවක්

පෝස්ටුව ිග වැඩිවන නිසා අදට මෙතනින් නවත්වනඑක හොඳයි වගේ. මොකද දිග වැඩි වුනොත් ඒකෙන් මේක කොටන මටවත් කියවන ඔයගොල්ලන්ටවත් වැඩි හොදක් වෙන එකක් නැහැ. මීලඟ පෝස්ටුවෙන් උළුවසු/ජනෙල් සම්බන්ධ පලාත්පාලන ආයතනික (නගරසභා) නීති ගැන යමක් කථාකරන්නයි බලාපොරොත්තුව. ඒකට තව ලුණුඇඹුල් මොකුත් උවමණානම්, කොමෙන්ටුවකින් හෝ මගේ විද්‍යුත් ලිපිනයට විදි ඊයකින් විමසීමක් කරන්න.

ඔබසැමට සුභ සතියක්.!

Wednesday, April 11, 2012

සිමෙන්ති මිශ්‍රිත පස් බ්ලොක්ගල් බිත්ති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (බිත්ති බැඳීම-5)

අපි පසුගිය ලිපියෙන් කථාකලේ, මිලෙන්වැඩි සම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන ලාබදායී නූතන විකල්පයක්වූ  ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls) පිලිඹදවයි. එහිදී පොරොන්දු වෙච්ච ආකාරයටම අද දවසේ අපේ බලාපොරොත්තුව එහි වැඩිදියුණු කල සංස්කරණයක් වෙච්ච ස්ලිප් ෆෝම් පස් බිත්ති සහ ස්ථායීකරනය කල පස්ගල් බිත්ති ගැන බිඳක් වැඩිපුර කථාකරන්නයි.

මේ තියෙන්නේ පස්ගල් බිත්තියක්

සිමෙන්ති මිශ්‍රිත පස් එහෙම නැතිනම් වඩාත් තාක්ෂණිකව කිව්වොත් ස්ථායීකරණය කරනලද පස්, ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් විදිහට ඉතා උසස් ගුණාංග පෙන්වනු ලබනවා. අපේ සම්ප්‍රදායික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල තියෙන යහගුණ සියල්ල අඩුනැතිව අයිතිකරගත් පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමවේදෙයක් ඇතිකරන්න නර්ඩ් ඉංජිනේරු කණ්ඩායම ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නිෂ්පාදනය එලිදැක්වෙලා තියෙන්නේ. මෙහිදී අමුද්‍රව්‍ය විදිහට යොදාගැනෙන්නේ පස්, සිමෙන්ති, හුණු සහ ජලය පමණයි. ඒ නිසා වැලි අර්බුදයට මේක ඉතා හොද පිලියමක්. තාප පරිවාරක ගුණය ඉහල බැවින් ගොඩනැගිල්ලෙහි ඇතුලත පරිසරය සුවපහසු එකක් වීමත් වියදමින් 15% ~ 35% අතර ප්‍රමාණයක් ඉතිරිකරගත හැකිවීමත් ප්‍රධාන වාසි විදිහට දක්වන්න පුළුවන්.
පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති නිපදවීමේ ක්‍රමවේදය සරලව මේ විදිහට දක්වන්න පුළුවන්,
·        සුදුසු පසක් තෝරාගැනීම (Selection of suitable soil)
·        පස් සපයා ගැනීම / හාරා ගැනීම (Extraction of soil)
·        (අවශ්‍යනම්) පස් හලාගැනීම (Sieving of soil, if it is necessary)
·        සිමෙන්ති හෝ සිමෙන්ති සහ හුණු මිශ්‍රකිරීම (Mixing with cement or cement & lime)
·        ජලය එකතු කිරීම සහ මිශ්‍රණය කලවම්කිරීම (Adding & mixing with water)
·        පස්ගල් නිෂ්පාදනය/ ස්ලිප් ෆෝම් පස් බිත්ති ගොඩනැංවීම (Manufacturing of blocks)
·        පදම්කිරීම (Curing under a shade)
·        පස්ගල් භාවිතාකිරීම (Using of blocks)
·        අවශ්‍යනම් කපරාරු කිරීම.( Plastering walls, if it is necessary)

මේකත් පස්ගල් බිත්තියක්

පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති සදහා මැටි අඩු, වැලි වැඩි හෝ බොරළු සහිත පසක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 10% -15% අතර මැටි අඩංගු පසක් ඉතා යෝග්‍ය බවට සැලකෙනවා. ඔබ සතුව ඇත්තේ මැටි ප්‍රතිශතය වැඩිපසක්නම්, වැලි හෝ වැලි සහිත පස් එයට එක්කර එහි තත්වය වැඩිදියුණුකොට භාවිතා කරන්නට හැකියාව තිබුනත් ඔබ සතුව ඇත්තේ සියුම්වැලි(silt) වැඩි පසක්නම් එය මේ කටයුත්ත සදහා සුදුසු නොවනබව සිහිතබාගැනීම වැදගත්. සුදුසු පසක් තෝරාගැනීම සදහා සරල පරීක්ෂණයක් වන බෝතල් පරීක්ෂණය වුනත් හොදටෝම ඇති. දැන් ඔන්න බෝතල් පරීක්ෂණය කියන්නේ මොකද්ද කියලා අහස පොලව ගැටගහගෙන කල්පනා කරන්න එපා. මේක අපි හැමෝම ඉස්කොලේ පොඩිපන්ති වලදි කරපු දෙයක්. ඒ කියන්නේ පිරිසිදු අවර්ණ බෝතලයකට පස් සාම්පලයක් දමලා, ඒවාගේ දෙගුණයක් පිරිසිදු ජලය එකතුකරලා තදින් සොලවලා පැයකට පස්සේ දෙවෙනි පාරටත් සොලවාලා නිශ්චලව පැය 8 ක් තියලා, වතුර හැරෙන්නට ඝණ ද්‍රවව්‍ය වල එක් එක් තට්ටුවේ උස මැනගෙන එහි බොරළු, වැලි, සියුම්වැලි, මැටි අනුපාත ගණනය කරන එකයි. 


 මේ තියෙන්නේ බෝතල් පරීක්ෂණයක ආදර්ශයක්


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක්

කොහොම වුනත් මේ මිශ්‍රණයට යොදාගන්න සිමෙන්ති අනුපාතය සාමාන්‍යෙයෙන් 1:10 ලෙස සැලකුවත්, විධිමත් රසායනාගාර පරීක්ෂණ සහිත වානිජ නිෂ්පාදනයකදී එය 1:20 දක්වා වෙනස්වෙන්න පුළුවන්. පස්ගල් නිෂ්පාදනය සදහා යොදාගන්නා යන්ත්‍රසූත්‍රද, අතින් ක්‍රියා කරන සරල යන්ත්‍රවල සිට ද්‍රවස්ථික සම්පීඩක දක්වා වෙනස්වෙන බවත් කියන්න ඕන. වෙන්කිරීමේ බිත්ති සදහා යොදාගැනීමට නිර්දේශ කෙරෙන මෙවන් පස් ගලක අවම සම්පීඩන ශක්තිය 1.2N/mm2  ලෙසට සැලකෙන බවත් නොකිව්වොත් වැරැද්දක්.


 අතින් ක්‍රියාකරවන වෙනස් වර්ගයක පස්ගල් නිපදවන යන්ත්‍රයක්


 ස්ලිප්පෝම් පස්බිත්තියක්
බොහොමයක් පස්ගල් බිත්ති කපරාරු කිරීම අවශ්‍ය නැහැ. විශේෂයෙන් වැඩිදියුණු කල හැඩයක් සහ අතුරුගුළු(inter locking) සහිතව ඉදිරිපත්ව ඇති අළුත් පස්ගල් ප්‍රභේද කපරාරු රහිත බිත්ති ලෙස ගොඩනැංවීම සදහාම නිෂ්පාදිතයි.


 විවිධ පස්ගල් වර්ග
පස්ගල් බිත්තියක් කපරාරු කිරීම අවශ්‍යනම් ඒ කටයුත්තත් සම්ප්‍රදායෙන් බැහැරව සිදුකරන්න පුළුවන්. ඔබේ පස මැටි වැඩි එකක්නම් 1:3:3 සිමෙන්ති:පස්:වැලි මිශ්‍රණයක්ද මැටි අඩු වැලි සහිත පසක් නම් 1:6 සිමෙන්ති:පස් මිශ්‍රණයක්ද කපරාරුව සහ බැමිබැඳීම සදහා යොදාගන්න පුළුවන්. කපරාරුව සුද මැදීම සදහා අවශ්‍යනම් මකුළු පසින් හෝ මැටිවැඩි පසකින් ජලයේ දියකර වෙන්කරගත් මැටි කොටස් 15ක් සිමෙන්ති එක් කොටසක් සමග මිශ්‍රකර භාවිතයට ගන්න පුළුවන්.


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්


 අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්

මේ කාරණා සේරම සලකලා බලපුවහම තේරුම්ගතයුතු වැදගත් දෙයක් තමයි මේ ක්‍රමවේද අනුගමනය කරන්න ඒ පිලිඹදව හොද දැනුමක් හා අවබෝදයක් තියෙන්න ඕනය කියනඑක. ඒ නිසා මගේ උපදේශයනම් කොච්චර වාසි සහගත වුනත් මේවාගේ තාක්ෂණය සමග බද්ධ වෙච්ච වැඩ, ඒගැන දැනුමැත්තකුගේ සහයකින් තොරව, තනියම කරන්න යන්න එපාය කියන එකයි. අර කථාවටත් කියන්නේ, දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග කියලා. ගෙවල් හැදිල්ලෙදිත් මේ කාරණය එහෙමම තමයි ඕං  !

Wednesday, March 28, 2012

නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-4

අපි පසුගිය ලිපියෙන් කථාකලේ, රජරට ලොකු ගඩොල් එහෙමත් නැතිනම් වන්නි ගල් සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පෝස්ටුව බලන්න පුළුවන්. සති කිහිපයක් එකදිගටම මිලෙන්වැඩි, සම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද ගැන කථාකලනිසා ඒ වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන ලාබදායී නූතන විකල්ප පිලිඹදව දැනගන්නඑකත් නිවසක සිහිනය සැබෑවක් කරගන්න වෙහෙසෙන හැමෝටම වැදගත් වේවි. ඉතින් අද දවසේ අපේ බලාපොරොත්තුව එවන් විකල්ප ක්‍රමවේදයක් ගැන බිඳක් වැඩිපුර කථාකරන්නයි.



ස්ලිප් ෆෝම් බිත්ති

නිවාස බිත්ති ගොඩනැංවීමේ නූතන විකල්ප ක්‍රමවේද අතුරින් පලමුවෙන්ම සාර්ථක ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලද්දේ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා ප්‍රමුඛ නර්ඩ් ඉංජිනේරු කණ්ඩායමයි. ඒ මෙයට වසර 30කට නොඅඩු කාලයකට කලින්. මෙය හැදින්වුයේ ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls) ලෙසයි. මෙහිදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගනු ලැබුවේ එවකට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කඳු වශයෙන් ගොඩගසාගෙන සිටි, කළුගල් නිෂ්පාදනයන්හි අපද්‍රව්‍යයක් වශයෙන් ලැබුණ ගල්කුඩුයි (Quarry Dust). මෙම ගල්කුඩු සහ සිමෙන්ති 1:12 අනුපාතයකට ගෙන 2% ක කොහුකෙදි ප්‍රමාණයක් සහිතව සීමිත ජලප්‍රමාණයක් යටතේ මිශ්‍ර කොට, විශේෂ යකඩ  අච්චුවක් (Slip Form Shutter) මාර්ගයෙන් බිත්ති ඉදිකිරීම සිදුවූවා. නර්ඩ් අත්තිවාරම මත ස්ථාපිත පෙරසවි කුළුණු වෙත ජී-කලම්ප මගින් සවිකරන ලද යකඩ අච්චුව, ද්‍රවස්තිතික ජැක්කු මාර්ගයෙන් බිත්තිය හා සමගාමීව ඉහලට එසවෙනු ලැබුවා.

ජී-කලම්ප මගින් සවිකරන ලද යකඩ අච්චුව


ද්‍රවස්තිතික ජැක්කු සවිකරනු ලබන "යෝර්ක්ස්" නමැති අල්ලු

මේ බිත්ති කුස්තුර රහිත වූ බැවින් සම්පූර්ණ පනේලයම තනි ව්‍යුහයක් (යෝධ බ්ලොක් ගලක්) වශයෙන් ක්‍රියාකිරීම නිසා බර දරණා ව්‍යුහමය බිත්ති වශයෙන් ඉතා සාර්ථකව උපයෝගීකරගැනීමේ හැකියාව ලැබුණා. මහල් ගොඩනැගිලි සදහා 6“ පලල බිත්තිද තනි තට්ටුවේ ගොඩනැගිලි සදහා 4“ බිත්තිද යොදාගනු ලැබුවා. මෙහිදී උපයෝගී කරගත් යම් යම් තාක්ෂණික ක්‍රමවේද හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් ඉතා අඩු සංඛ්‍යාවක් පමණක් උපයෝගී කොට වඩා වේගවත් ඉදිකිරීමක් සිදුකිරීමේ හැකියාව ලැබුණා. බිත්ති ලඹකිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවීමත්, එක් දිනක් තුල සම්පූර්ණ බිත්තියක්ම ඉදිකල හැකිවීමත් ( සාම්ප්‍රදායික බිත්තියක් දිනකදී ඉදිකලහැකි උපරිමඋස අඩි 5කි) කපරාරු අනවශ්‍යවිමත්, අඩු අමුද්‍රව්‍ය පිරිවැයත් ආදී වාසි රැසක් අත්කර දෙනු ලැබුවා. වියදම් පිරිමැසීම ගැන සදහනක් කලොත්, යම් බිත්තියක දෙපස කපරාරුව සදහා යන වියදමින් එම බිත්තිය ඉදිකලහැකිබව පෙන්වාදෙනු ලැබුවා.

ස්ලිප් ෆෝම් බිත්ති සහිතව නිමවන ලද පාසල් ගොඩනැගිල්ලක්

මෙහි කොහුකෙඳි එකතුකිරීම, එතෙක් පැවති ක්‍රමවේදයන්ට වඩා බොහෝ වෙනස්වූ කාරණයක්. එහි බලාපොරොත්තුව වුනේ ඉදිකෙරෙන බිත්තියට මූලික වැරගැන්නුමක් ලබාදීම පමණයි. ඒ අනුව එක් දිනක් තුල සම්පූර්ණ බිත්තියක්ම ඉදිකිරීමෙහි හැකියාව, ස්ලිප් ෆෝම් බිත්ති වලට එකතුකරනලද කොහුකෙදි මඟින් ලබාදෙනු ලැබුවා. ඇත්තටම ගල්කුඩු මිශ්‍රණයෙහි සිමෙන්ති අංශුන්ගේ සවිවීම ආරම්භවන බැවින් කොහුකෙදි වල රාජකාරිය මුල් පැය 24 තුලදීම අවසන්වෙනවා. බිත්ති නිමකිරීමේ අදියරේදී, බ්ලෝව් ලාම්පුවකින් පිලිස්සීමෙන් බිත්තිවලින් පිටතට මතුවඇති කොහුකෙඳි ඉවත්කරනු ලැබුවා. අනතුරුව සිමෙන්ති කුඩු ස්වල්පයක් එක් කරනලද හුණු බොරයෙන් (Lime putty)  බිත්ති මතුපිට සුදතැබීම සිදුවුණා. කොහොම වුනත් මෙම  කොහුකෙඳි එකතුකිරීම, ඒ පිලිඹදව නිසි වැටහීමක් නොතිබූ සාමාන්‍ය ජනතාව අතරින් බොහෝදෙනකු, කොහුබත් එකතු කිරීමක් ලෙස වරදවා වටහාගෙන තිබුණා.


ස්කුරුප්පු ජැක්කු සවිකරනු ලබන "යෝර්ක්ස්" නමැති අල්ලු




ස්ලිප් ෆෝම් බිත්තියක් නිර්මාණය කරමින් 

කොහෙමවුනත් පසුකාලීනව බ්ලොක්ගල් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ අමුද්‍රව්‍ය සඳහා ඇතිවූ තරඟයත්, අදාල ක්‍රමවේදයන් භාවිතය සදහා විශේෂ පුහුණුවක් සහ උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වීමත්, කපරාරු නොකරන ලද ස්ලිප්ෆෝම් බිත්තියක නිමාව, කපරාරු කරන ලද බ්ලොක්ගල් බිත්තියක් හා සැසදීමේදී 95% නොඉක්මීමත්, ගඩොල් බිත්තියක් හා සැසදීමේදී ගොඩනැගිල්ලක ඇතුලත පරිසරයේ උශ්නත්වය සමනය කිරීමට එය දායක නොවීමත් සහ විශේෂයෙන් නර්ඩ් ආයතනය මගින්ම පසුකාලීනව වඩා පහසු සහ සාර්ථක ක්‍රමවේද ඉදිරිපත් වීමත් හේතුකොටගෙන මෙවන් ස්ලිප්ෆෝම් බිත්ති ඉදිකිරීම අදවනවිට නර්ඩ් තාක්ෂණයෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි වල අත්තිවාරම් බැම්ම ඉදිකිරීමට පමණක් සීමාවෙලා තියෙනවා කියනඑකත් නොකිව්වොත් වැරැද්දක්.

ආයෙත් සත්දිනකින් හමුවෙමු!

ප.ලි.
මීලඟ කොටසින් නර්ඩ් ආයතනයේම,
1.      ස්ලිප් ෆෝම් පස් බිත්ති
2.      ස්ථායීකරනය කල පස්ගල් බිත්ති.
                         
                               පිලිඹද විස්තර දෙන්නයි බලාපොරොත්තුව.

Friday, March 16, 2012

නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-3

අපි පසුගිය ලිපියෙන් කථාකලේ, සිමෙන්ති බ්ලොක්ස් එහෙමත් නැතිනම් බ්ලොග් ගල් බිත්ති බැඳීම සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පොස්ටුව බලන්න පුළුවන්. කිහිප දෙනෙක් එහිදී රජරට පැත්තේ බිත්ති බැඳීමට යොදාගන්න විශාල ප්‍රමාණයේ ගඩොල් ගැනත් විමසා හිටියා. ඉතින් අද දවසේ අපේ බලාපොරොත්තුව ඒ ගැන ටිකක් සවිස්තරව කථාකරන්නයි.

රජරට ලොකු ගඩොල්
අප මෙයට කලින් සම්මත ගඩොල් ඒ කියන්නේ ඉංජිනේරු ගල් ගැන කථාකරා ඔබට මතක ඇති. මිල අධික වුවත් ගඩොල් වල තියෙන සුපිරි ගුණාංග ඉදිරියේ බ්ලොක් ගල් ඇතුළු බොහෝ බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය පහසුවෙන් පරාජයට පත්වන බව ඒ අනුව ඔබට පැහැදිලි වන්නට ඇති. නමුදු සම්මත ගඩොලක ආවේනික ගුණාංග යම් පමණකට රැකගෙන, වෙලඳපල කරා එන තරමක ලාභදායී විකල්පයක් විදිහට අපගේ අද දවසේ මාතෘකාව බවට පත්වන රජරට ලොකු ගඩොල් හදුන්වන්න පුළුවන්.




කාලාන්තරයක් තිස්සේ තම තමන්ගේ භාවිතය සදහා තම තමන්ගේ රුචිකත්වය අනුව විවිධ ප්‍රමාණ වලින් නිපදවාගනුලැබු රජරට ලොකු ගඩොල්, ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙසින් නාගරික ජනතාව අතර ප්‍රචලිත වීමත් සමඟම පලලxදිගxඋස  6”x9”x4” යන ආසන්න අගයකින් නිපදවීම ඇරඹුණා. මෙම ගලක් කිලෝ 6කට වැඩි බරකින් යුක්ත වූ බැවින් සහ ප්‍රමාණයෙන් සුවිසල් බැවින් ලොරියකට පැටවිය හැකි වූයේ සීමිත ප්‍රමාණයකි. ව්‍යාපාරයක් වශයෙන් නාගරික ප්‍රජාව වෙත රජරට ලොකු ගඩොල් සැපයීම ඇරඹීමත් සමගම නිෂ්පාදකයා සහ ප්‍රවාහකයා යන දෙදෙනාගේ හිතසුව පිනිස වැඩි ගල් සංඛ්‍යාවක්  ලොරියකට පැටවිය හැකි විදිහට ගඩොලක ප්‍රමාණය පලලxදිගxඋස  6” x8.5”x3 ලෙසින් අඩුවීගොස් ඇතිබව දකින්න පුළුවන්. තවදුරටත් එහි විකාශණයක් විදිහට පලල අඟල් 41/2   සිට 6 දක්වා විවිධ ප්‍රමාණ වලින් රජරට ලොකු ගඩොල් නිෂ්පාදනය කර තිබීම දකින්න පුළුවන්.

ලොරියකට පැටවිය හැකි විදිහට
රජරට ලොකු ගඩොල් බොහෝ නාගරිකයන් විසින් මෝඩගල් විදිහට හැදින්වුවත්, ඇත්තටම මෝඩගල් කියන්නේ පුළුස්සන්නේ නැතිව තනාගත් සුවිසල් මැටි ගඩොල් විශේෂයකටයි. ඒ ගැන වැඩිවිස්තර උවමනා කෙනෙකුට  මෙතනින් ඒ ගැන දැනගන්න පුළුවන්.

මෝඩගල්
 රජරට ලොකු ගඩොල් එහෙමත් නැතිනම් වන්නි ගල්, නාගරික ගොඩනැගිලි ඉදිකිරීමේ අමුද්‍රව්‍යයක් විදිහට ජනප්‍රිය විමට බලපෑ ප්‍රධාන කාරණය, නාගරික ප්‍රජාවතුල ඇති ගඩොල් නිවාසයක විසීමේ සාම්ප්‍රදායික ආශාවය කියලා කීවොත් සමහරු එකඟ නොවෙන්නත් පුළුවන්. වියදම අතින් බ්ලොක් ගල් සහ ඉංජිනේරු ගල් අතර අතරමැදි ස්ථානයක රැදෙමින් ගඩොලෙහි සියළු යහපත් ගුණාංග අත්කරදෙන බැවින් රජරට ලොකු ගඩොල් අනිවාර්යයෙන්ම ලාභදායී විකල්පයක්. ඒත් රජයේ ඉදිකිරීම් සදහානම් වන්නි ගල් අනුමැතියක් ලබා නැහැ. 

රජරට ලොකු ගඩොල් නිෂ්පාදනය

රජරට ලොකු ගඩොල්පෝරණුවක්

ව්‍යුහාත්මක වශයෙන් වන්නි ගල් වල ඇති ප්‍රධාන වාසියක් තමයි බර දරණා බිත්ති සදහා කෙලින්ම යොදාගන්න පුළුවන්වීම. වෙනත් විදිහකින් කිව්වොත් නිසි ලෙස බිත්ති මුළු සහ සන්ධි වලින් සහය ලැබූ 6“ පලල රජරට ලොකු ගඩොලින් තැනි බිත්තියක්, කොන්ක්‍රිට් කණු රහිතව වුවද, ICC හෝ NERD වර්ගයෙහි සැහැල්ලු කොන්ක්‍රිට් තට්ටුවක් දරාසිටීමට තරම් ශක්තිමත්. (මම මෙහෙම කිව්වට මේ වගේ වැඩ ඉංජිනේරු සහයක් නැතිව තනියම කරන්න යන්න එපා) 

රජරට ලොකු ගඩොල්පෝරණුවක්

සාමාන්‍ය භාවිතයේදී 6“ පලල ගඩොලින් තැනි බිත්ති බිම්මහල සදහාත්, තරමක වියදම් අඩු 5“පලල ගඩොලින් තැනි බිත්ති ඉහල මහල සදහාත් යොදාගනු ලබනවා. හැබැයි එහෙම වෙලාවට ගොඩනැගිල්ලේ ව්‍යුහය සකසන කොන්ක්‍රිට් කණු(Column), බිත්තියෙන් ඉවතට නෙරා ඇවිත් තිබීම දකින්නට පුළුවන්( මොකද කණු 9”x9” ප්‍රමාණයේ නිසා) හැබැයි මේ කණු බොහොමයක්  6”x9” ප්‍රමාණයටගෙන එයට අදාල ව්‍යුහයන් සැලසුම් කරලා, බිත්ති තුල සඟවා හරින්නට ඔබේ ඉංජිනේරු වරයාට පුළුවන්කමක් තියෙනවා. එහෙමත් නැතිනම් නර්ඩ් තාක්ෂණයට 6”x6” පෙරආතතීකරිත කණු යොදාගෙන මේ වැඩේ කරගන්නත් පුළුවන්. මේ සියල්ල තීරණය වෙන්නේ නම් ඔබේ ඉංජිනේරු වරයා කෙතෙක් දුරට නූතන දැනුමෙන් පොහොසත්ද (Updated) සහ අළුත් දේ භාරගන්න කැමතිද(rational) කියනඑක මතයි. ඉංජිනේරුවරු එහෙමත් නැතිනම් මැවිසුරුවො ගැන අපේ කතන්දර ශූරීන් නම් කිව්වේ මේ වගේ දෙයක්.

නිසිලෙස නොපිලිස්සුන ගඩොල් වැසි ජලයේ දියවීම සුලභ කාරණයකි

ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබේ නිවසටත් වන්නි ගල් එහෙමත් නැතිනම් රජරට ලොකු ගඩොල් යොදාගන්න බලාපොරොත්තු වෙනවානම් මෙන්න මේ උපදෙස් ටිකත් වැදගත් වේවි. 

·        සෑමවිටම එකම පෝරණයේ ගල් ලබාගැනීමට උත්සුක වන්න. මොකද විවිධ පෝරණු වල ගඩොල් විවිධ දිග පලලින් යුක්ත නිසා බැමි බැඳීමේ වියදම් වැඩිවේවි. ඒ මදිවාට බිත්තියේ එක් මුහුනතක් වඩා වැඩි ඝණකමකින් කපරාරු කිරීමටත් සිදුවේවි.

·        සාමාන්‍ය‍යෙන් වර්ග අඩි 100 ක බිත්තියක් බැඳීම සදහා රජරට ලොකු ගඩොල් 350-380ත් අතර ප්‍රමාණයක් වැයවේ. උසින් වැඩිගල්, අඩු සංඛ්‍යාවක් වැයවන බැවින් වාසිදායකය. නමුදු දිගින් සහ පලලින් අඩු ගඩොල් උසින් වැඩිබවක් බැලු බැල්මට දිස්වන අවස්ථාද විරල නොවෙයි. ඒ නිසා මිනුම් පටියකින් මැන, ඒ බව සනාථ කරගැනීම ගල් වර්ග කිහිපයක් අතුරින් උචිත වර්ගය තෝරාගැනීමේදී වැදගත්වේ.

·        නිසිලෙස නොපිලිස්සුන ගඩොල් වැසි ජලයේ දියවීම සුලභ කාරණයකි. අහඹු ලෙස ලබාගත් ගල් සාම්පල කිහිපයක් පැයකිහිපයක් ජලබදුනක ගිල්වාතැබීම ඒ සදහා සුදුසුම පරීක්ෂණයක් වෙයි. විවිධ පස්වර්ගයන් විවිධ වර්ණයන් ලබාදෙන බැවින් පලපුරුද්දක් නැත්තකුට ගඩොලෙහි වර්ණය එය නිසිලෙස පිලිස්සී ඇතිබව විනිශ්චයට ඉතාහොද දර්ශකයක් නොවේ.

·        ගඩොලෙහි වර්ණය සහ ශක්තිය අතර පැහැදිලි සම්බන්ධතාවක් නැත. මක්නිසාදයත් දර භාවිතා කරන පෝරණුවල ගඩොල් බොහොමයක් වර්ණයෙන් දුර්වල නමුදු ශක්තියෙන් පොහොසත්ය. දහය්යා පෝරණු වල ගඩොල් වර්ණයෙන් නම් පොහොසත්ය.

·        තට්ටු කිරීමේදී නිකුත්වන හඩ ගඩොලයේ තත්වය දක්වන ඉතාහොද දර්ශකයකි. (බරනැති ටිං ටිං හඩ දේනම් ඔන්න වැඩේ ගොඩ)

·     ප්‍රවාහණයේදී ගඩොලෙහි ශක්තියෙන් යම් ප්‍රමාණයක් හාණිවේ. කෙටිදුර ප්‍රවාහණයකදී බොහොමයක් රජරට ලොකු ගඩොල් එකින් එක අතින් බෑම වෙනුවට “ටිපර්“ කරන අවස්ථාද විරල නොවේ. කෙසේවුවද ප්‍රතිශතයක් වශයෙන් ඔබට ලැබීඇති ගඩොල් තොගයෙන් කැඩීඇති ගඩොල් සංඛ්‍යාව 3%ට වඩා අඩුනම් ( ගඩොල් 1000 කට කැඩුන ගල් 30) එය නරක තත්වයක් නොවේ.

·        රජරට ලොකු ගඩොල් භාවිතයට පලමුව ජලයේ පොඟවා ගැනීම අනිවාර්ය වේ. වරක් පොඟවා ගන්නා ලද ගඩොල්, බිත්තියට සවිවීමේදී එයට හිමි උපරිම  ශක්තිය සහ වර්ණය අයත්කරගනී. රජරට ලොකු ගඩොල් බිත්තියක් බැඳීම සදහා ප්‍රායෝගික සි:වැලි අනුපාතය 1:6 කි.  

·        තරමක් දුරට හෝ ඒකාකාර දාර සහිතව නිපදවුන රජරට ලොකු ගඩොල් භාවිතාකොට, කපරාරු රහිත බිත්ති බැඳීමෙන්, ගෘහනිර්මාණාත්වකව වඩා උසස් නිර්මාණයන් බිහිකල හැකිය.



කපරාරු රහිත බිත්ති බැඳීමෙන්
ප/ලි.
රජරට ලොකු ගඩොල් සම්භන්දව ශ්‍රී ලාංකික ප්‍රමිතියක් නොපවතින නිසා මෙහි ඇතුලත් කරන ලද ඇතැම් කරුණු, භාවිතයෙන් ලද අත්දැකීම් ඇසුරින් ඔබේ යහපත උදෙසා ඉදිරිපත් කලබව කරුණාවෙන් සලකන්න.

Friday, March 9, 2012

නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-2


අපි පසුගිය ලිපියෙන් කථාකලේ, ඉංජිනේරු ගඩොලින් බිත්ති බැඳීම සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පොස්ටුව බලන්න පුළුවන්. අද දවසේ අපේ  බලාපොරොත්තුව බිත්ති බැඳීම සම්භන්ධයෙන් වැදගත් වියහැකි යම් යම් කරුණුකාරණා පිලිඹදව තවදුරටත් කථාකරන්නටයි. එහිදී අපේරටේ ඉදිකිරීම් ක්ෂේත්‍ර යේ අදදවසේ බහුලවම භාවිතා කෙරෙන බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය වෙච්චි සිමෙන්ති බ්ලොක්ස් එහෙමත් නැතිනම් ජනප්‍රිය වචනයෙන් කිව්වොත් බ්ලොග් ගල් ගැන කථානොකලොත් ඒක ලොකු අඩුපාඩුවක් වේවි. ඒ නිසාම අද පෝස්ටුව බ්ලොග් ගල් වෙනුවෙන් වෙන්කරන්න හිතුවා. 

 බ්ලොග් ගලින් බැඳි නිවසක්

ගඩොල් වලට ලාභදායී විකල්පයක් විදිහට ඉදිරිපත් කෙරුණ සිමෙන්ති බ්ලොක්ස්,  සිමෙන්ති වැලි මිශ්‍රණයක් සහිත බදාම මිශ්‍රණයක් සම්පීඩනයකට ලක්කරමින් නිෂ්පාදනය කෙරෙන්නක් වන අතර දින කිහිපයක පදම්කිරීමකින් පසු වෙලදපලට නිකුත් කරනු ලබනවා. මෙහිදී වැලි වෙනුවට ගල් කුඩු හෝ වැලි-ගල්කුඩු මිශ්‍රණයක් උපයෝගී කරගත හැකියි.

  වෙලදපලෙහි ඇති ගල් කුඩු යොදා තැනූ කුහර සහිත බ්ලොක්ගලක්

ඝණ (Solid ) සහ කුහර සහිත( Hollow) වශයෙන් මාදිලි දෙකක් වෙලදපලෙහි දකින්න පුළුවන් වුනත්, එයින් සම්මත බ්ලොක්ගල වන්නේ කුහර සහිත ගලයි. කුහර ගල පිලිඹද දුර්මත රාශියක් ඉදිකිරීම් ශිල්පීන් අතර තිබුනත්, ස්කන්ධයට සාපේක්ෂව වැඩිම ශක්තියක් දරන්නේනම් කුහරගල තමයි. මොකද හුඟක්වෙලාවට යම් ව්‍යුහයකට වැඩිපුරම ශක්තිය ලබාදෙන්නේ එහි බාහිර පෘෂ්ඨ ආසන්න කොටස් මඟිනුයි. මධ්‍ය බොහෝවිට අක්‍රිය තත්වයේ තමයි පවතින්නේ. මෙන්න මේ කියන සංසිද්ධිය උපයෝගීකරගෙන තමයි කුහර සහිත බ්ලොක්ගල නිර්මාණය වෙලා තියෙන්නේ.

 කුහර සහිත බ්ලොක්ගලක කොටස්

හැබැයි නිසි ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කල කුහර සහිත (Hollow)බ්ලොක්ගලක්, එවැනිම වූ කුහර නැති (Solid) ගලකට වඩා පුපුරායාමේ වැඩි ඉඩක් පවතිනවා. අපේ රටේ උදවිය ඔය සම්මත තත්වයන්ට වඩා අඩුවෙන් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා වැඩකරන්න ඇබ්බැහිවෙලා ඉන්න නිසා, අඩුප්‍රමිතියෙන් නිපදවනලද  කුහර නැති (Solid) ගල් ජනප්‍රිය වෙලා තියෙනවා. එහෙම වුනත් ඉදිකිරීමේදි ගල් ස්ථර බදාමයට හොදින් සවිවීමත්, ලඹකිරීමේ පහසුවත්, සැහැල්ලු නිසා වැඩකිරීමේ පහසුවත් කුහර ගල ලබාදෙනවා. සත්‍ය වශයෙන්ම වැඩි සම්පත් ඉතිරියක් සිදුවන්නේත් කුහර ගලෙන්ම තමයි.

 කුහර නැති (Solid ) බ්ලොක්ගල්

සිමෙන්ති බ්ලොක්ස් සම්බන්ධ ශ්‍රී ලංකා ප්‍රමිතිය Sri Lanka Standards 855 (SLS 855) නම්වෙනවා. සම්මත බ්ලොක්ගලක් උසින් මිමි 190 (7.6") සහ දිගින් මිමි 390 (15.6") වන විට  මිමි 100, 150, 200 (4",6",8")  යන පලලින් යුක්ත වෙනවා. තත්ව පරීක්ෂණ ක්‍රියාවලියේදී නිපදවනු ලබන සෑම ගල් 1000 කටම, අහඹු ලෙස තෝරාගත් ගල් 25ක් පමණ විනාශවනතුරු සම්පීඩනයට ලක්කරමින් පරීක්ෂා කෙරෙනු ලබනවා. මේ කටයුත්ත තරමක් වියදම් ගෙනදෙන්නක්. මේ නිසාමදෝ රට පුරාම සිමෙන්ති බ්ලොක්ස්  නිෂ්පාදනය වුනත් මම දන්න විදිහට ශ්‍රී ලංකා ප්‍රමිතිය ලබා ඇත්තේනම් 20කටත් අඩු නිෂ්පාදකයින් සංඛ්‍යාවක් විතරයි.

 බ්ලොක්ගල් වර්ග

කොහොම වුනත් ගඩොල් වලට වඩා පහසුවෙන් හා අඩු යෙදවුම් ප්‍රමාණයකින් නිෂ්පාදනය කරගත හැකිවූ නිසාත්, ආකර්ෂණීය වෙලදපල තත්වය නිසාත් සුළු ව්‍යාපාර විදිහට බ්ලොක්ගල් නිෂ්පාදනය 80/90 දශකවලදී බොහෝසේ පැතිරුණා. ඒත් නිසි තත්ව පාලනයක් නැති නිසාවෙන් අදපවා බොහොමයක් නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉතාම පහත් අඩියක තමයි තියෙන්නේ. තාක්ෂණය හරිහැටි නොදන්නා නිසා හෝ නොසැලකිලිමත් කම නිසා මේවිදිහට අපතේ යැවෙන්නේ අපේම සම්පත්. මෙවන් කුඩා නිෂ්පාදනාගාර බොහොමයක ඒකායන අරමුණ එක් සිමෙන්ති කොට්ටයකින් හැකිතාක් වැඩි ගල් සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ගැනීම මිසක් ශක්තිමත්ව ගල්නිපදවීම නම් නෙමෙයි. හැබැයි මේ වගේ අඩු සිමෙන්ති යෙදවීමකදී වුනත් අනෙකුත් පියවරයන් සදහා  නිසි ක්‍රමවේද අනුගමනය කිරීමක් කලහැකිනම් දැනට වඩා ශක්තියෙන් වැඩි ගලක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙන්න ඒඅයට පුළුවන්කම තියෙනවා.



ඇත්තෙන්ම නිෂ්පාදනයේදී  නිසි ක්‍රමවේද අනුගමනය කිරීමක් නොමැති නිසා, බ්ලොග් ගලට නිරායාසයෙන් ලැබියයුතු ශක්තියෙනුත් 20% කට වඩා අපතේ යාම කණගාටුවට කාරණයක්. නිෂ්පාදනයේදී පිරිසිදු ජලය භාවිතා නොගැනීම ඉතා බහුලව දකින්නට ලැබෙන දුර්වලතාවයක්. නිෂ්පාදනාගාර බොහොමයක වැසිජලය හෝ මඩ සහිත ජලය භාවිතා කරනු බොහෝවිට දකින්නට ලැබෙන තත්වයක්. සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති වල මූලික සවිවීමට ගතවන්නේ විනාඩි 30ක් විතරයි. ඒකෙන් කියවෙන්නේ ශක්තිය අපේක්ෂා කරන සිමෙන්ති ආශ්‍රිත නිර්මාණයක් සදහා, එම කාලය තුල භාවිතාකර අවසන්කර හැකි ප්‍රමාණයක් පමණක් ලෙස කුඩා පරිමාණ වලින් බදාම මිශ්‍රණ සකසා භාවිතා කලයුතු බවයි. ඒත් ප්‍රායෝගික තත්වයනම් බ්ලොක්ගල් නිෂ්පාදනය කරන තැන්වල උදෑසන මිශ්‍රකරනා යෝධ බදාම මිශ්‍රණයක් හවස වැඩ අවසන්වනතුරුම යොදාගන්න එකයි. ඒ මදිවාට යම්විදිහකින් බදාම මිශ්‍රණයෙහි ඉතිරියක් සිද්ධවුනොත්, වැලිත් එක්ක මිශ්‍රකරලා, පසුදින බදාමයට යොදාගන්න අවස්ථාත් විරල නැහැ. 

 කුඩා පරිමාණයේ  බ්ලොග්ගල් නිෂ්පාදනාගාරයක්

නිෂ්පාදනය කරන ලද බ්ලොග්ගල් නිසිපරිදි පදම් නොකිරීමත් ඇත්තෙන්ම ගැටළුවක්. පදම් කිරීම සදහා නිෂ්පාදනයෙන් පැය 24කට පසු අවම වශයෙන් දින 3ක් ජලය පිරි තටාකයක බහා තැබීම සම්මතය වුවත් අඩුම තරමින් දින 3ක් වත් උදේ සවස ජලයෙන් තෙමීමවත් සිදුකල යුතුවේ. (උපරිම ප්‍රතිඵල සදහා පදම්කිරීමේ කාලය දින 7 කි.) නමුදු බරින් වැඩි තෙතැති බ්ලොග්ගල් පැටවීමේ අපහසුතාවයත්, මුල් අවස්ථාවේදී ශක්තියෙන් අඩුබවක් පෙනීමත්, වැඩිපුර ජලය වැයවීමත් හේතුකොටගෙන ජලයෙන් තෙමීම මුල් දිනට හෝ දෙකට පමණක් සීමාකිරීම බොහෝ නිෂ්පාදනාගාර වල දකින්න පුළුවන් තත්වයක්.

බ්ලොක්ගල් බිත්ති


ගඩොල් වලට සාපේක්ෂව බ්ලොක්ගල් බිත්ති සහිත නිවසක වැඩි පිපුරුම් සහ ඉරිතැලීම් සංඛ්‍යාවක් දකින්න පුළුවන්. මේ අතරින් බොහොමයක් බ්ලොක්ගල් වල ප්‍රසාරණ සංගුණකය ඉහල අගයක් ගැනීම ( උශ්නත්වය ඒකක 1ක් වැඩිවූවිට ප්‍රමාණයේ සිදුවන ඒකක වෙනස) නිසා ඇතිවන ප්‍රසාරණ පිපිරීම් විදිහට හදුනාගන්න පුළුවන්. තවත් සමහරක්, බර දරණ බිත්ති ( Load bearing walls ) නොවන 4“ පලල බ්ලොක්ගල් බිත්තියකට අසීමිත බරක්පැටවීම නිසා සිදුවූ පිපිරීම් විදිහට හදුනාගන්න පුළුවන්. ඔයගොල්ලෝ හදන නිවාසයේ උළුවසු මට්ටමින් යොදන කොන්ක්‍රිට් ලින්ටලය, මුළු නිවස පුරාම අඛණ්ඩ ලින්ටලයක් (Continuous lintel ) ලෙසින් දැමීමෙන් මේවා බොහොමයක් අඩුකරගන්න පුළුවන්. බිත්ති බැඳගෙන යනකොට ඒඒ දවසට කලින් දවසේ බැන්ද බිත්ති කොටස් දින 3ක්වත් යනතුරු ජලය ඉසිමින් පදම්වන්නට හැරීමත් බිත්ති වල ශක්තිය ඉහල දැමීමට බොහෝසෙයින් දායක වෙනවාය කියනඑකත් මතක තබාගන්න ඕන තවත් කාරණයක් තමයි.


බ්ලොක්ගලින් තැනි බිත්ති සහිත ගෙයක ඇතුලත රස්නය වැඩියි. ඒකට හේතුව ගඩොල් වලට සාපේක්ෂව බ්ලොක්ගලක් හරහා තාපය ගමන්කිරීමට තියෙන ප්‍රතිරෝධය අඩුකමයි. කුහර සහිත බ්ලොක්ගලක නම් තත්වය පොඩිත්තක් එයට වඩා සතුටුදායකයි. කොහොම වුනත් ඔබේ නිවස සැලසුම් කරන අවස්ථාවේදී අදාල නිර්මාණකරුට ඔබ බිත්ති ගොඩනංවන්න බලාපොරොත්තු වන්නේ බ්ලොක්ගලින්ය කියලා දැනුවත් කරනඑක ඉතාම වැදගත් කාරණයක්. මොකද එහෙම අවස්ථාවකදී  ඔබේ නිවසතුල පරිසරය, වඩා සිසිල් එකක් බවට පත්කරන්නට අවශ්‍ය විකල්ප ක්‍රමවේද යෝජනාකරන්නට, ඔබේ නිර්මාණ කරුවාට අවස්ථාව උදාවන නිසයි. දක්ෂ ගෘහනිර්මාණ (හෝ සැලසුම්) ශිල්පියකුට එවැන්නක් කිසිසේත්ම අභියෝගයක් නොවනබවනම් අවධාරණය කරන්න ඕන. මේවා ගැන මම අනිවාර්යයෙන් ඉදිරියේදී විස්තර සහිතව කථාකරන්නට බලාපොරොත්තු වෙන නිසා අදට නවතින්නම්.

ඔබසැමට සුභ සතියක් !

Thursday, March 1, 2012

නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-1


අපි අවසන් වතාවට කථාකලේ අත්තිවාරමෙහි අවසන් ඉදිකිරීම් අයිතමය විදිහට සලකන තෙත් නිවාරණ වැටිය සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පොස්ටුව බලන්න පුළුවන්. අද දවසේ අපේ  බලාපොරොත්තුව අත්තිවාරමෙන් පසු එලඹෙන වැදගත් ඉදිකිරීම් අදියරක් වන බිත්ති බැඳීම ගැන යමක් කථාකරන්නටයි.


වහලය හැරුණහම, නිවසක බාහිර පරිසරයේ කාලගුණික විපර්යාසයන්ගෙන් එහි ඇතුලත පරිසරය වෙන්කරනු ලබන ප්‍රධාන අවයවය බිත්ති විදිහට හදුන්වන්න පුළුවන්. කාර්යභාරය අනුව නිවසක බිත්ති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනු ලබනවා. ඒ ව්‍යුහාත්මක එහෙම නැතිනම් බර දරණා (Load bearing walls) සහ වෙන්කිරීමේ (Partition walls) බිත්ති වශයෙනුයි.මෙයට අමතරව අලංකාරය උදෙසා පමණක් ඉදිකෙරෙනු ලබන බිත්ති වර්ගත්, ශබ්ද වාරණ කටයුතු ආදී විශේෂ කාර්යයන් සදහා ඉදිකරනු ලබන ද්විත්ව බිත්ති  ආදියත් නිවාස ඉදිකිරීමේදී ඉතා කලාතුරකින් දකින්න පුළුවන්.



අපේ වගේ උෂ්ණාධික රටකට බිත්ති බැඳම සදහා හොදම අමුද්‍රව්‍ය මොකද්ද කියලා ඔබ මගෙන් අහුවොත් ඒකට ලැබෙන මගේ පිලිතුරත් එක්ක මේක කියවන ඔබ එකඟ වෙන එකක් නැහැ. කට කෑවත් ඇත්තම කියන්නම්, ඒ තමයි නොපිලිස්සූ අමු මැටියෙන් තනාපු (මෝඩ)ගඩොල්. සුද්දා ඕකට Adobe bricks කියලා කියනවා. මැටි ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක්. ඒ වගේම මැටි ගඩොල පුරා පවතින කේෂික නල මාර්ගත් නිවස ඇතුලත පරිසරය සෞම්‍යව පවත්වාගැනීමට මහත් පිටුවහලක් සපයනවා. එහෙම වුනත් ශක්තියෙන් අඩුකමත්, නිවැරදි තෙත් නිවාරණ  ක්‍රමවේදයක් අනුගමණය නොකිරීම නිසා පසුව ඇතිවන කෘමි හාණිත්, ප්‍රවාහණයේ අපහසුතාව නිසා වානිජවශයෙන් අසාර්ථක වීමත් කරණ කොටගෙන  නොපිලිස්සූ අමු මැටියෙන් තනාපු ගඩොල්, මෝඩ ගඩොල් විදිහට නම්කරලා භාවිතයෙන් ඉවත්කරලා තියෙනවා.

  නොපිලිස්සූ ගඩොලින් තනමින් පවතින බැම්මක්

සම්ප්‍රදායිකව භාවිතා වුන වරිච්චි බිත්ති, තාප්ප බිත්ති, කබොක් බිත්ති ආදියත් පරිසර හිතකාමී ඒ වගේම හොද තාප කුසන්නායක තාවක් සහිත බිත්ති විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ශීත දේශගුණයන් සහිත ප්‍රදේශ වලදී මැටි බදාමයෙන් බැඳි කළුගල් බිත්තිත් ඉතා උසස් ගතිගුණ පෙන්වනු ලැබුවා.

 වරිච්චි බිත්ති (දැකලා නැති අයත් ඇතිනේ....)

සම්ප්‍රදායික තාක්ෂණය කොහොම වුනත් සුද්දාගේ බටහිර තාක්ෂණයට හුරුවුනාට පස්සේ වානිජ වශයෙන් සැපයිය හැකිවූ බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය පමණක් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ අනුව විහාරාරාම සහ රජමාලිගා ආදී කාලයක් පවතින්නට තැනි ගොඩනැගිලි සදහා පමණක් එතෙක් භාවිතාකරනලද පුළුස්සන ලද ගඩොල්, සම්මත මිණුමක් සහිතව නිර්මාණය කොට ඉංජිනේරු ගඩොල් වශයෙන් නම්කොට නිවාස තැනීම සදහා භාවිතා කිරීම ආරම්භ වුණා. ඒ අනුව අද දවසේ නිවාස තැනීමේ සුපිරි අමුද්‍රව්‍යය බවට මෙම ඉංජිනේරු ගඩොල් පත්වෙලා තියෙනවා.

 ගඩොලින් තැනි පරාක්‍රමබාහු රජමාලිගය - පොලොන්නරුව

ඉංජිනේරු ගඩොල් කිව්වහම වැරදියට වටහාගන්න එපා මේ කියන්නේ අර ලස්සන සුමට දාර සහිත, උළු මැට්ටෙන් තැනි, අලංකාරය සදහා වැඩිවශයෙන් භාවිතා කරන ගඩොල් වර්ගයය කියලා. ඒවාට කියන්නේ කම්බියෙන් කැපූ ගඩොල් (Wire cut bricks) කියාලායි.ඉංජිනේරු ගඩොල් එහෙමත් නැතිනම් සම්මත ගඩොල් (Standard bricks) වලට සම්මත දිගක් පලලක් පවතිනවා. හරියටම කිව්වොත් මිලිමී‍ටර  215 x102x65 වියයුතුයි. ඒත් ඒ ප්‍රමාණයන්ට සැකසිච්ච ගඩොල් හඳෙන් මිසක අපේ රටේ ගඩොල් පෝරණු වලින්නම් හොයනවා බොරු. 

 සම්මත ගඩොලක තතු

නිවාස තැනීමේදී මේ ඉංජිනේරු ගඩොල් භාවිතා කරලා ඉදිකරනු ලබන බිත්ති වර්ග දෙකක් දකින්න පුළුවන් ඒ තනිගලේ බිත්ති විදිහට සාමාන්‍ය‍යෙන් ව්‍යුවහාර කෙරෙන, බර දැරීමේ බිත්ති වර්ගයක්  වන අඟල් 9ක් පලල බිත්තියත්, ගල් භාගේ බිත්ති විදිහට එහෙමත් නැතිනම් බඩගල් බැම්ම විදිහට ව්‍යුවහාර කෙරෙන අඟල් 4.5 ක් පලල වෙන්කිරීමේ කාර්යන්ට යෙදෙන බිත්තියත් වශයෙනුයි. තාක්ෂණිකව අපේ රටේ භාවිතාවන මේ බැමිවර්ග දෙකම ඉංග්‍රිසි බැමි යන බැමි බැඳීමේ ක්‍රමයට අයත් වෙනවා. බැමි බැඳීමේ තව ක්‍රම බොහොමයක් තිබුනත් ඒවා අපේ රටේ ජනප්‍රිය ඒවා නොවන නිසාත්, මේ ලිපි පෙල තාක්ෂණික පාඩම් මාලාවක් කරගැනීමට අකමැති නිසාත්,  වැඩිවශයෙන්ම රූපසටහන් හොයන්න සහ අකුරු කොටන්න කම්මැලි නිසාත් තවදුරටත් විස්තර කරන්න යන්නේ නැහැ.


ඉංග්‍රිසි බැම්ම - රූපසටහනක්

ඉදිකිරීමෙහි ශක්තිමත් බවත්, සපයා ගැනීමේ, භාවිතයේ සහ ප්‍රවාහණයේ පහසුවත්, තාප කුසන්නායක ගුණයත් ඇතුළු කාරණා ගණනාවක් මත ඉංජිනේරු ගඩොල් අද දවසේ නිවාස බිත්ති ගොඩනැගීමේ සුපිරි අමුද්‍රව්‍ය බවට පත්වෙලා තියෙනවා. එහෙම වුනත් ඉදිකිරීමේ ක්‍රියාවලියේදී වැඩිපුර පුහුණු ශ්‍රමය වැයවීමත්, වැලි සහ සිමෙන්ති අධිකව වැයවීමත්, අමුද්‍රව්‍ය(ගඩොල්)  වල අධික මිලත් කරණකොටගෙන ගඩොල් නිවාසයක් පසුම්බියට ඔරොත්තු නොදෙන තරමේ ඉතා වියදම්කාරී නිර්මාණයක් බවටද අදදවස වනවිට පත්වෙලා තියෙනවා.

 මාවනැල්ල ආරුක්කු පාලම - ගඩොල් වල සුපිරි ශක්තිය පිලිඹද ජීවමාන නිදර්ශකයක්

මගේවෑයම අඩුවියදමින් නිවසක් තනාගැනීමේ මාර්ගය පෙන්වාදීම නිසාවෙන් ගඩොල්ගැන වැඩියමක් සදහන් කරන්නේ නැහැ. ඒත් ගඩොලින් තම නිවස ගොඩනගන්න‍ කැමති උදවියට ඒ වෙනුවෙන් තියෙන ලාභදායී විකල්ප ගැන ඉදිරියේදී කථාකරන බලාපොරොත්තුවෙන් අදට නවතිනවා.

ඔබසැමට සුභ සතියක් !