අපි අවසන් වතාවට කථාකලේ අත්තිවාරමෙහි අවසන් ඉදිකිරීම් අයිතමය විදිහට සලකන තෙත් නිවාරණ වැටිය සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පොස්ටුව බලන්න පුළුවන්. අද දවසේ අපේ බලාපොරොත්තුව අත්තිවාරමෙන් පසු එලඹෙන වැදගත් ඉදිකිරීම් අදියරක් වන බිත්ති බැඳීම ගැන යමක් කථාකරන්නටයි.
වහලය හැරුණහම, නිවසක බාහිර පරිසරයේ කාලගුණික විපර්යාසයන්ගෙන් එහි ඇතුලත පරිසරය වෙන්කරනු ලබන ප්‍රධාන අවයවය බිත්ති විදිහට හදුන්වන්න පුළුවන්. කාර්යභාරය අනුව නිවසක බිත්ති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනු ලබනවා. ඒ ව්‍යුහාත්මක එහෙම නැතිනම් බර දරණා (Load bearing walls) සහ වෙන්කිරීමේ (Partition walls) බිත්ති වශයෙනුයි.මෙයට අමතරව අලංකාරය උදෙසා පමණක් ඉදිකෙරෙනු ලබන බිත්ති වර්ගත්, ශබ්ද වාරණ කටයුතු ආදී විශේෂ කාර්යයන් සදහා ඉදිකරනු ලබන ද්විත්ව බිත්ති ආදියත් නිවාස ඉදිකිරීමේදී ඉතා කලාතුරකින් දකින්න පුළුවන්.
අපේ වගේ උෂ්ණාධික රටකට බිත්ති බැඳම සදහා හොදම අමුද්‍රව්‍ය මොකද්ද කියලා ඔබ මගෙන් අහුවොත් ඒකට ලැබෙන මගේ පිලිතුරත් එක්ක මේක කියවන ඔබ එකඟ වෙන එකක් නැහැ. කට කෑවත් ඇත්තම කියන්නම්, ඒ තමයි නොපිලිස්සූ අමු මැටියෙන් තනාපු (මෝඩ)ගඩොල්. සුද්දා ඕකට Adobe bricks කියලා කියනවා. මැටි ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක්. ඒ වගේම මැටි ගඩොල පුරා පවතින කේෂික නල මාර්ගත් නිවස ඇතුලත පරිසරය සෞම්‍යව පවත්වාගැනීමට මහත් පිටුවහලක් සපයනවා. එහෙම වුනත් ශක්තියෙන් අඩුකමත්, නිවැරදි තෙත් නිවාරණ ක්‍රමවේදයක් අනුගමණය නොකිරීම නිසා පසුව ඇතිවන කෘමි හාණිත්, ප්‍රවාහණයේ අපහසුතාව නිසා වානිජවශයෙන් අසාර්ථක වීමත් කරණ කොටගෙන නොපිලිස්සූ අමු මැටියෙන් තනාපු ගඩොල්, මෝඩ ගඩොල් විදිහට නම්කරලා භාවිතයෙන් ඉවත්කරලා තියෙනවා.
නොපිලිස්සූ ගඩොලින් තනමින් පවතින බැම්මක්
සම්ප්‍රදායිකව භාවිතා වුන වරිච්චි බිත්ති, තාප්ප බිත්ති, කබොක් බිත්ති ආදියත් පරිසර හිතකාමී ඒ වගේම හොද තාප කුසන්නායක තාවක් සහිත බිත්ති විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ශීත දේශගුණයන් සහිත ප්‍රදේශ වලදී මැටි බදාමයෙන් බැඳි කළුගල් බිත්තිත් ඉතා උසස් ගතිගුණ පෙන්වනු ලැබුවා.
වරිච්චි බිත්ති (දැකලා නැති අයත් ඇතිනේ....)
සම්ප්‍රදායික තාක්ෂණය කොහොම වුනත් සුද්දාගේ බටහිර තාක්ෂණයට හුරුවුනාට පස්සේ වානිජ වශයෙන් සැපයිය හැකිවූ බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය පමණක් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ අනුව විහාරාරාම සහ රජමාලිගා ආදී කාලයක් පවතින්නට තැනි ගොඩනැගිලි සදහා පමණක් එතෙක් භාවිතාකරනලද පුළුස්සන ලද ගඩොල්, සම්මත මිණුමක් සහිතව නිර්මාණය කොට ඉංජිනේරු ගඩොල් වශයෙන් නම්කොට නිවාස තැනීම සදහා භාවිතා කිරීම ආරම්භ වුණා. ඒ අනුව අද දවසේ නිවාස තැනීමේ සුපිරි අමුද්‍රව්‍යය බවට මෙම ඉංජිනේරු ගඩොල් පත්වෙලා තියෙනවා.
ගඩොලින් තැනි පරාක්‍රමබාහු රජමාලිගය - පොලොන්නරුව
ඉංජිනේරු ගඩොල් කිව්වහම වැරදියට වටහාගන්න එපා මේ කියන්නේ අර ලස්සන සුමට දාර සහිත, උළු මැට්ටෙන් තැනි, අලංකාරය සදහා වැඩිවශයෙන් භාවිතා කරන ගඩොල් වර්ගයය කියලා. ඒවාට කියන්නේ කම්බියෙන් කැපූ ගඩොල් (Wire cut bricks) කියාලායි.ඉංජිනේරු ගඩොල් එහෙමත් නැතිනම් සම්මත ගඩොල් (Standard bricks) වලට සම්මත දිගක් පලලක් පවතිනවා. හරියටම කිව්වොත් මිලිමීටර 215 x102x65 වියයුතුයි. ඒත් ඒ ප්‍රමාණයන්ට සැකසිච්ච ගඩොල් හඳෙන් මිසක අපේ රටේ ගඩොල් පෝරණු වලින්නම් හොයනවා බොරු.
සම්මත ගඩොලක තතු
නිවාස තැනීමේදී මේ ඉංජිනේරු ගඩොල් භාවිතා කරලා ඉදිකරනු ලබන බිත්ති වර්ග දෙකක් දකින්න පුළුවන් ඒ තනිගලේ බිත්ති විදිහට සාමාන්‍යයෙන් ව්‍යුවහාර කෙරෙන, බර දැරීමේ බිත්ති වර්ගයක් වන අඟල් 9ක් පලල බිත්තියත්, ගල් භාගේ බිත්ති විදිහට එහෙමත් නැතිනම් බඩගල් බැම්ම විදිහට ව්‍යුවහාර කෙරෙන අඟල් 4.5 ක් පලල වෙන්කිරීමේ කාර්යන්ට යෙදෙන බිත්තියත් වශයෙනුයි. තාක්ෂණිකව අපේ රටේ භාවිතාවන මේ බැමිවර්ග දෙකම ඉංග්‍රිසි බැමි යන බැමි බැඳීමේ ක්‍රමයට අයත් වෙනවා. බැමි බැඳීමේ තව ක්‍රම බොහොමයක් තිබුනත් ඒවා අපේ රටේ ජනප්‍රිය ඒවා නොවන නිසාත්, මේ ලිපි පෙල තාක්ෂණික පාඩම් මාලාවක් කරගැනීමට අකමැති නිසාත්, වැඩිවශයෙන්ම රූපසටහන් හොයන්න සහ අකුරු කොටන්න කම්මැලි නිසාත් තවදුරටත් විස්තර කරන්න යන්නේ නැහැ.
ඉංග්‍රිසි බැම්ම - රූපසටහනක්
ඉදිකිරීමෙහි ශක්තිමත් බවත්, සපයා ගැනීමේ, භාවිතයේ සහ ප්‍රවාහණයේ පහසුවත්, තාප කුසන්නායක ගුණයත් ඇතුළු කාරණා ගණනාවක් මත ඉංජිනේරු ගඩොල් අද දවසේ නිවාස බිත්ති ගොඩනැගීමේ සුපිරි අමුද්‍රව්‍ය බවට පත්වෙලා තියෙනවා. එහෙම වුනත් ඉදිකිරීමේ ක්‍රියාවලියේදී වැඩිපුර පුහුණු ශ්‍රමය වැයවීමත්, වැලි සහ සිමෙන්ති අධිකව වැයවීමත්, අමුද්‍රව්‍ය(ගඩොල්) වල අධික මිලත් කරණකොටගෙන ගඩොල් නිවාසයක් පසුම්බියට ඔරොත්තු නොදෙන තරමේ ඉතා වියදම්කාරී නිර්මාණයක් බවටද අදදවස වනවිට පත්වෙලා තියෙනවා.
මාවනැල්ල ආරුක්කු පාලම - ගඩොල් වල සුපිරි ශක්තිය පිලිඹද ජීවමාන නිදර්ශකයක්
මගේවෑයම අඩුවියදමින් නිවසක් තනාගැනීමේ මාර්ගය පෙන්වාදීම නිසාවෙන් ගඩොල්ගැන වැඩියමක් සදහන් කරන්නේ නැහැ. ඒත් ගඩොලින් තම නිවස ගොඩනගන්න කැමති උදවියට ඒ වෙනුවෙන් තියෙන ලාභදායී විකල්ප ගැන ඉදිරියේදී කථාකරන බලාපොරොත්තුවෙන් අදට නවතිනවා.
ඔබසැමට සුභ සතියක් !







