අපි පසුගිය ලිපියෙන් කථාකලේ, මිලෙන්වැඩි සම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන ලාබදායී නූතන විකල්පයක්වූ ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls) පිලිඹදවයි. එහිදී පොරොන්දු වෙච්ච ආකාරයටම අද දවසේ අපේ බලාපොරොත්තුව එහි වැඩිදියුණු කල සංස්කරණයක් වෙච්ච ස්ලිප් ෆෝම් පස් බිත්ති සහ ස්ථායීකරනය කල පස්ගල් බිත්ති ගැන බිඳක් වැඩිපුර කථාකරන්නයි.
සිමෙන්ති මිශ්‍රිත පස් එහෙම නැතිනම් වඩාත් තාක්ෂණිකව කිව්වොත් ස්ථායීකරණය කරනලද පස්, ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් විදිහට ඉතා උසස් ගුණාංග පෙන්වනු ලබනවා. අපේ සම්ප්‍රදායික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල තියෙන යහගුණ සියල්ල අඩුනැතිව අයිතිකරගත් පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමවේදෙයක් ඇතිකරන්න නර්ඩ් ඉංජිනේරු කණ්ඩායම ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නිෂ්පාදනය එලිදැක්වෙලා තියෙන්නේ. මෙහිදී අමුද්‍රව්‍ය විදිහට යොදාගැනෙන්නේ පස්, සිමෙන්ති, හුණු සහ ජලය පමණයි. ඒ නිසා වැලි අර්බුදයට මේක ඉතා හොද පිලියමක්. තාප පරිවාරක ගුණය ඉහල බැවින් ගොඩනැගිල්ලෙහි ඇතුලත පරිසරය සුවපහසු එකක් වීමත් වියදමින් 15% ~ 35% අතර ප්‍රමාණයක් ඉතිරිකරගත හැකිවීමත් ප්‍රධාන වාසි විදිහට දක්වන්න පුළුවන්.
පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති නිපදවීමේ ක්‍රමවේදය සරලව මේ විදිහට දක්වන්න පුළුවන්,
· සුදුසු පසක් තෝරාගැනීම (Selection of suitable soil)
· පස් සපයා ගැනීම / හාරා ගැනීම (Extraction of soil)
· (අවශ්‍යනම්) පස් හලාගැනීම (Sieving of soil, if it is necessary)
· සිමෙන්ති හෝ සිමෙන්ති සහ හුණු මිශ්‍රකිරීම (Mixing with cement or cement & lime)
· ජලය එකතු කිරීම සහ මිශ්‍රණය කලවම්කිරීම (Adding & mixing with water)
· පස්ගල් නිෂ්පාදනය/ ස්ලිප් ෆෝම් පස් බිත්ති ගොඩනැංවීම (Manufacturing of blocks)
· පදම්කිරීම (Curing under a shade)
· පස්ගල් භාවිතාකිරීම (Using of blocks)
· අවශ්‍යනම් කපරාරු කිරීම.( Plastering walls, if it is necessary)
පස්ගල් හෝ ස්ලිප් ෆෝම් පස් බිත්ති සදහා මැටි අඩු, වැලි වැඩි හෝ බොරළු සහිත පසක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 10% -15% අතර මැටි අඩංගු පසක් ඉතා යෝග්‍ය බවට සැලකෙනවා. ඔබ සතුව ඇත්තේ මැටි ප්‍රතිශතය වැඩිපසක්නම්, වැලි හෝ වැලි සහිත පස් එයට එක්කර එහි තත්වය වැඩිදියුණුකොට භාවිතා කරන්නට හැකියාව තිබුනත් ඔබ සතුව ඇත්තේ සියුම්වැලි(silt) වැඩි පසක්නම් එය මේ කටයුත්ත සදහා සුදුසු නොවනබව සිහිතබාගැනීම වැදගත්. සුදුසු පසක් තෝරාගැනීම සදහා සරල පරීක්ෂණයක් වන බෝතල් පරීක්ෂණය වුනත් හොදටෝම ඇති. දැන් ඔන්න බෝතල් පරීක්ෂණය කියන්නේ මොකද්ද කියලා අහස පොලව ගැටගහගෙන කල්පනා කරන්න එපා. මේක අපි හැමෝම ඉස්කොලේ පොඩිපන්ති වලදි කරපු දෙයක්. ඒ කියන්නේ පිරිසිදු අවර්ණ බෝතලයකට පස් සාම්පලයක් දමලා, ඒවාගේ දෙගුණයක් පිරිසිදු ජලය එකතුකරලා තදින් සොලවලා පැයකට පස්සේ දෙවෙනි පාරටත් සොලවාලා නිශ්චලව පැය 8 ක් තියලා, වතුර හැරෙන්නට ඝණ ද්‍රවව්‍ය වල එක් එක් තට්ටුවේ උස මැනගෙන එහි බොරළු, වැලි, සියුම්වැලි, මැටි අනුපාත ගණනය කරන එකයි.
මේ තියෙන්නේ බෝතල් පරීක්ෂණයක ආදර්ශයක්
අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක්
කොහොම වුනත් මේ මිශ්‍රණයට යොදාගන්න සිමෙන්ති අනුපාතය සාමාන්‍යෙයෙන් 1:10 ලෙස සැලකුවත්, විධිමත් රසායනාගාර පරීක්ෂණ සහිත වානිජ නිෂ්පාදනයකදී එය 1:20 දක්වා වෙනස්වෙන්න පුළුවන්. පස්ගල් නිෂ්පාදනය සදහා යොදාගන්නා යන්ත්‍රසූත්‍රද, අතින් ක්‍රියා කරන සරල යන්ත්‍රවල සිට ද්‍රවස්ථික සම්පීඩක දක්වා වෙනස්වෙන බවත් කියන්න ඕන. වෙන්කිරීමේ බිත්ති සදහා යොදාගැනීමට නිර්දේශ කෙරෙන මෙවන් පස් ගලක අවම සම්පීඩන ශක්තිය 1.2N/mm2 ලෙසට සැලකෙන බවත් නොකිව්වොත් වැරැද්දක්.
අතින් ක්‍රියාකරවන වෙනස් වර්ගයක පස්ගල් නිපදවන යන්ත්‍රයක්
ස්ලිප්පෝම් පස්බිත්තියක්
බොහොමයක් පස්ගල් බිත්ති කපරාරු කිරීම අවශ්‍ය නැහැ. විශේෂයෙන් වැඩිදියුණු කල හැඩයක් සහ අතුරුගුළු(inter locking) සහිතව ඉදිරිපත්ව ඇති අළුත් පස්ගල් ප්‍රභේද කපරාරු රහිත බිත්ති ලෙස ගොඩනැංවීම සදහාම නිෂ්පාදිතයි.
විවිධ පස්ගල් වර්ග
පස්ගල් බිත්තියක් කපරාරු කිරීම අවශ්‍යනම් ඒ කටයුත්තත් සම්ප්‍රදායෙන් බැහැරව සිදුකරන්න පුළුවන්. ඔබේ පස මැටි වැඩි එකක්නම් 1:3:3 සිමෙන්ති:පස්:වැලි මිශ්‍රණයක්ද මැටි අඩු වැලි සහිත පසක් නම් 1:6 සිමෙන්ති:පස් මිශ්‍රණයක්ද කපරාරුව සහ බැමිබැඳීම සදහා යොදාගන්න පුළුවන්. කපරාරුව සුද මැදීම සදහා අවශ්‍යනම් මකුළු පසින් හෝ මැටිවැඩි පසකින් ජලයේ දියකර වෙන්කරගත් මැටි කොටස් 15ක් සිමෙන්ති එක් කොටසක් සමග මිශ්‍රකර භාවිතයට ගන්න පුළුවන්.
අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්
අතින් ක්‍රියාකරවන පස්ගල් නිපදවන යන්ත්‍රයක් මගින් පස්ගල් නිපදවීමේ ආදර්ශයක්
මේ කාරණා සේරම සලකලා බලපුවහම තේරුම්ගතයුතු වැදගත් දෙයක් තමයි මේ ක්‍රමවේද අනුගමනය කරන්න ඒ පිලිඹදව හොද දැනුමක් හා අවබෝදයක් තියෙන්න ඕනය කියනඑක. ඒ නිසා මගේ උපදේශයනම් කොච්චර වාසි සහගත වුනත් මේවාගේ තාක්ෂණය සමග බද්ධ වෙච්ච වැඩ, ඒගැන දැනුමැත්තකුගේ සහයකින් තොරව, තනියම කරන්න යන්න එපාය කියන එකයි. අර කථාවටත් කියන්නේ, දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග කියලා. ගෙවල් හැදිල්ලෙදිත් මේ කාරණය එහෙමම තමයි ඕං !
































