Tuesday, December 24, 2013

ආවා ආවා.... ආයෙත් ආවා......!

කවුරු කවුරුත් දන්නවානේ මේසන් බාසුන්නැහැලාගේ කල්කිරියාව. වැඩක් අතරමඟ දාලා ගියොත් ආයේ කවදා ආපසු වැඩට ඒවිද කියන්න බැහැනේ. වැඩිපුර හැදි, ලඹ එතකොට මට්ටම් ලී එහෙම තියාගෙන ඉන්නේ ඒ ඒ වැඩපලෙහි බාසුන්නැහැගේ නැවත පැමිණීම සංකේතාත්මකව දක්වන්න තමයි.



කොහොම කොහොම හරි අවුරුද්දකට විතර පස්සේ, මේසන් බාසුන්නැහේ නැවතත් පරණ වැඩපොලට පැමිණ තියෙනවා. ඒ නිසා නැවතත් සුපුරුදු විදිහට 2014 වසරේ ඉදන් හිතවත් ඔබ සැම මුණගැසේවි.
එහෙනම් ලබන්නාවු 2014 නව වසරත්, උදාවන්නාවූ නත්තලත් ප්‍රීතිමත් සහ සුභදායී එකක් වේවා කියලා පතනවා.

සැමට ජය !

මේසන් බාස්


ප.ලි.

මේසන් බාස්ගේ මූනුපොතේ ගිණුම තවම සක්‍රියව පැවතුනාට, එයට ඇතුළුවීමට යොදාගන්නා විද්‍යුත් තැපැල් ලිපිණය අක්‍රියවී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙනු ලැබේ. අදාල  මූනුපොතේ ගිණුමට පිවිසීමට විකල්ප ක්‍රමයක් දන්නා මිතුරෙක් වේනම්, දුප්පත් බාසුන්නැහැට උදව්වක් කරන්න ඔන්න වේලාව !

Friday, December 21, 2012

කොන්ක්‍රීට් තලයක් ඉදිකිරීමේ ICC ශිල්පක්‍රම



දෙසැම්බර් මාසයත් ඉවරයි. අළුත් පෝස්ටුවක් ඉක්මනින් දෙන්න උවමනාව තිබ්බත්, සුපුරුදු විදිහටම වැඩේ කල්ගියා. කොහොම වුනත් “අද නම් මේවැඩේ අහවරකර මිස නොනැගිටිමි“ යන තදබල සිතුවිල්ලකින් ලිවීම ආරම්භකලා ඔන්න.


පසුගිය පෝස්ටු ගනනාවක් තිස්සේම අපේ කථාබහට ලක්වුනේ, අද දවසේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අසමසම ඉදිකිරීම් ද්‍රව්‍ය විදිහට අවිවාදයෙන් පිලිගැනෙන කොන්ක්‍රීට් පිලිබදවයි. කොන්ක්‍රීට් වල සංයුතිය සහ ශක්තිය පිලිබදව සාකච්ඡාවට ලක්වියයුතු තාක්ෂණික කාරණා බොහොමයක් තවදුරටත් ඉතිරිව තිබුනත්, නිවාස සදහා ඉදිකෙරෙන කොන්ක්‍රීට් තලයන් (slab ) පිලිබදව දැනුම ලබාදෙන ලිපියක් පලවනතෙක් බලාසිටින හිතවතුන්ගේ ඉල්ලීමක් සපුරමින් අද දවසේ ලිපිය ICC   අයතනයේ SBS pre-pressed slab ක්‍රමය ගැන කථාකරන්න හිතුවා.


ICC කිව්ව ගමන් හැමෝටම මතක්වෙන්නේ ක්‍රිකට් නොවැ. ඒත් මේ ICC එක එයට වෙනස්. මෙතනදී ICC කියන්නේ International Construction Consortium (Pvt) Ltd කියන ආයතනයයි. මේක ලංකාවේ ප්‍රමුඛපෙලේ ඉදිකිරීම් සමාගමක්. ඔවුන් විසින් ලාංකීය ජනතාවට හදුන්වාදුන් කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ අඩුවියදම් ශිල්පක්‍රමය පිලිබදව, ඔබගේ දැනුමට අමතර යමක් එකතුකරන්නයි මේසන්බාස්ගේ අද දවසේ බලාපොරොත්තුව.




කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ  ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙකක් හදුනාගන්න පුළුවන්. හැමෝටම පහසුවෙන්න ඒ ආකාර දෙක, බාහිර පෙනුම පදනම්කරගෙන පැහැදිලි කරන්නම්. ඒ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත (දලඹ / soffit ) සමතලව පිහිටන SBS (Suspended Beam Slab) ආකාරය සහ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත සමතලව නොපිහිටන  ESS (Easy Slab System) ආකාරයයි.



අවශ්‍ය ද්‍රව්‍ය :


1.       මේ ආකාර දෙකේදීම යටිකුරු කරනලද ඉංග්‍රිසි T අක්ෂරයේ  හැඩයට සමාන ආකාරයෙන් විශේෂ කොන්ක්‍රීට් අංගන තුල සකස්කරනලද පෙර-ආතතීකරිත කොන්ක්‍රීට් තලාඳ භාවිතා කෙරේ.  මේවා G.40  ප්‍රමාණයේ ශක්තියක් දරන බවද කියැවේ.
 
T තලාද සහ Soffit block

 

2.       තලාඳ අතර හිදැස පිරවීම සඳහා Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්)  විශේෂයක් යොදාගැනේ. ඒවා G.10  ප්‍රමාණයේ ශක්තියක් දරන බව කියැවෙන අතර කුහරයන් විදුලි තත් ඇදීම කටයුතු සදහා යොදාගත හැකිවේ.

 


3.       බෙදාහැරීමේ වැරගැන්නුම් වශයෙන්  10 SWG,  2”x2” කොටුදැල් ( GI welded mesh) භාවිතා කෙරේ.

 

4.       මතුපිට යොදනුලබන ව්‍යුහාත්මක කොන්ක්‍රීටය වශයෙන් 2” ඝණකම G. 20 කොන්ක්‍රීටයක් යොදාගැනේ.

 

ඉදිකොටඇති නිවසකට කොන්ක්‍රීට් තලයක් අළුතින් එකතුකිරීම


කොන්ක්‍රීට් තලයක්  ඉදිකිරීමේ  ICC ශිල්පක්‍රම


මෙවන් කොන්ක්‍රීට් තලයක්, ශක්තිමත් අත්තිවාරමක් මත නිසිලෙස ඉදිකරනලද,  9“ ගඩොල්බිත්ති ආධාරකොටගෙන පමණක්වුව (කොන්ක්‍රීට් කණු රහිතව) ඉදිකලහැකිය. එහිදී 9“ ගඩොල්බිත්ති මත ඉදිකරනලද  9”x4” තුනී කොන්ක්‍රීට් tie beam එකක් මත, 23” (හරියටම කිව්වොත් 572mm) පරතරයට  T තලාඳ  එලනු ලැබේ. අනතුරුව T තලාඳ  සියල්ල සඳහා, යටින් යොදනලද හරස් තලාදයක් සහ මුක්කු පෙලකින් ආධාරක සපයනුලබයි. 

වැදගත් තොරතුරු


එලනලද T- තලාඳ අතර හිදැස පිරවීම සඳහා යොදාගැනෙන ද්‍රව්‍ය අනුව  ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙක තීරණයවේ. 


SBS (Suspended Beam Slab) ආකාරය


පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්)  විශේෂයවේ

Soffit block ඇතිරීමෙන් පසු




ESS (Easy Slab System) ආකාරය


පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit planks නමින් හදුන්වනු ලබන සිමෙන්ති බදාමයෙන් සහ තුනී යකඩ දැලක් ඇසුරින් සකස්කරනලද විශේෂ හැඩයකින් යුතු පනේල(ලෑලි)  විශේෂයකි








මෙසේ සකස්කරගත් මතුපිට මත  2”x2” කොටුදැල් එලා, ඒ මත 2” ඝණකම 1:2:4 (3/4”)කොන්ක්‍රීටයක් (G. 20) යොදා කොන්ක්‍රීට් තලයෙහි ඉදිකිරීම් අවසන්කරනු ලැබේ.





වාසි.

1.       නිෂ්පාදකයා පවසන ආකාරයට සම්ප්‍රදායික ක්‍රමයට සාපේක්ෂව මෙහි 30% ක වියදම් ඉතිරියක් පවතී.  (මෙම අගය ලබාගැනීම සදහා, බිත්ති ඉදිකිරීමේදී ව්‍යුහාත්මක කණු භාවිතා නොකිරීමෙන් ඉතිරිකරගතහැකි මුදලත් ඇතුලත්කර ඇතිබව ඇතිබව පෙනේ)



2.       පුහුණු ශ්‍රමිකයන් වඩා අඩුවෙන් භාවිතාකලහැකි වීම. (පුහුණු ශ්‍රමිකයන්ගේ සේවය මිල අධිකය)



3.       හැඩයම් (shuttering ) භාවිතයක් සිදුනොවීමත්, පෙරසවි උපාංග කල්තබා ඇණවුම්කර සාදාගතහැකිවිමත් හේතුවෙන් ඉදිකිරීම් සදහා ගතවන කාලය සාපේක්ෂව අඩුවීම.



4.       සමස්ථ කොන්ක්‍රීට් තලයම සාපේක්‍ෂව බරින් අඩුවීම.



5.       දලඹ කපරාරුවක් අනවශ්‍ය වීම.








සැලකිය යුතුයි



1.       මෙම ශිල්පක්‍රමය හදුන්වා දුන් International Construction Consortium (Pvt) Ltd ආයතනය, අදාල ශිල්පක්‍රමය යටතේ කුඩාපරිමාණ ඉදිකිරීම් භාරනොගන්නා අතර උපාංග සපයාදීම පමණක් සිදුකෙරේ. ඉදිකිරීම් කටයුතු ඔබගේ දැනට ඉදිකිරීම් සිදුකරන ශ්‍රම කොන්ත්‍රාත්කරුවකු ලවා සිදුකරගන්නාලෙස උපදෙස් ලබාදේ. කෙසේ වෙතත් අවශ්‍ය පෙරසවි උපාංග වල ප්‍රමාණ සහ මිනුම් ලබාගැනීම සදහා ඔවුන් ඔබට සහය වනුඇත.



2.       ආයතනය වානිජ පරමාර්ථ සහිතව ක්‍රියාත්මක වන්නක් බැවින් ඔවුන්ගේ පෙරසවි උපාංග අලෙවිකරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරඇතිබවක් පෙනේ. ඒ අනුව මෙහිදී ඔවුන් ගණනය කර ඔබට පෙන්වනු ලබන 30% ක වියදම් ඉතිරිය, ප්‍රායෝගිකව ඔබට අත්වනබවට සහතික කල නොහැකිබව සැලකිය යුතුය.



3.       වානිජ ගොඩනැගිලි සදහා යොදාගැනීමේදී මෙම ශිල්පක්‍රමයෙහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය වේ. (නිද. ලෙස ද්විත්ව වශයෙන් T- තලාඳ යෙදීම)  ඒ සදහා ආයතනයේ නිලධාරි මහතුන් ඔබට සහය වනුඇත.



4.       මෙවන් කොන්ක්‍රීට් තලයක්මත, එයට පහලින් බිත්තියක හෝ ව්‍යුහාත්මක තලාඳයක සහයක් නොමැතිව, පලමු මහලේ කාමර වෙන්කිරීමේ බිත්තියක් හෝ ඉදිකිරීම  නොකලයුතුය.



5.       T- තලාඳ ප්‍රවාහනය, බෑම සහ හැසරවීම පිලිබඳ ඔබේ ඉදිකිරීම් ශිල්පියාව දැනුවත් කරගත යුතුය. 



6.       බැල්කනි ඉදිකිරීම සදහා තට්ටුව පමණක් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන්නීමේ හැකියාවක් නැති අතර එවන් අවස්ථා වලදී ව්‍යුහාත්මක තලාඳයක සහය අවශ්‍ය වේ.


ආයතනය ගැන විස්තර




නැවතත් මෙවන් අඩුවියදම් ඉදිකිරීම් ශිල්පක්‍රමයක තොරතුරු සමගින් 2013 වසරේදී හමුවෙමු. ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා !

Monday, November 5, 2012

කොන්ක්‍රීටයක ශක්තිය රැකගැනීම හා සම්බන්ධ ගුරුහරුකම් (කොන්ක්‍රීට් 3)



අළුත් පෝස්ටුවක් එලිදක්වන්න සති 6කටත් වැඩිකාලයක් ගතවීම පිලිබඳව හැමදාමත් වගේ මෙම බ්ලොග් සටහනෙන් ඉදිරිපත්කෙරෙන නීරස තාක්ෂණික කාරණා; අපහසුවෙන් වුනත් කියවාදමන, හිතමිතුරු ඔබ සැමගෙන් මේසන්බාස් සමාව ඉල් සිටිනවා. පසුගිය කාලය වැඩ අධිකවීමත්, වයසට ගියත් පුංචිපහේ අධ්‍යාපනික කටයුත්තකට කාලය යොදවන්න සිද්ධවීමත් ඒකට නිදහසට කරුණුවිදිහට දක්වන්න පුළුවන්. අනෙත් අතට ඒක අපේ පුරුද්ද නොවැ. ජීවි‍ මොනයම්හෝ දවසක, කවරහෝ ඉදිකිරීමක් කරවාගත්ත කෙනෙක් දන්නවානොවැ මේසන්බාස්ලා තරම් නිදහසට කරුණු දක්වන්න සමත් පිරිසක් මේ සක්වලේම නැහැ කියලා.

මේසන්බාස්ගේ පසුගිය ලිපිය වෙන්වුයේ, නිවාස ඉදිකිරීමේදී හැමෝටම වැදගත්වෙන කොන්ක්‍රීට් හා සම්බන්ධ තාක්ෂණික කාරණා කිහිපයක් විස්තරකිරීමට බව තවමත් ඔබට අමතක නැතිව ඇති. ඒ විස්තරය වැඩිදුරටත් මතක්කරගන්න කැමති කෙනෙකුට මෙම සබැඳියාව ඒ සඳහා භාවිතාකරන්න පුළුවන් ඔන්න.

කොන්ක්‍රීට් දැමීමට සූදානම් කරමින්

පසුගිය පෝස්ටු‍වෙන් විස්තරකෙරුණ තාක්ෂණික කාරණා සම්බන්දව වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලමින් මාවෙත විද්‍යුත් පණිවිඩ රැසක් ලැබුන නිසා, මහල් නිවාස සදහා කොන්ක්‍රිට් තලය (Concrete floor slab) ගැන කථාකරන්නට පළමුව, තවදුරටත් අමතර තාක්ෂණික කාරණා ටිකක්ගැන ඔබගේ දැනුම පුළුල්කරන්නට හිතුවා.

 “ඔබේ නිවස ඉදිකිරීමේදී අවශ්‍ය සියළු සම්පත් නිසිපරිදි සපයනු ලැබූවත්, කොන්ක්‍රීටයක් එය ලබාගතයුතු උපරිම ශක්තිය අත්කර නොගැනීමට වැඩිඉඩක් පවතී” යන ප්‍රකාශය තමයි අද දවසේ අපගේ සාකචඡාවට බදුන්වන්. ඒ අනුව කොන්ක්‍රීටයක ශක්තිය හා සම්බන්ධවන කාරණා 4ක් අද අපගේ කතාබහට ලක්වෙනවා. ඉංග්‍රිසි සී අක්ෂරයෙන් ආරම්භවන නිසාවෙන් සී4 නීති (4C Rules) විදිහටත් හදුන්වනුලබන මේවාගැන යම්පමණකින්හෝ අවබෝධයක් ලබාතිබීම, අනාගතේ නිවසක් තැනීමට බලාොත්තුවෙන කෙනෙකුටනම් කිසිේත්ම අපතේ යනඑකක්නම් වෙයි. 

4C Rules
1.     Composition - සංයුතිය
2.     Compaction - සුසංහසනය
3.     Cover - වැස්ම
4.     Curing - පදම්කිරීම

මෙයින් සංයුතිය සහ සුසංහසනය‍ට අදාල බොහෝ කරුණු කාරණා පසුගිය ලිපියෙන් අපගේ සාකච්ඡාවට බදුන්වූබව ඔබට මතකඇති. ඒ නිසා ඉදිරි ලිපිසදහා අපගේ අවධානය, වැස්ම සහ පදම්කිරීම යන කාරණා වලට සීමාකරන්නට හිතුවා. ඒ වගේම මෙම ලිපිය කියවන බොහොමයක් දෙනා සිවිල් ඉංජිනේරු විෂය සම්බන්ධව අඩු දැනුමැත්තන්ය යන උපකල්පනයේ පිහිටා, ඉතා සරලව මතුපිටින් පමණක් මේවා විස්තර කෙරෙනබවත් මතක්කරන්න කැමතියි. වැඩි විස්තර අවශ්‍ය අයට කොමෙන්ටුවකින් පොදුවේත්, විද්‍යුත් තැපෑලෙන් පෞද්ගලිකවත් ඒ ගැන විමසාසිටින්න අවස්ථාවත් සලසලා තියෙනවා ඔන්න.

වෙනත් රටවල භාවිතාවන විවිධ හැඩ වැසුම්කැට

මොකද්ද මේ “වැස්ම” (Cover)කියන්නේ. නමේ තේරුම පරිද්දෙන්ම මේකත් කිසියම් ආකාරයක ආවරණයක් තමයි. කොන්ක්‍රීට් ව්‍යුහයක අඩංගුවන වැරගැන්නුම් (කම්බි) සහ එහි බාහිර පෘෂ්ඨය(පරිසරය) අතර පැවතියහැකි අවම සම්මත දුරප්‍රමාණය එහි වැස්ම විදිහට හදුන්වන්න පුඵවන්. මෙය ඒ ඒ ව්‍යුහයෙහි ස්වභාවයත්, එහි ස්වරූපය සහ කාරියභාරයත්, එය පවතින පරිසරයත් ආදී සාධක බොහෝගනනක් මත රඳපවතිනව. සාමාන්‍ය තත්ව යටතේ ඉදිකරනුලබන නිවසක, වායව එහෙමත් නැතිනම් පොලව මට්ටමින් ඉහල ව්‍යුහයන් සඳහ වැස්ම 1” ලෙසත්, අත්තිවාරම් ආදි භූගත ව්‍යුහයන් සඳහ වැස්ම 11/2” ලෙසත් පවත්වාගැනීම වරදක් නැහැ. එහෙත් කිසියම් ඉදිකිරීමක් සඳහා ව්‍යුහාත්මක සැලැස්මක් සකස්කොටගෙන තිබේනම්, එහි සදහන්වන ප්‍රමාණයන් වැස්ම වශයෙන් උපයෝගීකරගත යුතුවනවා.

වැසුම්කැට තබනලද ‍වැරගැන්නුම් පෙලක්

කොහොමද ඔය කියන වැස්ම කොන්ක්‍රීටයක ශක්තියට දායක වෙන්නේ ?.
ඒක මම මේ විදිහට ‍පැහැදිලි කරන්නම්.

කොන්ක්‍රීටයක් ස්වභාවිකවම වැඩි සම්පඩන ශක්තියක් (තෙරපීමට ඔ‍ත්තුදීමේ හැකියාවක්) දරනවා.  එහෙත් එය සතුවන්නේ සාපේක්ෂව ඉතා අඩු ආතතික ශක්තියක් (ඇදීමට ඔ‍ත්තුදීමේ හැකියාවක්) පමණයි. සාධාරණ කොන්ක්‍රීට් ව්‍යුහයකට,  සම්පඩන ආතතික යන දෙවර්ගයේම බලයන්ට ලක්වීමට සිදුවන නිසා, කොන්ක්‍රීටයෙහි ආතතික ශක්තිය වැඩිකරලීම උදෙසා වැරගැන්නුම් (Reinforcement) එකතුකරනු ලබනවා. කිසියම් කොන්ක්‍රීටයක අභ්‍යන්තරය තුල පිහිටවනු ලබන යකඩ කම්බි, මෙලෙසින් යොදාගනු ලබන ජනප්‍රියම වැරගැන්නුම්  විශේෂයයි.

මෙසේ යොදනුලබන යකඩ කම්බි මළකමෙන් වලක්වාගැනීමටනම්  ඒවා බාහිර පරිසරයෙන් වෙන්කර තබාගත යුතුවෙයි. ඒ වගේම කම්බියක ශක්තිය කොන්ක්‍රීටයට ලබාගැනීමටනම් එම කම්බිය කොන්ක්‍රීටයට නිසිපරිදි සවිවීම (grip) අවශ්‍ය වෙයි. ඒ සදහා  එම කම්බිය වටා යම් කොන්ක්‍රීට් ප්‍රමාණයක් පැවතිය යුතුබවත් ඔබට වැටහෙනවා ඇති. මේ අනුව නිවාස වැනි කාර්මිොවන ඉදිකිරීමකදී, පොලව මට්ටමින් ඉහල ව්‍යුහය G20 කොන්ක්‍රීටයක් සඳහා යෝජනාකලහැකි වඩා සාධාරණ ඉඩප්‍රමාණය එහෙමත් නැතිනම් වැස්ම,  1”ක් ලෙස සලකන්න පුළුවන්.

වෘත්තාකාර ව්‍යුහයකට වැසුම්කැට යෙදීම

 ඉතිං ඇයි ඕකට අඟලක්ම තියන්නේ. වැඩිපුරත් එක්ක 2”ක්ම තිබ්බොත් මොකද වෙන්නේ ?

මේකට උත්තරේ මම කලින්ම දුන්නා. කම්බි යොදන්නේ ආතතික ශක්තිය වැඩිදියුණු කරන්න. ඉතිං ඒ අනුව කම්බි ස්ථානගත වෙන්න ඕනත් වැඩිම ආතතික බලයන්ට ලක්වන ස්ථනයන්වලයි. සාමාන්‍යයෙන් කිසියම් ව්‍යුහයක මෙවන් බලයන්හි උපරිම ක්‍රියාකාරිත්වය එහි බාහිර පෘෂ්ඨයට ඉතාම ආසන්නව ක්‍රියාත්මක වෙනව.

ඒඅනුව වැඩිපුර ප්‍රමාණයක් වැස්මක් පැවතීම යනු යම් ව්‍යුහයක සක්‍රිය හරස්කඩ අඩුකරගැනීමකට සමාන කරන්න පුඵවන්. වෙනත් විදිහකින් කිව්වොත් 2” වැස්ම සහිතව ඔබ සකස්කරගන්නා 9”x9” කොන්ක්‍රීට් බීම් එකක් ක්‍රියාකරන්නේ 1” වැස්ම සහිත 8”x8”  ප්‍රමාණයේ බීම් එකක් විදිහටයි කියලා  ඔබ සැලකුවාට මහා වරදක් නැහැ.

අවාසනාවකට වගේ බොහොමයක් පෙදරේරු මහතුන් වැඩිපහසුව සලකා, වායව කොටස් සදහාත් 11/2” ක හෝ එයටත් වඩාවැඩි ප්‍රමාණයක වැස්මක් යොදාගනු ලබනවා දකින්න පුඵවන්. ඒවගේම එමගින් කම්බි පිටතට නිරාවරණය වීමට ඇති අවස්ථාව අඩුකෙරෙන නිසා වැඩෙහි නිමාව පිලිබදව ගනුදෙනුකරුගේ අපවාද වලට ලක්වෙන්න ඇති ඉඩකඩත් එයින් ඇහිරෙනවා නොවැ. ඒත් එය නිවැරදි නොවන බවත් එහෙම කලොත් කොන්ක්‍රීටයෙහි ශක්තිය අඩුවනබවත් මේවනවිට ඔබට පැහැදිලිවෙන්න ඕන.

වැසුම්කැට නිවැරදිව යොදාගැනීම


වැඩබිමේද නිවැරදි ප්‍රමාණයට වැස්ම පවත්වාගන්නේ කෙසේද ?

මේකට නිවැරදිම ක්‍රමවේදය වැසුම්කැට(Cover blocks)  භාවිතා කිරීමයි. වැසුම්කැට යනු  1:2 සිමෙන්ති වැලි බදාමයකින් අවශ්‍ය වැස්මෙහි ඝණකම සහිතව, කපාගනු ලබන 2”x2”  ප්‍රමාණයෙහි අඵවාකෑලි ආකාරයේ කැට විශේෂයක්. අවශ්‍යනම් බදාමය සවිවීමට පලමුව එහි මැදින් බැඳුම් කම්බි කැබැල්ලක් සවිකරගැනීමද කරන්න පුළුවන්. වැඩිදුරටත් කියනවානම් මේක හරියට කෘෂිකර්මාන්තයෙදී යොදාගැනෙන ඩැපොග් තවානක් වගෙයි ඔන්න.

අපේ රටේ බහුලව යොදාගැනෙන වැසුම්කැටයක්


මේ සියළු කාරණා අනුව කොන්ක්‍රීටයක ශක්තියට එහි වැරගැන්නුම්/කම්බි නිසි පරිදි ස්ථානගතවීම, එහෙමත් නැතිනම් වැස්ම කොයිතරම් වැදගත්වේදැයි ඔබට පැහැදිලි වියයුතුයි. මෙයට අමතරව යම් ොන්ක්‍රීට් ව්‍යුහය ගින්න‍ට ඔොත්තුදීේ හැකියාවද වැස්මෙන් තීරණයවන නිසා,  ඔබේ පෙදරේරු මහතාට නිවැරදි පිලිවෙලට වැසුම්කැට (Cover blocks) භාවිතා කරනලෙස උපදෙස් දීමෙන් වැලකීසිටින්නටනම් දැන් ඔබට හැකියාවක් නැතිේවි.

Tuesday, September 4, 2012

කොන්ක්‍රීට් ගැන වැඩියමක් - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (කොන්ක්‍රීට් -2)


නිවාස ඉදිකිරීමේදී හැමෝටම වැදගත්වෙන දෙයක් තමයි කොන්ක්‍රීට්. එහෙම වුනත් තමන්ගේ සිහින නිවාසය ඉදිකිරීමේදී කොන්ක්‍රීට් සම්බන්ධ කාරණා වලදී නොදැනුවත්කම නිසාම බොහෝදෙනකු අමාරුවේ වැටෙනවා. නිවාස ඉදිකිරීමේ පිරිමැසුම්දායක තාක්ෂණයන් ගැන සොයමින්යන අපගේ තාක්ෂණික චාරිකාවේ මීලඟ නවාතැන මහල් නිවාස සදහා කොන්ක්‍රිට් තලය (Concrete floor slab) ඉදිකිරීම වනනිසා, එයට කලින් මෙය කියවන ඔබ කොන්ක්‍රිට් පිලිබඳ මූලික දැනුවත්වීමක් ලබාසිටීම වැදගත්.  ඒ නිසා අද දවස කොන්ක්‍රීට් හා සම්බන්ධ නිවැරදි තාක්ෂණික කාරණා කිහිපයක් වෙනුවෙන් වෙන්කරන්න හිතුවා. හැබැයි ඉතින් මේක තාක්ෂණික පාඩමක් නොවන නිසාත්, විවිධ මට්ටම්වල උදවිය මේක කියවන නිසාත් අතු ඉති කපලා හැකිතරම් සරලව අවශ්‍ය දේවල් විතරක් කියන්නම්. වැඩි විස්තර උවමනා අයට කොමෙන්ටුවකින් හරි මගේ විද්‍යුත් ලිපිණයට විදි ඊයකින් හරි විමසන්න කියලා ආරාධනා කරනවා.

මේ වගේ යන්ත්‍රයක් තියෙනවනම් ගෙදර වැඩට ඉහටත් උඩින්

කාටත් තේරෙන විදිහට කිව්වොතින්,  කොන්ක්‍රීටයක් කියන්නේ සිමෙන්ති, වැලි, ජලය සහ කුඩාවට කඩාගන්නා ලද කළුගල් (මෙටල්) යම් නිෂ්චිත අනුපාතයකට මිශ්‍රකර සකස්කරගනු ලබන කෘත්‍රිම ගල්විශේෂයක්. ආරම්භක අවස්ථාවේදී එය තැන්පත් කරනු ලබන අච්චුවෙහි හැඩය ලැබගන්නා.., ගරාවැටෙනසුළු අර්ධ ඝණ තත්වයේ පැවතුනත්, යම් නිෂ්චිත කාල පරාසයකට පසුව ඉතා ශක්තිමත් ඝණ ද්‍රව්‍යයක් බවට මුළුමනින්ම පරිවර්ථනයවීම මෙහි එක් විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. සාපේක්ෂව මිලෙන් අඩු වීමත්, භාවිතයේ ඇති පහසුවත් ඒවගේම කාර්මික මට්ටමේ යෙදීම් වලදී  යම්යම් අමතර සංඝටක එකතුකිරීමෙන් කොන්ක්‍රීටයේ ආවේනික ගතිගුණ වෙනස්කරන්න එහෙමත් නැතිනම් වැඩිදියුණු කරන්න තියෙන හැකියාවත් නූතන ඉදිකිරීම් සදහා ජනප්‍රියම අමුද්‍රව්‍යයක් බවට එය ඔසවාතබන්නට හේතුවන්නට ඇති. 

මේකට කියන්නේ යාන්ත්‍රික ගිලුම් කම්පකය කියලායි

නිවසක් ඉදිකිරීමේදී යොදාගැනෙන කොන්ක්‍රීට් වර්ග අපට ප්‍රධාන වර්ග දෙකකින් දැකගන්න පුළුවන්. එනම් කම්බි යොදාගැනෙනු ලබන කොන්ක්‍රීට් සහ කම්බි යොදාගනු නොලබන කොන්ක්‍රීට් වශයෙනුයි. මේවා වඩා තාක්ෂණිකව හැදින්වුවහොත් වැරගැන්නුම් (reinforcement) භාවිතා කරන එනම් ව්‍යුහාත්මක (Structural) කොන්ක්‍රීට් සහ වැරගැන්නුම් භාවිතා නොකරන එනම් ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට දක්වන්න පුළුවන්.
නිවසක ගෙබිම සඳහා යොදන කොන්ක්‍රීටය, එතකොට මහල් නිවාස අත්තිවාරමක නම් පතුලට යොදන නිසරු කොන්ක්‍රීටය(Screed) මෙවන්  ව්‍යුහාත්මක නොවන කොන්ක්‍රීට් විදිහට හදුන්වන්න පුළුවන්. මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:3:6(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙහි වරහන් තුල දක්වා ඇත්තේ මෙටල් වල හරස්කඩ ප්‍රමාණයයි. මෙම මිශ්‍රණය G.15 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 15N/mm2   ක සම්පීඩන ශක්තියක් ලබාගන්නා බවයි. කොහොම වුනත් ඔබේ නිවස ඉදිකරණුලබන පෙදරේරු මහතා ඉහත කී මිශ්‍රණයට 1:3:5(3/4”) ලෙසින් මඳක් අඩු මෙටල් ප්‍රමාණයක් භාවිතා කලාට බරපතල හාණියක් සිදුනොවන බව සැලකීම වැදගත්.

අය්යලා දෙන්නා කොන්ක්‍රීට් දානවා

නිවසක කණුපාදම්(Column bases), කොන්ක්‍රීට් කණු(Column) , ලින්ටල(Lintels), කොන්ක්‍රීට් තලාඳ (Beam) සහ කොන්ක්‍රීට් තලය (Slab) ප්‍රධාන වශයෙන්ම ව්‍යුහාත්මක කොන්ක්‍රීට් භාවිතාවන අවස්ථා විදිහට හදුන්වන්න පුළුවන්. අපේරටේ නිවසක් ඉදිකිරීම බොහෝවිට කාර්මික ඉදිකිරීම් ඝණයට නොවැටෙන නිසා, මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:2:4(3/4”) යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙම මිශ්‍රණය G.20 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 20N/mm2   ක සම්පීඩන ශක්තියක් අවම වශයෙන් ලබාගන්නා බවයි. කොහොම වුනත් ගෘහස්තමය ඉදිකිරිම් වලදි අපේරටේ මෙම මිශ්‍රණය භාවිතා කෙරෙනුයේ සි:වැ:ගල් 1:2:3(3/4”) වශයෙනුයි. පෙදරේරු මහතුන් අතර මහත්සේ ජනප්‍රිය 1:2:3 මිශ්‍රණය කියන්නේත් මෙයටම තමයි.

ගිල්ලුම් කම්පකය යොදාගන්නේ මෙහෙමයි

මෙසේ වැරදි අනුපාතයකට අමුද්‍රව්‍ය යොදාගැනීම නිසාවෙන් මිශ්‍රණය සඳහා භාවිතාවන මෙටල් ප්‍රමාණය 25%කින් පමණ අඩුවීමක් සිදුවනබව හිතන්න පුළුවන්. ඉතින් ඒ හේතුකොටගෙන, ඉදිකරනු ලබන කොන්ක්‍රීට් ව්‍යුහයේ ශක්තිය අඩුවිමත්, සිමෙන්ති, වැලි ආදි අනෙකුත් අමුදුව්‍ය සදහා වන පිරිවැය වැඩිවිමත් යන අවාසි අත්විදින්න ඔබට සිදුවෙන්න පුළුවන්. කොහොමවුනත් තාක්ෂණිකව මෙවන් මිශ්‍රණ අනුපාතයන් සකස්කර ඇත්තේ හොදින් ඇසුරුණ රළුසමාහාරක (Coarse Aggregate (rock)මෙටල්) අතර හිදැස් සියල්ල සියුම් සමාහාරක(Fine Aggregate (sand)වැලි) සහ න්‍යාසය (Matrix සිමෙන්ති) අංශුන්ගෙන් පිරී සිදුරු රහිත ඝණයක් ඇතිවන ලෙසයි. ඒත් එහෙමය කියලා නියම අනුපාතයටම මෙටල් එකතුකරන්න බලකලොත්, යාන්ත්‍රික ගිලුම් කම්පක (Poker vibrator) නොමැතිව අතින් “කොන්ක්‍රීට්-කොටන“  ඔබේ පෙදරේරු මහතා, කොන්ක්‍රීට් ව්‍යුහයතුල මීවද ආකාරයේ සිදුරු (Honey comb) ඉතුරුකරමින් එය වඩාත් දුර්වලඑකක් බවට පත්කරගන්නවා නොඅනුමානයි.

කම්පනය කරනකොට මිශ්‍රණයේ හිරවෙලා උන්න හුලං බෝල පිටවෙන්නේ මෙන්න මෙහෙමයි.

කොහොම වුනත් කොන්ක්‍රීට් වල තත්වපාලනය ගැන ගොඩක්දේවල් අද කථාකරන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් බරපතල විෂයයක්. ඒ වගේම විචල්‍ය ගණනාවක් තියෙන නිසා යමෙකු ඒවා ගැන මතුපිටින් විතරක් දැනගෙන, තීන්දු තීරණ ගන්න යනඑක එච්චරම නුවනට හුරුදෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඇතැමිවිට බොහෝ භයානක ප්‍රතිපල ගෙනඑන්නත් එවන් තීරණයක් හේතුවෙන්න පුළුවන්.   කවුරුත් දන්න සරල උදාහරණයක් ගත්තොත් බොහෝ පෙදරේරු මහතුන් පවා විශ්වාස කරන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයකට කොපමණ ජලය එකතුවුනත් ගැටළුවක් නැතිය කියලයි. ඒත් සැබැවින්ම ඒක එහෙම නෙමෙයි. මොකද ඒසදහා ප්‍රශස්ථ ජල සිමෙන්ති අනුපාතයක් තියෙනවා. එයට වඩා වැඩිපුර එකතුවන ජලප්‍රමාණය වාෂ්පවීයාමෙන් අනතුරුව කොන්ක්‍රීටයක ඇසට නොපෙනෙන තරම් සියුම් සිදුරු ඉතුරුකරමින්, මිවද තත්වය ඇතිකරනු ලබනවා. මේ නිසාම මගේ අවවාදය, ඔබ ගමන්ගන්නේ ඔබ ඉතාහොදින් දන්නා මාර්ගයක නොවේනම්, මාර්ගෝපදේශකයකු සදහා ඔබ කරන වියදම, වියදමක් නොව සැබැවින්ම ආයෝජනයක්ය යන්නය. 

ඔන්න මීවද

ඊතල වලින් දැක්වෙන්නේ


මේ තියෙන්නේ බාස්ලාගේ වැඩ ?


පෝස්ටුව දිගවැඩියි. ඒ නිසා කොන්ක්‍රීට් පිලිබඳ තවත් තොරතුරු  බිඳක් සමගින් සත්දිනකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මෙතනින් සමුගන්නවා. ඔබ සැමට සුභ සතියක්.

ප.ලි.
මෙහි පලකරනලද ඡායාරූප සියල්ල අන්තර්ජාලය ඇසුරින් ලබාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න. 

ප.ප.ලි.
සිමෙන්තිත් ඔන්න වැඩිවෙලාලු !