අපි පසුගිය ලිපියෙන් කථාකලේ, රජරට ලොකු ගඩොල් එහෙමත් නැතිනම් වන්නි ගල් සම්බන්දවයි. ඒ ගැන දැනගන්න කැමති කෙනෙකුට මෙතනින් එම පෝස්ටුව බලන්න පුළුවන්. සති කිහිපයක් එකදිගටම මිලෙන්වැඩි, සම්ප්‍රදායික ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේද ගැන කථාකලනිසා ඒ වෙනුවට ඉදිරිපත් වෙලා තියෙන ලාබදායී නූතන විකල්ප පිලිඹදව දැනගන්නඑකත් නිවසක සිහිනය සැබෑවක් කරගන්න වෙහෙසෙන හැමෝටම වැදගත් වේවි. ඉතින් අද දවසේ අපේ බලාපොරොත්තුව එවන් විකල්ප ක්‍රමවේදයක් ගැන බිඳක් වැඩිපුර කථාකරන්නයි.
ස්ලිප් ෆෝම් බිත්ති
නිවාස බිත්ති ගොඩනැංවීමේ නූතන විකල්ප ක්‍රමවේද අතුරින් පලමුවෙන්ම සාර්ථක ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලද්දේ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා ප්රමුඛ නර්ඩ් ඉංජිනේරු කණ්ඩායමයි. ඒ මෙයට වසර 30කට නොඅඩු කාලයකට කලින්. මෙය හැදින්වුයේ ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls) ලෙසයි. මෙහිදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගනු ලැබුවේ එවකට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කඳු වශයෙන් ගොඩගසාගෙන සිටි, කළුගල් නිෂ්පාදනයන්හි අපද්‍රව්‍යයක් වශයෙන් ලැබුණ ගල්කුඩුයි (Quarry Dust). මෙම ගල්කුඩු සහ සිමෙන්ති 1:12 අනුපාතයකට ගෙන 2% ක කොහුකෙදි ප්‍රමාණයක් සහිතව සීමිත ජලප්‍රමාණයක් යටතේ මිශ්‍ර කොට, විශේෂ යකඩ අච්චුවක් (Slip Form Shutter) මාර්ගයෙන් බිත්ති ඉදිකිරීම සිදුවූවා. නර්ඩ් අත්තිවාරම මත ස්ථාපිත පෙරසවි කුළුණු වෙත ජී-කලම්ප මගින් සවිකරන ලද යකඩ අච්චුව, ද්‍රවස්තිතික ජැක්කු මාර්ගයෙන් බිත්තිය හා සමගාමීව ඉහලට එසවෙනු ලැබුවා.
මේ බිත්ති කුස්තුර රහිත වූ බැවින් සම්පූර්ණ පනේලයම තනි ව්‍යුහයක් (යෝධ බ්ලොක් ගලක්) වශයෙන් ක්‍රියාකිරීම නිසා බර දරණා ව්‍යුහමය බිත්ති වශයෙන් ඉතා සාර්ථකව උපයෝගීකරගැනීමේ හැකියාව ලැබුණා. මහල් ගොඩනැගිලි සදහා 6“ පලල බිත්තිද තනි තට්ටුවේ ගොඩනැගිලි සදහා 4“ බිත්තිද යොදාගනු ලැබුවා. මෙහිදී උපයෝගී කරගත් යම් යම් තාක්ෂණික ක්‍රමවේද හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් ඉතා අඩු සංඛ්‍යාවක් පමණක් උපයෝගී කොට වඩා වේගවත් ඉදිකිරීමක් සිදුකිරීමේ හැකියාව ලැබුණා. බිත්ති ලඹකිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවීමත්, එක් දිනක් තුල සම්පූර්ණ බිත්තියක්ම ඉදිකල හැකිවීමත් ( සාම්ප්‍රදායික බිත්තියක් දිනකදී ඉදිකලහැකි උපරිමඋස අඩි 5කි) කපරාරු අනවශ්යවිමත්, අඩු අමුද්‍රව්‍ය පිරිවැයත් ආදී වාසි රැසක් අත්කර දෙනු ලැබුවා. වියදම් පිරිමැසීම ගැන සදහනක් කලොත්, යම් බිත්තියක දෙපස කපරාරුව සදහා යන වියදමින් එම බිත්තිය ඉදිකලහැකිබව පෙන්වාදෙනු ලැබුවා.
මෙහි කොහුකෙඳි එකතුකිරීම, එතෙක් පැවති ක්‍රමවේදයන්ට වඩා බොහෝ වෙනස්වූ කාරණයක්. එහි බලාපොරොත්තුව වුනේ ඉදිකෙරෙන බිත්තියට මූලික වැරගැන්නුමක් ලබාදීම පමණයි. ඒ අනුව එක් දිනක් තුල සම්පූර්ණ බිත්තියක්ම ඉදිකිරීමෙහි හැකියාව, ස්ලිප් ෆෝම් බිත්ති වලට එකතුකරනලද කොහුකෙදි මඟින් ලබාදෙනු ලැබුවා. ඇත්තටම ගල්කුඩු මිශ්‍රණයෙහි සිමෙන්ති අංශුන්ගේ සවිවීම ආරම්භවන බැවින් කොහුකෙදි වල රාජකාරිය මුල් පැය 24 තුලදීම අවසන්වෙනවා. බිත්ති නිමකිරීමේ අදියරේදී, බ්ලෝව් ලාම්පුවකින් පිලිස්සීමෙන් බිත්තිවලින් පිටතට මතුවඇති කොහුකෙඳි ඉවත්කරනු ලැබුවා. අනතුරුව සිමෙන්ති කුඩු ස්වල්පයක් එක් කරනලද හුණු බොරයෙන් (Lime putty) බිත්ති මතුපිට සුදතැබීම සිදුවුණා. කොහොම වුනත් මෙම කොහුකෙඳි එකතුකිරීම, ඒ පිලිඹදව නිසි වැටහීමක් නොතිබූ සාමාන්‍ය ජනතාව අතරින් බොහෝදෙනකු, කොහුබත් එකතු කිරීමක් ලෙස වරදවා වටහාගෙන තිබුණා.
කොහෙමවුනත් පසුකාලීනව බ්ලොක්ගල් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ අමුද්‍රව්‍ය සඳහා ඇතිවූ තරඟයත්, අදාල ක්‍රමවේදයන් භාවිතය සදහා විශේෂ පුහුණුවක් සහ උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වීමත්, කපරාරු නොකරන ලද ස්ලිප්ෆෝම් බිත්තියක නිමාව, කපරාරු කරන ලද බ්ලොක්ගල් බිත්තියක් හා සැසදීමේදී 95% නොඉක්මීමත්, ගඩොල් බිත්තියක් හා සැසදීමේදී ගොඩනැගිල්ලක ඇතුලත පරිසරයේ උශ්නත්වය සමනය කිරීමට එය දායක නොවීමත් සහ විශේෂයෙන් නර්ඩ් ආයතනය මගින්ම පසුකාලීනව වඩා පහසු සහ සාර්ථක ක්‍රමවේද ඉදිරිපත් වීමත් හේතුකොටගෙන මෙවන් ස්ලිප්ෆෝම් බිත්ති ඉදිකිරීම අදවනවිට නර්ඩ් තාක්ෂණයෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි වල අත්තිවාරම් බැම්ම ඉදිකිරීමට පමණක් සීමාවෙලා තියෙනවා කියනඑකත් නොකිව්වොත් වැරැද්දක්.
ආයෙත් සත්දිනකින් හමුවෙමු!
ප.ලි.
මීලඟ කොටසින් නර්ඩ් ආයතනයේම,
1. ස්ලිප් ෆෝම් පස් බිත්ති
2. ස්ථායීකරනය කල පස්ගල් බිත්ති.
පිලිඹද විස්තර දෙන්නයි බලාපොරොත්තුව.