Thursday, January 19, 2012

NERD Foundation Techniques - නර්ඩ් අඩුවියදම් අත්තිවාරම් ක්‍රම





වියදම් අඩු ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයක් හොයාගෙන යන අපේ චාරිකාවේ පලමු නැවතුම වුයේ නර්ඩ් මධ්‍යස්ථානයයි.  එහිදී හමුවූ නර්ඩ් අඩුවියදම් නිවාස ඉදිකිරීමේ තාක්ෂණය ගැන මූලික හැදින්වීමක් කලින් ලිපියේ සිදුකෙරුණා ඔබට මතක ඇති. මතක නැතිනම් මෙන්න මෙතනින් ඒක බලන්න පුළුවන්.

තාක්ෂණ ක්‍රමවේදයන් විස්තර කිරීමේ පහසුව තකා මම නිවාසයක ඉදිකිරීමේ අදියරයන් කොටස් කිහිපයකට වෙන්කර ඉදිරිපත් කරන්නම්. ඒ අනුව,
Ø      අත්තිවාරම
Ø      බිත්ති සහ සැකිල්ල
Ø      කොන්ක්‍රිට් තලය (මහල් ගොඩනැගිලි සදහා)
Ø      වහලය
Ø      නිමකිරීම්
Ø      සේවා පහසුකම් (ජලය, විදුලිය, අපවහන)

විදිහ‍ට හැකිතාක් සරලව ඔබ ඉදි‍රියේ පෙලගස්වන්නම්. එයින් සමහරක් නීරස තාක්ෂණික කරුණු එකතුවක් වුනත් ටිකක් ඉවසීමෙන් කියවාදමන්න පුංචි උත්සහයක් ගත්තොත් ජීවිතයේ කවදාහරි, තමන්ට නැතත් යාළුවෙකුට හරි ඒක උදව්වක් වේවි.


නර්ඩ් අඩුවියදම් අත්තිවාරම් ක්‍රම 

සාම්ප්‍රදායික නේවාසික ගොඩනැගිල්ලක අත්තිවාරම, ගැඹුරු කාණුරැසක් පුරවා බින ලද කළුගල් බැම්මකින් සහ මහල් ගොඩනැගිල්ලකදී නම්, එයට අමතරව නිශ්චිත දුර ප්‍රමාණ වලින් සකසන ලද කනුපාදම් රැසකින්ද සමන්විත තරමක් සුවිසල් ව්‍යුහයක්. නමුදු නර්ඩ් අත්තිවාරම පොලව මට්ටමේදී ඉතා කුඩා හරස්කඩක් සහිත බිම්තලාදයන් (Plinth beam) සමූහයකින් ඒකාබද්ධ කල කණුපාදම් රැසකින් සහ මෙම බිම් තලාද මත වි‍‍ශේෂ අච්චුවක් ආධාරයෙන් 1:10 සිමෙන්ති සහ ගල්කුඩු මිශ්‍රණයක් සම්පීඩනයකොට තනනුලබන අත්තිවාරම් බැම්මකින් පමණක් සමන්විත වෙනවා.

කනු පාදමක ආදර්ශයක්

මෙම ව්‍යුහයන් කෙතෙක් සරල ඒවාද කියතහොත් දෙමහල් නිවාසයක් සදහා බිම් තලාඳය මි.මි. 10 දගරවානේ කම්බි දෙකකින් සහ 6”x4” තරම් කුඩා හරස්කඩකින් යුක්ත වන අතර  අත්තිවාරම් බැම්ම 6” ක ඝණකමකින් සහ තලාදය සමග 12” ක අවම උසකින් යුක්ත වීම ප්‍රමාණවත් වනවා. බැළුබැල්මට සෙල්ලම් ගෙයක් වැනි පෙනුමක් ඇතිවූවද ශක්තිමත්බව යනු යමක බ‍ාහිර හරස්කඩ ප්‍රමාණය නොවන වග අවබෝධ කරගතයුතු වෙනවා. මොකද සත්‍ය වශයෙන්ම මෙම තුනී කොන්ක්‍රිට් තලාදය ඒ මත සැකසූ ගල්කුඩු බැම්මත් සමග එකාබද්ධව සම්පූර්ණ ව්‍යුහයේ උසට (මෙහිදී 12”) සමාන කොන්ක්‍රිට් තලාඳයක් විලසින් ක්‍රියාකරන නිසයි.

 බිම් තලාඳ සහ පෙරසවි කණු

කණු පාදම් (Column bases) මතදී බිම් තලාඳයෙන් ඉහලට පෙර-ආතතීකරිත (Pre Stressed) කොන්ක්‍රිට් කණු සවිකරනු ලබනවා. දෙමහල් හෝ තෙමහල් නිවාසයක් සදහා යොදාගැනෙන මෙම පෙර සවිකණු 6”x6 ප්‍රමාණයේ හරස්කඩකින් යුක්ත වෙනවා.


නර්ඩ් අත්තිවාරමේ මූලික සැකැස්ම මේක වුනත් ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත භූමියෙහි ස්වභාවය මත සුළු සුළු වෙනස්කම් සිදුකිරීමේ හැකියාවක්ද පවතී. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් කණු පාදම් ඉදිකරනු ලබන්නේ වැඩබිමතුලදී කරනු ලබන ඉදිකිරීමක් වශයෙන් (In-situ construction) වුවත් වගුරු බිමකදී පොකට්ටු ලෙස සකසන ලද පෙරසවි කණුපාදම් යොදාගනු ලබනවා.

 අත්තිවාරම් බැම්ම සැකසීම සදහා සවිකරන ලද විශේෂ අච්චුව
මේ සියළු කාරණා අනුව පැහැදිලි ලෙසම නර්ඩ් අත්තිවාරම, සාම්ප්‍රදායික ගොඩනැගිල්ලක් සදහා යන වියදමින් 35%~40% ක ඉතිරියක් ඔබ‍ට ලබාදෙනබව කියන්න පුළුවන්.


මේක හදුන්වාදීලා තියෙන නර්ඩ් ආයතනය ගැන දැනගන්න මෙතන කොටන්න.

Tuesday, January 17, 2012

NERD Economical Buildings - මොකද්ද මේ නර්ඩ් අඩුවියදම් නිවාසයක් කියන්නේ



අඩුවියදම් නිවාස, මේක ජනමාධ්‍ය තුල නිරතුරු කථාබහට ලක්වන; නිවසක් ඉදිකිරීමේ සිහින දකින කාගේත් උනන්දුව වඩවන; ඒත් දැනගියොත් කතරගම් යන නොදැන ගියවුන් අතරමං වන; කෙනෙකුට රසවත් වගේම තවකෙකුට බොහෝ අමිහිරි අත්දැකීම් සිහිගන්වන මාතෘකාවක්. අපේ රටේ නිවාස ඉදිකිරීම් හා සම්බන්ද අඩුවියදම් ඉදිකිරීම් ක්‍රමවේද ගනණාවක් තිබුනත් එයින් ඵලදායී ක්‍රමවේද තියෙන්නේ කිහිපයක් පමණයි. මම කලින් ලිපියක කීවා වගේම මගේ අභිලාශය මේක වැඩි කැමැත්තකින් තොරව කියවන ඔයාලට, අමිහිරි තාක්ෂණික කරුණු ගොන්නක් ඉගැන්වීම නොවී තාක්ෂණය ඵලදායී ලෙස භාවිතාකිරීමට හැකිවනසේ සුදුසු මාර්ගයක් පෙන්වීම පමණක් වන නිසා රටේ ජනප්‍රිය ඒ ඒ ක්‍රමවේදය පිලිඹදව පක්ෂග්‍රාහී නොවන විග්‍රහයක් ඉදිරිපත් කිරීමත්, ඒ ඒ ක්‍රමවේදය හදුන්වා දෙමින් වාසි අවාසි සාකච්ඡා කිරීමත් මේ ලිපි පෙලෙහි අරමුණ වෙනවා.

අපේ රටේ අඩුවියදම් ඉදිකිරීම් ගැන කථාකරත්දී මුලින්ම සලකාබැලිය යුතු ක්‍රමවේදයක් තමයි නර්ඩ් අඩුවියදම් නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කියලා කියන්නේ. මේ තාක්ෂණයේදී සම්ප්‍රදායික ඉදිකිරීමක වියදමින් 30% කට නොඅඩු ඉතිරියක් සිදුවන බව තමයි කියැවෙන්නේ.  සාධාරණ ගණනය කිරීමකදී වෙලදපලේ දැනට ඇති වඩාත්ම පිරිමැසුම්දායක නූතන ඉදිකිරීම් ක්‍රමය විදිහට මෙය හදුන්වන්න පුළුවන්. බොහෝවෙලාවට අළුත් දෙයක් පිලිගන්න හුගක් අය මැලිවෙන්නේ "අය්යෝ... දැනට හොදට තිබුනට පහුකාලයේදී මොනවා වේවිද දන්නේ නැහැ කියලානේ.  ඒත් මේ තාක්ෂණය හදුන්වා දීලා දැනට අවුරුදු 30 ක් පමණ වන නිසා, තාක්ෂණයේ කාල පරික්ෂාව පිලිඹදවත් ගැටළුවක් ඇතිවන්නේ නැහැ (Time Tested). ඇරත් නර්ඩ් කියන්නේ රජයේ ආයතනයක්. ඉතින් ඒනිසා මේ තාක්ෂණයනම්, ආයතනයට ලාභ ඉපැයීම පෙරිදැරිකර නොගත් තාක්ෂණයක්ය කියලා බය නැතිව හදුන්වලා දෙන්න පුළුවන්. 

නර්ඩ් ආයතනය ගැන බොහොමයක් විස්තර අපේ කලින් ලිපියක පලවුණා. ඒගැන වැඩිපුර දැනගන්න අවශ්‍යනම් මෙතන කොටන්න.


සමස්ථයක් විදිහට ගත්තහම නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය ඉතා අඩු යෙදවුම් ප්‍රමාණයකින් උපරිම ශක්තිය උපයාදෙන ආකාරයෙන් නිර්ම‍ාණය කරන ලද්දක්.  එතෙක් කාර්මික ඉදිකිරීම් සදහා පමණක් යොදාගැනුණු පෙර ආතතීකරණය කරනලද (Pre stressed) කොන්ක්‍රීට් ව්‍යුහයන් මෙම තාක්ෂණය යටතේ ගෘහස්තමය ඉදිකිරීම් සදහා ඉතා ඵලදායක ලෙස යොදාගනු ලබනවා. එහිදී දැව භාවිතය අවම වීමත්, වඩා සුලභ සහ ලාභදායී අමුද්‍රව්‍ය මත පදනම් වීමත්, පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය සාපේක්ෂව අඩුවීමත්, අඩුකාලයකින් ඉදිකිරීම් කටයුතු සිදුකලහැකි වීමත්, කො‍ටස් කොටස් වශයෙන් ඉදිකලහැකිවීමත් (කොන්ක්‍රිට් තට්ටුව පවා ) වාසි විදිහ‍ට සදහන්කරන්න පුළුවන්.


මී‍ට අමතරව නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය “ලොස්කොන්“ තාක්ෂණයක් කියලාත් හදුන්වන්න පුළුවන්. “ලොස්කොන්“ කියන්නේ වැලි භාවිතය අවමව කෙරෙන ඉදිකිරීම් ක්‍රමවේදයන්ටයි. (Low Sand Consumption Construction Method). ඒ අනුව මේ වනවිට ඉදිකිරීම් කර්මාන්තයට තදින්ම බලපා තිබෙන වැලි අර්බුදයටත් නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය යම්තාක් දුරකට විසදුමක් විදිහට සලකන්න පුළුවන්.

පෝස්ටුව දිග වැඩිවුනොත් කියවීම එපාම වෙන නිසා නර්ඩ් ඉදිකිරීම් තාක්ෂණය ගැන සාරාංශයකට පමණක් මේ ලිපිය සීමා වෙනවා. වැඩි විස්තර එකින් එක ඉදිරි ලිපි වලින් ගෙන එන්නම්. එතෙක් ඔබ සැමට සුබ දවසක්.

Friday, January 13, 2012

NERD Centre - මොකද්ද මේ නර්ඩ් මධ්‍යස්ථානය කියන්නේ



නර්ඩ්, අවුරුදු තිස්ගනනක් තිස්සේ අපගේ ජනතාවගේ කනට ටිකක් විතර හුරුපුරුදු නමක්. නර්ඩ් කියන්නේ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය කියන තේරුම දෙන National Engineering Research and Development Centre කියන ඉංග්‍රිසි පදපෙලෙහි කෙටියෙදුම විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. තාක්ෂණය ගැන කථාකරන්න ඇවිල්ලා ඇයි මේ එක එක ආයතන ගැන තොරතුරු සටහන් කරන්නේ කියලා සමහරවිට ඔයගොල්ලන්ට ගැටළුවක් ඇතිවේවි. ඒත් පොඩ්ඩක් ඉවසන්න, මේ බ්ලොග් එකෙහි ඉදිරිපත් කෙරෙන තාක්ෂණික කාරණා සම්පූර්ණ වීම සදහා ඔබ මේ ආයතනයගැන දැනගෙන හිදීම අනිවාර්යයෙන් වැදගත්.

රටේ තාක්ෂණික සංවර්ධනය කෙරෙහි වැදගත් මෙහෙයක් ඉටුකරන මේ ආයතනයේ අතීතයට පොඩ්ඩක් එබී බැළුවොත්, ඔන්න ඔය පහතින් දැක්වෙනවා වාගේ විස්තරයක් තමයි කියන්න වෙන්නේ.

නර්ඩ් ආයතනය, 1974 දී එවකට පැවති කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ පුරෝගාමිත්වයෙන් රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලද්දක්. දේශීය තාක්ෂණික ක්‍රම දියුණුකිරීම සදහා අවශ්‍ය ආයතනික සහයෝගය ලබාදීමත්, කර්මාන්ත කරුවන්ට බලපාන ඉංජිනේරුමය ගැටළුවලට පිළියම් යෙදීමත්, ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා යෝග්‍ය තාක්ෂණික ක්‍රම සැලසුම් කිරීම සහ ඒවා සංවර්ධනය කිරීමත්  ආයතනය පිහිටුවීමේ අරමුණු විදිහට කියවෙනවා.
විශ්ව කීර්තියටපත් ඉංජිනේරුවරයකු වූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා ( එතුමන් වැඩිපුරම ප්‍රසිද්ධ කොන්ක්‍රිට් කුලසිංහ කියලායි. එතුමන් ගැන පෝස්ටුවකුත් ඉදිරි දිනයක පලවේවි) 1977 දී මෙහි සභාපතිත්වයට පත් වූ අතර මොරටුවේ ස්ථානගතවතිබූ ආයතනය, 1979 දී ඒකල කාර්මික ජනපදයෙහි අක්කර 9 ක් තරම් සුවිසල් භූමිභාගයක් වෙත රැගෙන ඒමට ඒ මහතා මූලික වුණා. ආයතන පරිශ්‍රයෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයන්ම පිරිමැසුම්දායක ඉදිකිරීම් ශිල්පක්‍රම අත්හදාබැලීමේ නව පර්යේෂණයන් බවට පත්කරගත් ඒමහතා ප්‍රමුඛ නර්ඩ් ඉංජිනේරු කැල, ඒ ඔස්සේ නව සොයාගැනීම් රැසක් රටට දායාද කිරීමටද සමත්වුණා.

එයට අමතරව කාලීන සහ දේශීය අවශ්‍යතාවනට අනුකූලව කේෂ්ත්‍ර කිහිපයක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වල නිරතවෙමින් ජයග්‍රහණ රැසක් ජනතාවට අත්කර දීමට නර්ඩ් ආයතනයට හැකියාව ලැබුණා. විශේෂයෙන් බලශක්ති අර්බුදයට පිලියම් වශයෙන් සූර්ය බලය, සුලං බලය ජීවවායුව සහ කුඩාපරිමාණ ජල විදුලිය ආදී විකල්ප ශක්ති ප්‍රභවයන් පිලිඹදවද, විවිධ ගෘහස්ථ සහ කර්මාන්තමය උපකරණ සහ මෙවලම් වැඩිදියුණු කිරීම් ද ඒ අතර  වුණා.

නර්ඩ් ආයතනය විසින් වැඩිදියුණු කරන ලද තාක්ෂණයන් විවිධ ආකාරයෙන් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කරනු ලබනවා. එයින් එක් ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ අනෝන්‍ය සුභසිද්ධිය සදහා සැකසුන තාක්ෂණික පැවරුම් ගිවිසුමක් ඔස්සේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් වෙත තාක්ෂණය පැවරීමයි. මෙසේ තාක්ෂණය පැවරීමෙන් අනතුරුව අදාල ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අමතර තාක්ෂණ උපදෙස් ලබාදීමත් ප්‍රමිති හා අනුකූලතාවය පිලිඹදව පසුවිපරම් කිරීමත් මධ්‍යස්ථානය මගින් සිදුකෙරෙනු ලබනවා. මෙම ක්‍රියාවලිය රටට හිතැති තාක්ෂණයක් අනුගමනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් රටට දායාද කිරීමට සමත්වූ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සැලකුවහොත් නර්ඩ් පිරිමැසුම් දායක ඉදිකිරීම් තාක්ෂණය දිවයින පුරා ජනතාව වෙත වඩාත් සමීපකිරීමටද එය දායක වුණා.

 නර්ඩ් තාක්ෂණයෙන් ‍‍ගොඩනගනලද නිවසක්
මෙයට අමතරව රටපුරා විසිරුණ විදාතා මධ්‍යස්ථාන ඔස්සේද, විවිධ වූ තාක්ෂණික ප්‍රදර්ශණ සහ විශේෂයෙන් 1998 දී ආයතන භූමියෙහි ඇතිකරන ලද තාක්ෂණික උද්‍යාණයද සාමාන්‍ය ජනතාව වෙත තාක්ෂණය රැගෙනයාමේ වැදගත් මෙහෙයක් මේ මොහොත දක්වාම ඉටුකරනු ලබනවා.

 කර්මාන්ත උද්‍යාණ පිවිසුම
නර්ඩ් ආයතනය විසින් පවත්වාගෙන යනුලබන තාක්ෂණික උද්‍යාණය ඔබටත් නැරඹිය හැකියි. බොහොම පුංචි අයකිරීමක් සිදුකරනවා වැඩිහිටියකුට රු.15/=කුත් පාසල් ලමුනට  රු.10/=කුත් වශයෙන්. උදයේ සහ සවස විස්තර කිරීම් සහිත ප්‍රධාන චාරිකා සැසි දෙකක් පැවැත්වෙනු ලබනවා. දිනපතා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන නිසා, තාක්ෂණික උද්‍යාණය නැරඹීම සදහා පූර්ව අනුමැතිය ලබාගැනීම වැදගත්.  තාක්ෂණික උද්‍යාණය සම්බන්ධ කරගැනීම සදහා 011-2234267 යන ඍජු දුරකථන අංකය හෝ 011-2236284 011-2236384 යන දුරකථන අංක සමග 414 දිගුව ඉල්ලා සිටීම හෝ techno@nerdc.lk යන විද්‍යුත් ලිපිනය ඔබට භාවිතා කරන්න පුළුවන්.

 කර්මාන්ත උද්‍යාණය ඇතුලත දර්ශනයක් 

 අපේ අදහස
ඉතින් තවත් මෙවන් තාක්ෂණය සමග බැි තොරතුරු මිටක් සමගින් සත්දිනකින් නැවත හමුවෙමු. ඔබට සුභ සතියක්.

Monday, January 9, 2012

ඔබ ඉඩමක් මිලටගැන්මට සිහිනමවයිනම් මේ ලිපිය ඔබටයි. - 2


මෙහි මුල් කොටස කියවීම සදහා   මෙතන කොටන්න.



අප මෙතෙක් කථාකලේ ඉඩමක් මිලදීගැනීමේදී  සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් පිලිඔදවයි. අපේ රටේ බොහෝදෙනකු ජොතිෂ්‍යය විශ්වාස කරනා අය බැවින් පැහැදිලි විද්‍යාත්මක පදනමක් ඇතැයි සැලකෙන සහ වියදමට ඍජුලෙස බලපාන ඇතැම් ජොතිෂ්‍යය කාරණාද මෙයට ඇතුලත්කරන ලද බව කරුණාවෙන් සලකන්න.

  • පූජ්‍ය ස්ථානයකට, සොහොනකට, මංසන්ධියකට, වගුරුබිමකට එකෙල්ලේ මුහුණලා පවතින ඉඩම් පදිංචිය සදහා උචිත නොවීමට ඉඩඇත.

  • ඉඩමක හැඩය ආයත චතුරස්‍ර (Rectangular) වීම වඩාත් ඵලදායී වේ. ත්‍රිකෝණාකාර හෝ පාද 4 ට වැඩි බහුඅස්‍රාකාර ඉඩමක ඉඩකඩ අපතේ යාම වැඩිවියහැක. 

  • තාක්ෂණික වශයෙන් ඉඩමෙහි වැසි ජලය බැස යාමේ ස්වාභාවික ක්‍රියා පිලිවෙත පිලිඹදවත්, ගංවතුර තර්ජන මට්ටම පිලිඹදවත්, පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් හෝ අපද්‍රව්‍ය බැහැරකිරීමේ පහසුකම් සැපයෙන්නේ නැති නම් පසෙහි ජලමට්ටම පිලිඹදවත් පසෙහි ස්වභාවය පිලිඔදවත් සැලකිම වැදගත්. මේ ගැන තව ටිකක් සවිස්තරව කථාකලොත්,

    • ඔබේ ඉඩම ගංවතුර තර්ජනයට ලක්වේනම් ඒ සදහා පූර්ව පිලියම් යෙදීමට නිවස තැනීමේදී අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත

    • වැසිකාලයන්හිදී පසෙහි ජලමට්ටම පොලව මතුපිට හා ඉතා ආසන්න වේ නම් වැසිකිලි අපද්‍රව්‍ය බැහැරකිරීමේ පද්ධතියෙහි ගැටළු ඇතිවනු ඇත. එ සදහා ඔබට අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

    • ඉඩමෙහි එකතුවන වැසිජලය ස්වාභාවික ලෙස බැසයාමේ ක්‍රියාවලිය බාදාවකින් තොරව සිදුවේදැයි සැකහැර ගතයුතුය. නැතහොත් එයද ඔබට අමතර පිරිවැයක් දැරීමට සිදුවන කාරණයක් වනු ඇත.

    • පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් නොමැති නම් භූමියෙහි ජල මට්ටම මධ්‍යම ගැඹුරකින් පැවතීමත් ජලයෙහි පරිභෝජන යෝග්‍යතාවත් ඉතා වැදගත් සාධක වනු ඇත. ගැඹුරු ලිංකට්ටලයක් යනු ජීවිත කාලයටම ඔබේ විදුලිබිල වැඩිකරන ඇටවුමකි. 

    • ගොඩනැගිලි ඉදිකිරීම සදහා බොරළු පොලවක් පැවතීම ඉතා වාසිදායකය. මක් නිසාද යත් ශක්තියෙන් වැඩි බැවින් අත්තිවාරම් සදහා වියදම් අඩු සරල ව්‍යුහ යොදාගත හැකි වීමත්, බොහෝවිට පරිභෝජනයට යෝග්‍ය ජලය පැවතීමත්, පශ්චාත් ගිලාබැසීම් වලින් සිදුවන ඉරිතැලීම් වලින් ඔබේ නිවස බොහෝදුරට ආරක්ෂාවීමත් ආදිය දැක්විය හැක. නමුදු බොරළු පසක් සහිතව ඔබ මිලදීගන්නා ඉඩම පිටතින් ගෙනන ලද පසින් පුරවා සකසන ලද සාවද්‍ය බොරළු පොලවක් නොවන බවටත්, නියං කාලවලදී සිදීයන ජල පහසුව අඩු පොලවක් නොවන බවටත් සැකහැර දැනගත යුතුවෙනවා.

    • මේ හැරෙන්නට තදමැටි, මධ්‍යම තදමැටි, මධ්‍යම තද වැලි යන කවර පසක් වුවද සාමාන්‍ය තත්වය යටතේ, ඉදිකිරීම් කටයුතු සදහා යෝග්‍ය වේ. කෙසේවුවද ඉතා ලිහිල් මැටි හෝ ඉතා ලිහිල් වැලිපොලවක් පැවතීම ඉදිකිරීම් වියදම ඉතා විශාල ලෙස ඉහල දමනුලබන අතර මතුපිට පස් ස්ථරයට අඩි කිහිපයක් යටින් නොදිරූ ද්‍රව්‍ය සහිත දුර්වල පස් ස්ථරයක් (Peat) පවතීනම් තත්වය වඩාත් බැරෑරුම් වනු ඇත. 


  • කෙසේ වුවද මේ වනවිට ඔබ සතුව ඉඩමක් පවතීනම් එහි පසෙහි තත්වය පිලිඹදව කණගාටු වියයුතුනොවේ. මක්නිසාදයත් පවතින ඕනෑම බිමක නිවාස ඉදිකිරීමක් සිදුකල හැකි නූතන ඉංජිනේරු ශිල්ප ක්‍රම බොහොමයක් පවතින බැවිනි. මෙහිදී දුර්වල පස වැඩිදියුණු කිරීම හෝ විකල්ප අත්තිවාරම් ක්‍රමයක් උපයෝගී කරගැනීම හෝ මෙම පියවරයන් දෙකම හෝ උපයෝගී කරගනු ඇත. නමුදු එවන් අවස්ථාවකදී පලපුරුදු ඉංජිනේරු වරයකුගේ සහය අනිවාර්යයෙන් ලබාගතයුතු බවද වැඩිදුරටත් සදහන් කලයුතුවේ. 
 ඉදිකිරීම් ක්ෂේත්‍රය සමග බැදි තවත් අළුත් යමක් ගැන තොරතුරු සමගින් නැවත හමුවනතුරු ඔබ සැමට සුභ සතියක් !

Sunday, January 8, 2012

ඔබ ඉඩමක් මිලටගැන්මට සිහිනමවයිනම් මේ ලිපිය ඔබටයි. - 1




අද කථාකරන්න යන්නේ “පතිරූප දේශ වාසෝච“ කියන කාරණය ගැනයි. (අර පුදනකොටම කාපි යකා කිව්වා වාගේ පාලි පාඨයේ අක්ෂර වින්‍යාසය නම් වැරදියි වාගේ ) ඒ කියන්නේ තේරෙන සිංහලෙන් කිව්වොත් සුදුසු පෙදෙසක වාසය කිරීම පිලිඹදවයි. ඔබත් නව නිවසක් තැනීමේ අරමුණින් ඉඩමක් මිලදීගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන්නෙක්නම් මේ කාරණා ඔබට අනිවාර්යයෙන් වැදගත් වේවි.

පහසුකම් අපේක්ෂාවෙන් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වන ජනතාව හේතුකොටගෙන වැඩිවන ඉල්ලුම සැපිරීම සදහා, සාමාන්‍ය තත්ව යටතේ පදිංචිය හෝ ගොඩනැගිලි ඉදිකිරීම සදහා නුසුදුසු යයි සැලකෙන භූමීන් පවා භාවිතා කිරීමට නූතන මිනිසා පෙලඹීඇතිබවක් පෙනෙනන්නට තිබේ. එබැවින් මෙම නැඹුරුතාවය බොරදියේ මාළුන් බෑමේ අවස්ථාවක් ඉඩම් සහ දේපල වෙලද ව්‍යාපාරිකයන්ට උදාකරදී තිබේ. ඒ අනුව අපද්‍රව්‍ය මගින් පුරවා ගොඩකරන ලද පහත් බිම් පමණක් නොව   පිටතින් ගෙනෙන ලද බොරළු පසින් වසන ලද මහා කළුගල් තලාවන් පවා අගනා ඉඩම් වශයෙන් විකුණන අවස්ථාවන්ද දැන්දැන් දුලබ නොවේ.

මින් වඩාත්ම ගැටළු ඇතිවනුයේ අර්ධ නාගරික ප්‍රදේශ වලදීය. පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් හෝ අපද්‍රව්‍ය බැහැරකිරීමේ පහසුකම් රහිත මෙවන් ඉඩම් වල ලිදක් සහ වැසිකිලි වලක් යන දෙකම තමතමන්ට පෞද්ගලික වනසේ තම ගෙවත්තේම පිහිටුවාගත යුතු වේ. මෙහිදී ලිදත් වැසිකිලි වලත් අතර අඩි 50ක අවම දුරක්ද පවත්වාගත යුතු වෙනවා. පොලවෙහි ජල මට්ටම (ජල තලය) මතුපිට පෘෂ්ඨයට ඉතා ආසන්නව පිහිටන අවස්ථාවන්හිදී හෝ වැලි සහිත පසක් පවතින විටකදී මෙම දුර තවදුරටත් වැඩිකරගන්නා ලෙස උපදෙස් දෙනු  ලබන්නේ අපේ බඩවැල් වල ජීවත් වන ඊකෝලයි වර්ගයේ බැක්ටීරියාව වැසිකිලි වලෙන් අඩි 50 ක පමණ දුරකදීද හදුනාගෙන ඇති නිසායි. යම් ප්‍රභවයකට මිනිස් මල (අසූචි) මිශ්‍රවී ඇතිදැයි සෙවීමේ දර්ශකය වෙන්නේ ඊකෝලයි බැක්ටීරියාවයි. 

තව කාරණයක් මේ දුර ඔබට වගේම ඔබේ අසල්වැසියාගේ වැසිකිලි වලටත් අදාලයි. ටිකක් මෝඩ වාක්‍යක් වගේ පෙනුනාට ඔය විත්තිය අමතක වෙච්ච බොහොම උගත් යයි කියාගන්නා උදවිය මගේ මේ කෙටි වෘත්තීය ජීවිතය තුලදී ඕනතරම් හමුවෙලා තියෙනවා. 

ඉඩමක් මිලදීගැනීම සම්පූර්ණයෙන්ම ඔබේ තීරණයක් වුවත් එහිදී මතු දැක්වෙන කරුණු කිහිපයද සැලකිල්ලට ගැනීම, ඔබේ තීරණයට අමතර වටිනාකමක් එක් කරාවි.

  • මිලදීගනු ලබන ඉඩමෙහි බලයලත් මිනින්දෝරු වරයකුගේ අත්සන සහිත පිඹුරක් (Plan) තිබිය යුතු අතර කට්ටි සැලැස්ම පලාත් පාලන ආයතනය විසින් අනුමත කර තිබියයුතුය. 
                                                                                                                                                                                                  
    • ඉඩමෙහි පුර්ණ අයිතිය විකුණුම්කරු සතුවිය යුතුය. නැතහොත් හවුල් අයිතිකරුවන් විසින් අයිතිය අත්හැරීමේ ලියවිල්ලකට අත්සන් තැබිය යුතුය. මෙහිදී වසර 30 කට අදාලව ඔබ මිලදීගැනීමට යෝජිත ඉඩමෙහි පෙලපත සහ අවසන් ලියාපදිංචියෙහි පත්ඉරු පරික්ෂා කිරීමක් ඔබගේ නීතීවරයා විසින් සිදුකෙරෙනු ඇත. කෙසේ වුවද මගේ උපදෙස නමි ඉඩම අත්පිට මුදලට නොගෙන, එය ඇපයට තබා පිලිගත් වානිජ බැංකුවකින් සුළුහෝ ණයක් ලබාගන්නා ලෙසය. මක් නිසාද යත් බැංකු විසින් සියළු ලියකියවිලි ගැඹුරින් පරික්ෂා කෙරෙනු ලබන බැවින්, බැංකුව ඔබගේ ඔප්පුව සදහා රක්ෂණයක් ඉල්ලා නොසිටින්නේනම් ඔබගේ ඉඩමෙහි නිරවුල්බව පිලිඔදව එය ඉතා හොද සහතිකයක් වන බැවිණි.

    •  ඔබ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ගෙන් තොර, පදිංචිය සදහාම ඉඩමක් තෝරන්නේ නම් ප්‍රධාන මාර්ගයට මායිම්වනසේ ඇති ඉඩම් තෝරාගැනීමෙන් වැලකීම වැදගත්. එය මහා මාර්ගය හා බැදි බොහෝ ඍණාත්මක දෙයින් ඔබව මුදවාගැනීමට හේතුවනු ඇත. ඔබ ප්‍රවාහන පහසුකම් පිලිඔදව බොහෝ සේ සැලකිලිමත් වේ නම් ප්‍රධාන මාර්ගයට ඉඩම්කට්ටි 2ක් පමණ ඇතුලතින් වන ඉඩමක් තෝරාගන්න. නැතිනම් තවදුරටත් ප්‍රධාන මාර්ගයෙන් දුරස්ථව පිහිටි වඩා මිලෙන් අඩු ඉඩමක් ඔබට තෝරාගත හැක.

    • ඉඩම සමතල එකක් වීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. දක්ෂ නිර්මාණ ශිල්පියකුට වඩා බෑවුම් සහිත භූමියක් අනිවාර්යයෙන්ම උසස් නිර්මාණයක් බිහිකිරීම සදහා හොද වේදිකාවක් වනු ඇත. නමුදු ඔබ ඉදිකිරීම් වියදම ගැන බොහෝ සේ සැලකිලිමත් වේ නම් සමතල ඉඩමක් වඩා පිරිමැසුම්දායක එකක් වනුඇත.

    පෝස්ටුව හිතුවාට වඩා දිගුවන හැඩයි.  දිගවැඩිවීම කියවීම එපාවීමට හේතුවක් වන නිසා පෝස්ටුව දෙකට කැඩුවා. දෙවෙනි කොටස බලන්න කැමති අය මෙතන කොටන්න.

    Friday, January 6, 2012

    තරුණයෙකු මුහුණදෙන බැරෑරුම් කාරණා දෙක

    බ්ලොග් එක පටන් අරගෙන මාස කීහිපයක් වුනත් ඒක සරසන්න පෝස්ටුවක් කලඑලිදක්වන්න තරම් විවේකයක් පහුගිය කාලය පුරාවටම තිබ්බේ නැහැ. කොහොම කොහොම හරි ඉඩෝරය නිමාකරමින් ඔන්න වස්සානය එලඹිලා.

    මගේ ක්ෂේත්‍රය මේ සිංහල බ්ලොග්කරණයේ යෙදෙන බොහෝදෙනෙකුට එතරම් රසවත් එකක් නොවූවත්, හැකිතාක් දුරට සරල බසින් නීරස තාක්ෂණික කරුණු පෙලක්  එකින් එක ඔබ හමුවේ දිගහරින්නයි මේ සූදානම. 

    ඒත් වැඩේ පටන්ගන්න කලින් මේ ටිකත් කියන්න ඕන. ඒ තමයි මගේ අරමුණ මේක කියවන ඔබට තාක්ෂණය ඉගැන්වීම නොවන බව. වෙනත් විදිහකින් කිව්වොත් මට අවශ්‍ය වනුයේ ඔබට නිවැරදි තාක්ෂණය උපයෝගීකරගැනීම සදහා අවශ්‍ය මාර්ගය පෙන්වාසිටීම පමණක්ම වනබව. මොකද කරුණු විශ්ලේෂණය කොට තීරණයකට එලඹීම සම්පූර්ණයෙන්ම ඔබේ කටයුත්තක් වන නිසා.

    අධ්‍යාපනය හමාර කරලා සමාජයට අවතීර්ණවන ඕනෑම තරුණයෙකුට තමන්ටම අවංක වුනොත් 100% ක් සාර්ථකව අවසන් කල බවට සතුටු වෙන්න බැරි බැරෑරුම් කාරණා දෙකක් යෙදෙනවාමයි. ඉන් පලමුවැන්න විවාහය (හා/හෝ) මංගල උත්සවය කියලා කියන්න පුළුවන්. එතකොට අනෙක,  අනෙත් එක තමයි තමන්ටම කියලා හදාගන්නා තමන්ගේම කියලා ආඩම්බර වෙන්න පුළුවන් තමන්ගේම ගේ පොඩිත්ත. 

    උනන්දුවෙන් බැළුවොත් මේ ක්‍රියාකාරකම් දෙකේම බොහෝ සමානකම් හදුනාගන්න පුළුවන්. නිකමට ඉන් කිහිපයක් ගැන හිතුවොත් දෙකටම බොහෝ සේ සැලසුම් කරලා වැඩ ආරම්භ කලත් වැඩේ අවසාන වනවිට ඇස්තමේන්තුවට වඩා විශාල අමතර මුදලක් වැයවෙලා තිබීමත්, ඒ වන විට බොහෝ මෝඩකම්, නාස්ති, වැරදීම් සිදුවී තිබීමත්, නැවත වතාවක් ඒ කටයුත්ත සිදුකරන්න තිබුනානම් (ඒ කියන්නේ ඒ කටයුත්ත පිලිඹදව කලින් අත්දැකීමක් සහිත වූවානම්) ඒ වැරදි වලින් වැලකී සාර්ථකව සිදුකල හැකිය යන සාවද්‍ය සිතුවිලි පහලවීමත්,  සමාජීය හා/හෝ ආර්ථිකමය හේතුන් නිසා දෙවැනි වතාවට (විවාහයක් හෝ නිවසක් තැනීම) සිදුකිරීම උගට වීමත් කලාතුරකින් හෝ ඒ කඩඉමද ජයගත්තකුවුවද අවසාන විග්‍රහයේදී තවදුරටත් වෙනත් වෙනත් සාධක හමුවෙහි තවදුරටත් රැවටුන පරාජිතයකු බවට පත්ව තිබීමත්........ ආදී දහසක් සමානකම් දක්වන්න පුළුවන්.

    මේ ටික මතක් කලේ දැනටමත් මේ කටයුතු දෙකම සිදුකළ අයගේ අත්දැකීම් බෙදාගැනීම අනෙක් අයට වැදගත් වේය යන්න හිතපු නිසාත්, විවාහයට කොහොම වෙතත් ගෙයක් හදන එක ගැන නම් සියළු උපදෙස් ඉදිරියේදී ඉදහිටලා හරි මේ පැත්තේ ආවොත්, අත හිත පුරා ලබාගන්න පුළුවන්ය කියන එක මේ සිංහල බ්ලොග් අවකාශය තුල කරක්ගහන ඇත්තන්ට දැනගැනීමට සලස්වන එකත්ය කියලා අදට නවතිනවා. ඔබ සැමට ගල්-වැලි-සිමෙන්ති හි නොවන සුභ නව වසරක් වේවා !